WFTW Body: 

අපි නව වසරක් ආරම්භ කරනවාත් සමඟම, මේ වසරේ අපගේ ආත්මික ජීවිතයේ තිබිය යුතු ප්‍රමුඛථා ගැන බැරෑරුම් ලෙස සිතීම යහපත් ය. ඒ උදෙසා මෙන්න යෝජනා කිහිපයක්. ඒවා බැරෑරුම් ලෙස සලකා බලන්න - ඒ සියල්ල ඔබගේ ජීවිතයේ ඉටු වන ලෙසට යාච්ඤා කරන්න. ස්වාමින් වහන්සේ ඔබට උපකාර කරන සේක්වා.

1. නව ආරම්භයක් ආරම්භ කරන්න : ලූක් 15 හි, අකීකරු පුත්‍රයාගේ කථාවේ, පියා ඉදිරියේ ඉතාමත් නරක අන්දමින් අසමර්ථ වූ පුතෙකුට හොඳම වස්ත්‍රය පැළඳවීම ගැන අප කියවමු. සුභාරංචියේ පණිවිඩය මෙයයි: අසමර්ථ වූවන්ට පවා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ උපරිමය ලබා දෙයි. දෙවියන් වහන්සේ කිසිවිටෙකත් කිසිවෙකු අත් නොහරින බැවින් ඔවුන්ට නව ආරම්භයක් කළ හැකිය. අතීතයේ අසමර්ථ වූවන්ට මෙය විශාල දිරිගැන්වීමක් ය. ඔබගේ වැරදි හෝ අසාර්ථකත්වයන් කුමක් වුවත්, ඔබ නව වසරක් ආරම්භ කරන හෙයින්, ඔබට දැන් දෙවියන් වහන්සේ සමඟ නව ආරම්භයක් කළ හැකිය.

2. විනයගරුක වන්න : 2 තිමෝති 1: 7 හි පාවුල්තුමා පවසන්නේ, "දෙවියන් වහන්සේ අපට බලයේ, ප්‍රේමයේ සහ හික්මවීමේ ආත්මයක් දී ඇත" කියාය. දෙවියන් වහන්සේගේ ආත්මය අපට බලය, අන් අය උදෙසා ප්‍රේමය හා අපවම හික්මවා ගැනීමට අපට හැකියාව ලබා දෙයි. ඔබට ශුද්ධාත්මයාණන් පිළිබඳ කුමණ අත්දැකීමක් තිබූනද, ඔබව හික්මවීමට - ඔබේ කාලය සහ මුදල් විනයගරුක ලෙස වැය කිරීමට සහ ඔබේ කථාවිලාශය හික්මවීමට ඔබ ශුද්ධාත්මයාණන්ට ඉඩ නොදුන්නේ නම්, ඔබ කිසි විටෙකත් දෙවියන් වහන්සේට අවශ්‍ය වන පුද්ගලයා නොවනු ඇත. සභා ඉතිහාසයේ දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨතම සේවකයන් වූයේ ඔවුන්ගේ ජීවිත හික්මවීමට ශුද්ධාත්මයාණන්ට ඉඩ දුන් පුරුෂයන් සහ ස්ත්‍රීන්ය. ඔවුන් නිදාගැනීමේ පුරුදු, ආහාර ගැනීමේ පුරුදු, යාච්ඤාවේදී සහ ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීමේදී ඔවුන්ව හික්මවනු ලැබ ඇත. ඔවුන්ගේ භූමික ආශාවන් සියල්ලටම වඩා දෙවියන් වහන්සේට මුල් තැන දීමේදී ඔවුන්ව හික්මවන ලදී. බොහෝ කිතුණුවන් ශුද්ධාත්ම බෞතීස්මය ලැබීමෙන් සෑහීමකට පත්වන අතර ඉන් පසුව ඔවුන්ගේ ජීවිතයේ සෑම දෙයක්ම සුමටව ගලා යනු ඇතැයි ඔවුහු සිතති. නමුත් මේ වසරේ ඔබේ ජීවිතය සඳහා දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමට නම්, ඔබ ද විනයගරුක විය යුතුම ය.

