“පටු දොරටුවෙන් ඇතුල්වන්න. මක්නිසාද විනාශයට ගෙන යන දොරටුව පළල්ය, මාර්ගයද පුළුල්ය. ඒ පළල් දොරටුවෙන් හා පුළුල් මාර්ගයෙන් ඇතුල්වන්නෝ බොහෝ දෙනෙක්ය” (මතෙව් 7:13-14).
විනාශය යනු සදාකාලික නිරයයි. යේසුස් වහන්සේ 'කන්ද උඩ දේශනාවේදී' නිරය ගැන කථා කළ සේක් ද? උන්වහන්සේ නිසැකවම ඒ ගැන කථා කළසේක. උන්වහන්සේ ඒ පිළිබඳව අවස්ථා තුනකදී සඳහන් කළසේක. අපි දැන් විනාශයට මඟ පාදන ආකාරය දෙස බලමු. මතෙව් 5:22 හි යේසුස් වහන්සේ මෙසේ වදාළසේක: "ඔබ ඔබේ සහෝදරයා කෙරෙහි කෝප වන්නේ නම්, ඔබ අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වන්නෙහිය. එම කෝපය වචන බවට පත්වන්නේ නම්, ඔබ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වන්නෙහිය. එය තවදුරටත් දරුණු කෝපයේ වචන දක්වා දුරදිග යන්නේ නම්, විනාශය ගෙන දෙන නිරයට යාමට තරම් ඔබ වරදකරුවෙකු වන්නෙහිය." තවද, මතෙව් 5:29 හි යේසුස් වහන්සේ මෙසේ වදාරනසේක: "යම් මිනිසෙකු කාන්තාවක් දෙස කාමුක ආශාවෙන් යුතුව බලන්නේ නම්, ඔහු තම දකුණු ඇස උගුළා දැමීම වඩා යහපත්ය. එසේ නොකළහොත්, ඔහුව නිරයට හෙළනු ලැබිය හැකිය. ඔබේ දකුණු අත ඔබව ලිංගික පාපයකට යොමු කරන්නේ නම්, එය කපා දැමීම වඩා යහපත්ය." එසේ නොකළහොත් - මතෙව් 5:30 හි සඳහන් පරිදි - ඔබව නිරයට හෙළනු ලැබිය හැකිය. විනාශයට යන මාර්ගය එයයි. පාලනයක් නොමැති කෝපය සහ පාලනයක් නොමැති ලිංගික ආශාව යන මාර්ගය පුළුල් මාර්ගයක් වන අතර, බොහෝ දෙනෙකු ඒ ඔස්සේ ගමන් කරති. කෝපයෙන් පිරුණු, ලිංගික කාමුකත්වයෙන් හා පාලනය කළ නොහැකි පාපී ලිංගික ආශාවන්ගෙන් වෙලී ගිය, දුප්පත් කාන්තාවන්ව සූරාකන්නන් වැනි අයගෙන් ලෝකය පිරී පවතී. එය විනාශයට යන පුළුල් මාර්ගයයි.
යම් පුද්ගලයෙකු තමන් 'නැවත උත්පාදනයවූ කිතුණු-භක්තිකයෙකු' යැයි පැවසුවද, අන්තර්ජාලයේ අසභ්‍ය දර්ශන නරඹන්නේ නම්, අසරණ ස්ත්‍රීන්ව අවභාවිත කරමින් ප්‍රයෝජන ගන්නේ නම් කුමක් සිදුවේද? එම කිතුණු-භක්තිකයා තම කෝපය පිටතට ප්‍රකාශ කරන්නේ නම් කුමක් සිදුවේද? එය විනාශයට මඟ පාදන ක්‍රියාවකි. ඔහු තමන්ව කිතුණු-භක්තිකයෙකු ලෙස හෝ ක්‍රිස්තියානි නොවන අයෙකු ලෙස හඳුන්වා ගත්තද, ඉන් කිසිදු වෙනසක් සිදු නොවේ. ඔහු ගමන් කරමින් සිටින්නේ විනාශය කරාය; එය පුළුල් මාර්ගයයි.