3 ගින්න දල්වා තබාගන්න: තිමෝතිට ඇදහිල්ල සහ ආත්මික දීමණා තිබූ නමුත්, පාවුල්තුමා තවදුරටත් ඔහුට මෙය මතක් කර දෙයි, "මා ඔබ මත අත තැබූ විට ඔබට ලැබුණු ආත්මික දීමණාව ඔබට මතක් කිරීමට මට අවශ්‍යයි." ශුද්ධාත්මයාණන් යනු බයාදුකමේ ආත්මයක් නොවේය. පාවුල්තුමා ඔහුගෙන් ඉල්ලා සිටියේ එම දීමණාව නැවත පණ ගන්වන ලෙසත්, ගින්න ඇවිළෙන පරිදි එය නැවත දල්වන ලෙසත්ය. යේසුස් වහන්සේ අපව ශුද්ධාත්මයාණන්ගෙන් හා ගින්නෙන් බෞතීස්ම කළද (මතෙව් 3: 11) එම ගින්න සෑම විටම දැල්වී තැබීමට අපටද තවමත් යමක් කළ යුතු බව මෙයින් අපි ඉගෙන ගනිමු. දෙවියන් වහන්සේ ගින්න දල්වයි. අපි ඉන්ධන සැපයීම දිගටම කළ යුතුයි - එය නම්, දෙවියන් වහන්සේගේ කැමැත්තට සෑම විටම සම්පූර්ණයෙන්ම යටත් වූ ජීවිතයකි. දෙවියන් වහන්සේ ඔබව වරක් ආළේප කළ පමණින්, ඔබට දැන් විවේකීව, “වරක් අළේප ලත් කෙනා, සෑම විටම ආළේපය ලත් කෙනෙකු” යැයි පැවසිය හැකි යැයි සිතන්න එපා. එයත් “වරක් ගැළවීම ලැබූ තැනැත්තා, එය කවදාවත් නැති නොවන්නේ යැයි” පවසන්නාක් වැනි මහා මුළාවකි. දෙවියන් වහන්සේ විසින් සැබෑ ලෙස ආළේප ලත් අය වසරකට පසුව ආත්මිකව මිය ගොස් ඇති බව මම දැක ඇත්තෙමි. ගින්න පහව ගොස් ඇත. ලෞකික අවශ්‍යථා සහ උඬඟුකම පැමිණ ගින්න ඉවත් කර ඇත. ඔවුන් දැන් මුදල් සහ සුවපහසු ජීවිතයක් පසුපස දුවමින් සිටිති - දෙවියන් වහන්සේගේ ගින්න නැති කරගෙන ඇත. ඒක දුකක් වගේම දේව රාජ්‍යයට ලොකු පාඩුවක් ය. එබැවින් පාවුල්තුමා තිමෝතිට පැවසුවේ, “ඔබ මතට පැමිණි ඒ ගින්න, එය අළුත් කර තබාගන්න, එය අවුලා තැබීම, දැන් ඔබට භාරයි කියාය. ඔබ එය දල්වා තබා නොගන්නේ නම් එය නිවී යනු ඇත. යහපත් හෘදය සාක්ෂියක් තබාගෙන, දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කිරීමෙන්, නිරතුරුවම යටහත්ව, මුළු හදවතින්ම දෙවියන් වහන්සේ සෙවීමෙන්, මුදලට ලොල් වීමෙන් ඈත්වීමෙන්, අන් අය සමඟ වාද විවාදවලින් ඈත්වීමෙන් සහ මේ ගින්න නිවන ඕනෑම දෙයකින් ඈත්වීමෙන් එය නිතරම දල්වා තබාගන්න."

4. ස්ථාවර ආත්මික ප්‍රගතියක් ඇති කරගන්න : හෙබ්‍රෙව් 6: 1-3 හි, පරිණථභාවයට යාමට අපට අවවාද කර ඇත. පරිණථභාවයට එළබීම කන්දක් නැඟීම වැනි යැයි සිතමු (මීටර් 10,000 පමණ). යේසුස් වහන්සේ දැනටමත් මුදුනට පැමිණ ඇත. අපි නැවත ඉපදෙන විට, මේ කන්ද පාමුල සිට පටන් ගනිමු. කොපමණ කාලයක් ගත වුවද, අපගේ ඉළක්කය වන්නේ යේසුස් වහන්සේ අනුගමනය කිරීමෙන් ඉහළට එළබීමයි. අපි මීටර් 100ක් පමණක් නැඟ ඇතත්, "මම ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන ආකාරයට මාව අනුගමනය කරන්න" (1 කොරින්ති 11: 1) යැයි එවිට අපට අපගේ බාල සහෝදර සහෝදරියන්ට කියන්නට පුළුවන". ආත්මිකත්වය යනු දෙවියන් වහන්සේ සමඟ එක් සම්මුඛවීමක් තුළින් ලැබෙන දෙයක් නොවේ ය. එය සිය-කැමැත්ත ප්‍රතික්ෂේප කිරීමේ මාර්ගය තෝරා ගැනීමෙන් දිනෙන් දින, සතියෙන් සතිය සහ වසරින් වසර අඛණ්ඩව දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීමේ ප්‍රතිඵළයකි. යේසුස් වහන්සේ ආත්මික මිනිසෙක් බවට පත් කළේ උන්වහන්සේගේ කැමැත්ත නොකඩවා ප්‍රතික්ෂේප කිරීම ය. තවද අපගේ ස්ව - කැමැත්ත නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කිරීම අපව ද ආත්මික කරවයි. 1 තිමෝති 4: 15 හි, පාවුල්තුමා තිමෝතිගෙන් ඉල්ලා සිටින්නේ “මේ දේවල් තම ජීවිතයේ ඇතුළත් කර ගැනීමට උත්සුක වන්න” කියායි. ව්‍යාපාරිකයෙක් මුදල් ඉපයීමටත් තම ව්‍යාපාරය ස්ථිර ලෙස ස්ථාපිත කිරීමටත් බොහෝ වෙහෙසක් දරයි. ඔබේ කිතුණු ජීවිතය ගැන ඔබ ඉතා (ඕනෑකමින් සොයන කෙනෙකු) කල්පනාකාරී වන්නේ නම්, ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කිරීමටත්, ආත්මික දීමණා සෙවීමටත්, අපිරිසිදු සියල්ලෙන් ඔබේ ජීවිතය පවිත්‍ර කර ගැනීමටත් ඔබ මහත් වෙහෙසක් දරණු ඇත. මෙම වාක්‍යයේ එක් පරිවර්ථනයක් වන්නේ “ඒවා තුළ ගැලී නියැලී සිටින්න” යන්නයි. ඔබ මේ දේවල් සමඟ ගැලී නියැලුනු විට ඔබේ වර්ධනය සෑම කෙනෙකුටම පැහැදිළි වනු ඇත. මේ ලෝකයේ පරීක්ෂාවන් අපව එතරම් ආකර්ෂණය නොකරන තරමට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ උන්වහන්සේගේ වචනය සමඟ ගැලී නියැලෙන්න. ඒ වගේම ලෞකික මිනිසුන් හඹා යන බොහෝ දේවල් පසුපස අපි හඹා නොයන්නෙමු. ඔබ එවැනි ගැලුණු ජීවිතයක් ගත කරන්නේ නම්, ඔබ නිරන්තරයෙන් වර්ධනය වනු ඇත. සෑම වසරකම ඔබ වඩා හොඳ කිතුණුවකු සහ ස්වාමින් වහන්සේගේ වඩාත් ඵළදායී සේවකයෙකු වනු ඇත.