මෙම දේවලින් ජයගන්නා අයට පමණක් සදාකාල ජීවනයට ඇතුළු වියහැකි බව පැවසීම වෙනුවට ඔවුන් ඊට වඩා වෙනස් අදහසක් ඉදිරිපත් කර "අප එතරම් පටු ආකල්ප දරන්නට අවශ්‍ය නැතැයි පවසන දේශකයින් විසින් සමහරවිට එම මාර්ගය පුළුල් කරනු ලබති. නැත, ඔවුන් එම දොරටුව යේසුස් වහන්සේ ඉගැන්වූවාට වඩා පුළුල් කරති. ජීවනයට යන මාර්ගය ඉඳිකටු සිදුරක් වැනි බව යේසුස් වහන්සේ පැවසූ සේක. ඔටුවෙකුට ඉඳිකටු සිදුරක් තුළින් යා හැකිද? නොහැකිය. තමන් සතු දේ ගැන ආඩම්බර වන ධනවතෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය හිමිකර ගැනීමට වඩා, ඔටුවෙකුට ඉඳිකටු සිදුරක් තුළින් යාම පහසු බව යේසුස් වහන්සේ පැවසූ සේක. අපගේ ධනවත්කම යනු හුදෙක් භෞතික ධනය පමණක් නොවේ. එය අපගේ බුද්ධිය විය හැකිය; එසේම ශුද්ධ ලියවිල්ල දෙස බලනවිට අප ඉදිරිපත් කරන බුද්ධිමය තර්ක ද ඊට ඇතුළත් වියහැකිය." බුද්ධිමය තර්ක මගින් අපි දෙවියන් වහන්සේගේ වචනවල ඇති බැරෑරුම් බව මඟ හරින්නෙමු. විනාශයට මඟ පෙන්වන පුළුල් මාර්ගය ඔස්සේ ඔබට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවිය නොහැක. නමුත් ජීවනයට මඟ පෙන්වන දොරටුව කුඩාය, මාර්ගයද පටුය. යේසුස් වහන්සේ කන්ද උඩ දේශනාවේදී දේශනා කළේ එම මාර්ගය ගැනය. උන්වහන්සේ පවසන්නේ මෙයයි: "මා මෙතෙක් මෙහි පැවසූ සියල්ල ඉතා පටු දොරටුවක් සහ ඉතා පටු මාර්ගයක් වැනිය; නමුත් එය ජීවනයට මඟ පෙන්වන මාර්ගයයි. එය සොයා ගන්නේ ඉතාම ස්වල්ප දෙනෙකි." කන්ද උඩ දේශනාවේ විස්තර කර ඇති මාර්ගය විශාල ජනකායක් විසින් තෝරා ගනු ඇතැයි ඔබ බලාපොරොත්තු වෙනවාද? කිසිසේත්ම නැත.
කන්ද උඩ දේශනාව ක්‍රිස්තියානි නොවන අය හෝ ක්‍රිස්තුන් වහන්සේගේ ගෝලයන් නොවන අය සඳහා අදහස් කරන ලද්දක් නොවේ. එය අදහස් කර ඇත්තේ පසුතැවිල්ල සහ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම තුළින් තම ජීවිතයේ අත්තිවාරම දමාගත්, නැවත උපත ලැබූ සහ දෙවියන් වහන්සේගේ දරුවන් බවට පත් වූ අය සඳහාය. යමෙකු එම පළමු පියවර නොගෙන කන්ද උඩ දේශනාව අනුගමනය කිරීමට උත්සාහ කරන්නේ නම්, ඔහු අත්තිවාරමක් නොමැතිව නිවසක් ගොඩනඟන පුද්ගලයෙකු වැනිය. නමුත් මෙහිදී කථා කරන්නේ ස්වාමීන් වහන්සේව අනුගමනය කිරීමට උත්සාහ කරන ගෝලයින් ගැනය. මෙය ඉතා පටු දොරටුවක් බවත්, එය සොයාගන්නා අය ඉතා ස්වල්ප දෙනෙකු පමණක් බවත් ඔවුන්ට වැටහෙනු ඇත. මතෙව් 5-7 පරිච්ඡේදවල ලියා ඇති දේට කීකරුවීමට විශාල ජනකායක් වේගයෙන් පැමිණෙනු ඇතැයි මම බලාපොරොත්තු නොවෙමි.
දහස් ගණනක් ජනතාව රැස්ව සිටින දැවැන්ත සභාවන් දකිනවිට, ජීවනයට මඟ සොයාගත් "අල්ප දෙනා" මොවුන්දැයි ඔබට සිතෙන්නට පුළුවන. එසේත් නැතහොත්, මොවුන් ව්‍යාජ දේශකයින් විසින් නොමඟ යවනු ලැබ, විනාශයට මඟ පාදන පුළුල් මාර්ගයේ ගමන් කරන්නන් ද? ඔවුන්ව විනිශ්චය කිරීමට අපි අදහස් නොකරමු. කුඩා ප්‍රදේශයක වෙසෙන තිස් දහසක් ජනතාව 'කන්ද උඩ දේශනාවේ' ඉගැන්වීම්වලට කීකරු වීමටත්, යේසුස් වහන්සේව අනුගමනය කිරීමටත් කැමති නම් මම ඉමහත් සතුටට පත්වෙමි. ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කිරීමට කැමති තුන් ලක්ෂයක ජනතාවගෙන් සමන්විත සභාවක් තිබේ නම් මම සතුටු වන්නෙමි. නමුත් පොළොව මතදී ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය නොකර, හුදෙක් ස්වර්ගයට යාමට පමණක් කැමති තුන් ලක්ෂයක ජනතාවක් සිටීම ගැන නම් මම සතුටු නොවෙමි. මා නිරීක්ෂණය කර ඇති පරිදි, බොහෝ සභාවල රැස්ව සිටින ජනයාට අවශ්‍ය වන්නේ පොළොව මතදී ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය නොකර ස්වර්ගයට යාමටයි. එය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ සභාව නොවේ. එය නිරයේ දොරටු විසින් අනිවාර‍්‍යයෙන්ම ජයගනු ලබන සභාවකි; එහි දේශකයින් විසින් එම දොරටුව කොතරම් පුළුල් කර තිබේද යත්, කිසිදු වටිනාකමක් හෝ කැපකිරීමක් නොදරා විශාල ජනකායකට එහි ඇතුළු විය හැකිය. මුදලට ආදරය කරන අතරම දෙවියන් වහන්සේටද ආදරය කරන බව සිතා සිටීමට තරම් එම දොරටුව පුළුල් ය. ඔවුන් එම දොරටුව පුළුල් කර ඇති අතර, එම සභාවෙහි යේසුස් වහන්සේගේ ගෝලයින් බිහිකරන බවට තමන්වම රවටා ගනිමින් සිටිති.
යේසුස් වහන්සේ 'කන්ද උඩ දේශනාව' අවසානයේදී පැහැදිළි කළේ, ජීවනයට මඟ පෙන්වන එම දොරටුව ඉතා කුඩා බවත්, එම මාර්ගය ඉතා පටු බවත් අප ඉතා පැහැදිළිව වටහාගත යුතුය. සැබවින්ම එය සොයාගන්නෝ ඉතාම ස්වල්ප දෙනෙකු පමණි.
ඊළඟ මොහොතෙම උන්වහන්සේ පවසන දේ නම්, "ව්‍යාජ අනාගතවක්තෘවරුන් ගැන ප්‍රවේශම්වන්න" යන්නයි (මතෙව් 7:15). මෙම ඡේදයේ සන්දර්භය තුළ එම ව්‍යාජ අනාගතවක්තෘවරුන් කවුරුන්දැයි අප වටහා ගත යුතුය. මෙම ව්‍යාජ අනාගතවක්තෘවරුන් යනු සභාවට පැමිණ වෙනත් ආගමක් ගැන කථා කරමින්, වෙනත් ආගමක ශුද්ධ ග්‍රන්ථයකින් ඉගැන්වීම් ආරම්භ කරන්නන් ද? නැත. ව්‍යාජ අනාගතවක්තෘවරුන් යනු "බැටළු වෙස්ගෙන එන්නන්" ය. බැටළු වෙස් ගැනීම යන්නෙන් අදහස් වන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයෙකු සහ ක්‍රිස්තුස් වහන්සේගේ බැටළුවෙකු ලෙස පෙනී සිටීමයි. ඔවුන් පැමිණෙන්නේ බැටළු වෙස්ගෙන ය; ඔවුන් බැටළුවන් මෙන් පෙනේ. ඔවුන් අත බයිබලය රැගෙන පැමිණියද, ඔවුන් (ගැළවීමේ) මාර්ගය පුළුල් කර ඇත. ඔවුන් ශුද්ධ ලියවිල්ලේ අණපනත්වලට විවිධ අර්ථකථන ලබා දෙමින්, "මෙම අණ අත්‍යවශ්‍ය නොවේ" හෝ "එයින් අදහස් වන්නේ හරියටම මෙය නොවේ..." යැයි පවසති. ශුද්ධ ලියවිල්ලේ ඇති බොහෝ දේ සම්බන්ධයෙන් ඔවුන් මෙවැනි අර්ථකථන ඉදිරිපත් කිරීමට උත්සාහ කර ඇත. "සෑමවිටම ස්වාමීන් වහන්සේ තුළ ප්‍රීති වන්න" යනුවෙන් සඳහන් පිලිප්පි 4:4 වැනි පදයකට ඔවුන් මුහුණ දෙන විට, "එයින් අදහස් වන්නේ දවසේ පැය 24 පුරාම හෝ සතියේ දින 7 පුරාම යන්න නොවේ; එයින් අදහස් වන්නේ සාමාන්‍යයෙන් හෝ බොහෝ අවස්ථාවලදී ප්‍රීතියෙන් සිටීමයි" යැයි ඔවුහු පවසති. "කිසිම දෙයක් ගැන කනස්සලු නොවන්න" යනුවෙන් පිලිප්පි 4:6 හි සඳහන් වූ විට, "එයින් අදහස් වන්නේ 'කිසිම දෙයක්' යන්න නොවේ; එයින් අදහස් වන්නේ සාමාන්‍යයෙන් ඔබ කනස්සලු වීමෙන් වැළකී සිටියයුතු බවයි" යැයි ඔවුහු පවසති. "සියලු දේ ගැන ස්තූති කරන්න; මක්නිසාද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ඔබ ගැන දෙවියන් වහන්සේගේ කැමැත්ත එයයි" යනුවෙන් 1 තෙසලෝනික 5:18 හි සඳහන් වූ විට, "එයින් ඇත්ත වශයෙන් අදහස් වන්නේ සෑම කුඩා දෙයක්ම ගැනම ස්තූති කිරීම නොවේ" යැයි ඔවුහු පවසති.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ ඔබ සිටගන්නා අවසාන දිනයේදී, දෙවියන් වහන්සේ පැවසූ දේ හරියටම එලෙසම අදහස් කළ බවත්, ක්‍රිස්තුස් වහන්සේ පැවසූ දේ හරියටම එලෙසම අදහස් කළ බවත් ඔබට වැටහෙනු ඇත. බයිබලයේ ඇති මෙම වචන ඔබ විශ්වාස නොකරන්නේ නම්, අවංකවම ක්‍රියා කරමින් එම වචන කපා හැරීමට හෝ බයිබලයේ අදාළ පිටු ඉරා දැමීමට ඔබට සිදුවනු ඇත.
බයිබලය දෙවියන් වහන්සේගේ වචනය යැයි පවසමින්, ඒ අනුව ක්‍රියා නොකරන්නේ නම් ඔබ වංක වූත් මූණිච්චා කාරයකුත් වන්නේය. දෙවියන් වහන්සේ මෙම මූණිච්චාව විනිශ්චය කරනු ඇත. දෙවියන් වහන්සේ අවංක පුද්ගලයෙකුට ප්‍රේම කරන සේක. බොහෝ අදේවවාදීන් අවංක බැවින්, මූණිච්චාකාර කිතුණු-භක්තිකයින්ට වඩා ඔවුන්ට දෙවියන් වහන්සේ ප්‍රේම කරන බව මම විශ්වාස කරමි. ඔවුන් දෙවි කෙනෙකු සිටින බව විශ්වාස නොකරති ; ඔවුන් ක්‍රියා කරන්නේද දෙවි කෙනෙකු නොමැති ලෙසිනි. ලෝකයේ සිටින ව්‍යාපාරිකයෙකු පවසන්නේ මුදල් මිස වෙනත් දෙවියෙකු නොමැති බවයි. ඔහු මුදල් වන්දනාමාන කරන අතර, ඒ සම්බන්ධයෙන් ඔහු අවංකය. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සැබෑ දෙවියන් වහන්සේ බවත් බයිබලය දෙවියන් වහන්සේගේ වචනය බවත් පවසන කිතුණු-භක්තිකයින්, ලෞකික මිනිසුන් මෙන් ජීවත් වන්නේ නම්, ඔවුහු මූණිච්චාකරුවන් වෙති. ක්‍රිස්තුස් වහන්සේ පොළොව මත වැඩසිටි සමයේදී, අන් සියල්ලන්ටම වඩා කුහකයින්ව මූණිච්චාකරුවන්‍ව හෙළා දුටු බව මතක තබාගන්න. කාමමිථ්‍යාචාරයේ යෙදුණු කාන්තාව ගැළවීම ලැබුවාය. කුරුසියේ සිටි සොරා ගැළවීම ලැබුවේය. මිනීමරුවා ගැළවීම ලැබුවේය. නමුත් මූණිච්චාකරුවෝ නිරයට ගියහ.