5. ජයගන්නෙකු වන්න: හෙබ්‍රෙව් 12: 1-3 හි, අපගේ ඇදහිල්ලේ කතෘ සහ නිම කරන්නා වන යේසුස් වහන්සේ කෙරෙහි අපගේ ඇස් යොමු කරමින්, අප ඉදිරියෙහි තබා ඇති දිවීමේ තරඟය විඳදරා ගැනීමෙන් දිවීමට අපට උපදෙස් දෙනු ලැබේ. අපි උන්වහන්සේ දෙස බලා මෙම තරඟය දුවමු. අපි නිශ්චලව නොසිටිමු. ඇදහිල්ලේ තරඟය යනු ඔබට නිශ්චලව සිටිය නොහැකි දෙයකි. කාලය කෙටි නිසා, එබැවින් ඔබ දිවිය යුතුමය. ඔබ බිම වැටුණොත්, නැඟිට දුවන්න. තරඟයකදී ඇද වැටුණු නමුත්, නැඟිට, දිගටම දුවමින්, තවමත් පළමු තැනට පැමිණි ධාවකයන් ඕනෑ තරම් සිටිති. එබැවින් ඔබ ස්වාමින් වහන්සේ සමඟ ඇවිදීමේදී සමහර විට වැටුණොත් අධෛර‍්‍යයමත් නොවන්න. එතන වැටී සිටින්න එපා. නැඟිට ඔබේ පාපය පාපොච්චාරණය කර දිගටම දුවන්න. කුරුසිය විඳදරා ගනිමින් තම ජීවිතයේ අවසානය දක්වා දිව ගිය යේසුස් වහන්සේ දෙස බලන්න. බොහෝ සතුරන් ඔබට විරුද්ධ වන විට, තමන්ට විරුද්ධව බොහෝ සතුරන් සිටි යේසුස් වහන්සේ ගැන සිතන්න (හෙබ්‍රෙව් 12: 3). පාපයට එරෙහිව සටන් කිරීමේදී උන්වහන්සේ මෙන් ලේ වැගිරීමට තරම් ඔබ තවමත් පාපය ප්‍රතික්ෂේප කර නැත (හෙබ්‍රෙව් 12: 4). යේසුස් වහන්සේ පාපයට එරෙහිව සටන් කළ බව මෙහිදී අපට පෙණේ. වෙනත් වචන වලින් කිවහොත්, පාපය කෙරෙහි උන්වහන්සේගේ ආකල්පය වූයේ, "පව් කිරීමට වඩා මගේ රුධිරය වැගිරීමට කැමැත්තෙමි" යන්නයි. ඔබට එම ආකල්පයම තිබේ නම් - පාපයට කිරීමට වඩා මැරෙනවා හොඳය කියන - ඔබත් ජය ගන්නෙකු වනු ඇත. වැඩි මුදලක් උපයා ගැනීම සඳහා ඔබ ටිකක් වංචා කිරීමට පෙළඹෙන විට, "ටිකක් හෝ වංචා කරනවාට වඩා මම මැරෙන්නෙමි" යැයි ඔබ පැවසුවහොත්, ඔබ ජය ගන්නෙකු වනු ඇත. ඔබ යම් ස්ත්‍රියකට ආශා කිරීමට පෙළඹී “රාගයට වඩා මම මැරෙනවාට වඩා කැමැත්තෙමි” යැයි ඔබ පවසන විට, ඔබ ජය ගන්නෙකු වනු ඇත. ජයගත් ජීවිතයක් ගත කිරීමේ රහස එයයි.

6. දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙහි සුරක්ෂිතව සිටින්න: ශෙපනියා 3: 17 හි "උන්වහන්සේ තම ප්‍රේමයෙහි රැඳී සිටිනු ඇත" යන වචන පරිවර්ථනය කර ඇත්තේ: "උන්වහන්සේ ප්‍රේමයෙන් ඔබ වෙනුවෙන් නිහඬව සැළසුම් කරන" බව යි. දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයට ඇතුළු වීමට ඉඩ දෙන සෑම දෙයක්ම ආදරයෙන් ඔබ වෙනුවෙන් සැළසුම් කරන හදවතකින් කරන බව ඔබට වැටහෙනවාද? ඔබේ ජීවිතයට එන සෑම පරීක්ෂාවක්ම සහ ගැටළුවක්ම ඔබේ අවසාන යහපත සඳහා සැළසුම් කර ඇත. ඔබ රෝම 8: 28 විශ්වාස කරන්නේ නම්, ඔබ නැවත කිසිදාක ඔබේ ජීවිත කාලය පුරාම මිනිසුන්ට හෝ තත්වයන්ට බිය නොවනු ඇත. ඔබගේ ස්වර්ගීය පියාණන් සියල්ල සහ සියල්ලන් පාලනය කරන බැවින්, ඔබට අනතුරක් සිදුවනු ඇතැයි හෝ පිළිකාවෙන් මිය යනු ඇතැයි හෝ ක්‍රිස්තියානි විරෝධී උන්මත්තකයන්ගෙන් හානියක් වෙතැයි හෝ වෙනත් බියකින් ඔබ ජීවත් නොවනු ඇත.

ඔබට සැබවින්ම ප්‍රීතිමත් ආත්මික ආශිර්වාද ලත් වසරක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු.