WFTW Body: 

එළිදරව් 22: 2 හි අපට කියවන්නට ලැබෙන්නේ - එහි වීදිය මැද හා ගඟ දෙපස, දොළොස් ආකාරයක පලතුරු ඵල දරන, මාස්පතා ඵල දෙන, එමෙන්ම ඒ වෘක්‍ෂයේ කොළ ජාතීන්ගේ සුවවීම පිණිසද වූ ජීවන-වෘක්‍ෂය තිබුණු බවයි. උප්පත්‍ති 2 සහ එළිදරව් 22 අතර බොහෝ සමානකම් අපට හමු වේ. ජීවන වෘක්ෂය දෙවියන් වහන්සේගේම ජීවිතය සංකේතවත් කරයි - සදාකාල ජීවනය හෝ අපට දැන් සහභාගි විය හැකි දිව්‍යමය ස්වභාවය සංකේතවත් කරයි. සදාකාල ජීවනය යන්නෙන් අදහස් කරන්නේ “සදහටම පැවතීම” නොව, මක්නිසාද ගිනි විලට යන අයද “සදහටම පවතී”. නමුත් ඔවුන්ට සදාකාල ජීවනය නැත. සදාකාල ජීවනය යනු ආරම්භයක් නොමැතිවූ හා අවසානයක් නැති යම් ජීවිතයකි. දෙවියන් වහන්සේගේ ජීවිතය එයයි. ජීවන වෘක්ෂය තුළ සංකේතවත් වන්නේ එයයි. අද බොහෝ දෙනා මෙන්, ජීවිතයට වඩා බයිබල්-දැණුම සොයන අය මෙන්ම, ආදම් අණුවන ලෙස ජීවනයේ වෘක්ෂය වෙතට යනවා වෙනුවට, දැණුමේ වෘක්ෂය වෙතට ගියේය. යහපත හා නපුර පිළිබඳ දැණුමේ ගස එළිදරව් 22 හි සොයාගත නොහැක. එය අතුරුදහන් වී ඇත. ජීවන වෘක්ෂය ඉදිරිපිට දෙවියන් වහන්සේ දැවෙන කඩුවක් තැබූසේක ( උත්පත්ති 3: 24). ජීවන වෘක්ෂයෙන් සහභාගි වන්නට නම් කඩුවක් අපගේ තම-ජීවිතය මතට වැටිය යුතු බව මෙයින් අපට උගන්වනු ලැබේ. ඒ වෙනුවට කඩුව නොමැති දැණුමේ වෘක්ෂය ඉදිරිපිටට, බොහෝ කිතුණුවන් යන්නේ ඒ නිසාය. බයිබල් දැණුම ලබා ගැනීමට, අපට අපගේ තම-ජීවිතයට මියයාමට හෝ දිනපතා කුරුසය දරා ගැනීමට අවශ්‍ය නැත. නමුත් දෙවියන් වහන්සේගේ ස්වභාවයට පංඟුකාරයන් වීමට නම්, අප සැමවිටම “අපගේ ශරීරයේ යේසුස් වහන්සේගේ මරණය දරාගත යුතුය” (2 කොරින්ති 4: 10 ). කඩුව අප මතට වැටීමට ඉඩ දිය යුතුය. කුරුසියේ මාර්ගය ජීවන වෘක්ෂයට යන මාර්ගයයි. කඩුව යේසුස් වහන්සේ පිට වැටී උන්වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබීය. අපත් උන්වහන්සේ සමඟ කුරුසියේ ඇණ ගසනු ලැබූ බැවින් කඩුව අප පිටද වැටිය යුතුය. මේ අනුව, සෑම මසකම නව ආකාරයක ඵළ දරන, සහ එහි කොළ සුවපත් කරන්නාවූ ජීවන වෘක්ෂයට අපට පංඟුකාර විය හැකිය.

එළිදරව් 22: 7 හි අපට කියවන්නට ලැබෙන්නේ - මෙන්න මම ඉක්මණින් එමි. මෙම පොතේ සඳහන් අනාවැකි වචනවලට අවනත වන තැනැත්තා ආශිර්වාද ලත්තෙකු වේ . ස්වාමින් වහන්සේ මෙහි ඉක්මනින් එන බව නොපවසන සේක. නැත. උන්වහන්සේ පවසන්නේ ක්ෂණිකව - හදිස්සියේම - අනතුරු ඇඟවීමකින් තොරව, රාත්‍රියේ පැමිණෙන සොරෙකු මෙන් පැමිණෙන බවයි.

එළිදරව් 22: 8,9 හි අපට කියවන්නට ලැබෙන්නේ - මේ දේවල් අසා දුටු තැනැත්තා මමයි. මේ දේවල් අසා දුටු විට මේ දේවල් මට පෙන්වූ දේවදූතයාගේ පාමුල නමස්කාර කිරීමට මම වැටුණෙමි. ඔහු මට කථා කොට පැවසුවේ , ‘එසේ නොකරන්න; මම ද ඔබගේ සහෝදරයන් වන අනාගතවක්තෘවරුන්ගේ, ඔබේ සහ මෙම පොතේ වචනවලට අවනත වූවන්ගේ හවුල්කාර සේවකයෙක් වෙමි, දෙවියන් වහන්සේට නමස්කාර කරන්න’ කියාය. මේ සියලු සත්‍යයන් දෙවියන් වහන්සේ ඔහුට ඉගැන්වීමට යොදාගත් පුද්ගලයාට ආකර්ෂණය වීමේ වරද යොහාන් විසින් සිදු කරන ලදී. මේ සියල්ල ඔහුට පෙන්වූ දේවදූතයාගේ පාමුල ඔහු නමස්කාරයේ වැටුණේය. නමුත් දේවදූතයා වහාම පැවසුවේ, “එසේ නොකරන්න. මම ඔබේ හවුල්කාර සේවකයෙක් පමණයි. දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කරන්න” කියාය. එය දෙවියන් වහන්සේගේ සැබෑ සේවකයෙකුගේ එක් සළකුණකි, යමෙකු තමාට ආකර්ෂණය වන බව දකින සෑම විටම එම පුද්ගලයාට, මිනිසාට නොව ස්වාමින් වහන්සේට ඇලී සිටිය හැකි වන පිණිස, ඔහු එම පුද්ගලයාව ක්ෂණයකින් තමන්ගෙන් ඈත් කරන්නේය! ස්වර්ගයේ ඔවුන් ගායනා කරන්නේ එක් ගීතයක් පමණි - නව ගීතය - “ප්‍රශංසාව හා ගෞරවය ලබන්නට ඔබවහන්සේ පමණක් වටින තැනැන්වහන්සේය”. මෙම දේවදූතයා, එම ගීතය ඉගෙන ගෙන තිබූ බැවින්, ඔහු යොහාන්ව විගසින් තමන්ගෙන් ඉවත් කොට), දෙවියන් වහන්සේට පමණක් මහිමය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

එළිදරව් 22: 11 හි අපට කියවීමට ලැබෙන්නේ - වැරදි කරන තැනැත්තා තව දුරටත් වැරදි කරත්වා, අපිරිසිදු තැනැත්තා තව දුරටත්අපිරිසිදු වෙත්වා. ධර්මිෂ්ඨ තැනැත්තා තව දුරටත් ධර්මිෂ්ඨකම කරත්වා , ශුද්ධව සිටින තැනැත්තාට තව දුරටත් ශුද්ධව සිටින්න ඉඩ දෙන්නැ යි කියා ය. මෙය බයිබලයේ අවසාන පිටුවෙන් අපට හමු වන විශ්මජනක අවවාදයකි. එය මිනිසුන්ට දිගටම “අපිරිසිදු වන්න” සහ “වැරදි කරන” මෙන් පවසයි. එහි ඇඟවීම මෙයයි: “ඔබ මුළු බයිබලයම කියවා අවසාන පිටුවට පැමිණ ඔබට තව දුරටත් පසුතැවිලි වීමට හෝ ඔබේ පාප අත්හැරීමට අවශ්‍ය නැතිනම්, දිගින් දිගටම අපිරිසිදු වී වැරදි කරන්න. ඔබට කිසිදු බලාපොරොත්තුවක් නොමැත ”. එළිදරව් පොතේ පාපය පිළිබඳ දෙවියන් වහන්සේගේ විනිශ්චයන් ගැන කියවීමෙන් පසු, ඔබට තවමත් අවශ්‍ය වන්නේ ඔබේ තෘෂ්ණාවල නියැලීමටත්, පාපයේ ආශ්වාදයන් සෙවීමටත්, අපිරිසිදු පොත් කියවීමටත්, අසභ්‍ය චිත්‍රපට බැලීමටත්, යමෙකුට විරුද්ධව ඔබේ තිත්තකම තව දුරටත් ඔබට රඳවා තබා ගැනීමට අවශ්‍ය නම්, සහ සමාව නොදී තව දුරටත් සිටීමට අවශ්‍ය නම්, ඔබට තව දුරටත් අපහාස කිරීමට හා කේළාම් කීමට අවශ්‍ය නම්, ඊර්ෂ්‍යා වී ඔබ වෙනුවෙන් සහ මේ කුණු වූ ලෝකය වෙනුවෙන් ජීවත් වීමට අවශ්‍ය නම්, එසේ නම් ගොස් දිගින් දිගටම එය කරගෙන යන්න. දෙවියන් වහන්සේ ඔබව නවත්වන්නේ නැත. නමුත් 11 වන පදයේ දෙවන කොටසෙහි ධර්මිෂ්ඨයන් සඳහා ලියා ඇති දේ බලන්න. ධර්මිෂ්ඨ, තැනැත්තා තව දුරටත් ධර්මිෂ්ඨකම කරත්වා. ශුද්ධ වූ තැනැත්තා ඔහුව තව දුරටත් ශුද්ධව පවත්වා ගනිත්වා. ශුද්ධකමෙහි ලුහුබැඳ යාමේ කිසිවිටෙකත් අවසානයක් නොමැත. එබැවින් ධර්මිෂ්ඨකම සහ ශුද්ධකම පසුපස තවත් හඹා යන්න. අප අපගේ ජීවිතය අවසන් කරන ස්වභාවය අපගේ සදාකාකාලය ගත කරන්නේ කෙසේද යන්න තීරණය කරනු ඇත. අප පාපයෙන් හා අපිරිසිදුකමින් ජීවත් වී ඇත්නම්, අපි තව දුරටත් පාපයේ හා අපිරිසිදුකමේ හා වැරදි ක්‍රියාවල සදාකාලික යුගයක ගිනි විලෙහි නියැලෙන්නෙමු. අප මේ ජීවිතයේ ධර්මිෂ්ඨකම හා ශුද්ධකම ලුහුබැඳ තිබේ නම්, එවිට එය සදාකාලිකවම ද අපගේ ලුහුබැඳීම වනු ඇත. අප මිය යන විට අපගේ සදාකාලික ස්වභාවය සදාකාලයටම ස්ථාවර වනු ඇත. ගසක් දකුණු දෙසට හෝ උතුරට වැටුණත්, ගස වැටුණු තැනම, එය පවතී” ( දේශනාකාරයා 11: 3).

එළිදරව් 22: 21 හි අප කියවන්නේ - ස්වාමීන් වන යේසුස් වහන්සේගේ අනුග්‍රහය සියල්ලන් සමඟ වේ වා! ආමෙන් කියා ය. දේවවචනය අවසන් වන ආකාරය දැකීම පුදුම සහගතය. අපට නව යෙරුසලමේ කොටසක් විය හැක්කේ අනුග්‍රහයෙන් පමණි. වසර ගණනාවක් තිස්සේ අපව වහල්භාවයේ තබා ඇති බැඳීම්වලින් නිදහස් විය හැක්කේ දෙවියන් වහන්සේ දෙන ශක්තියෙන් සහ උපකාරයෙන් පමණකි. අනුග්‍රහය අපගේ පාපවලට සමාව දෙයි! පාපය, ලෝකය සහ සාතන් ජය ගැනීමට අනුග්‍රහය අපට උපකාර කරයි! මෙම වචනය පැරණි ගිවිසුමේ අවසාන වචනය හා සසඳන්න - එය නම් ශාපයයි. “මම පැමිණ දේශයට ශාපයකින් පහර නොදෙන පිණිස” යැයි දෙවියන් වහන්සේ මලාකි 4: 6 හි පවසන සේක. නව ගිවිසුම ආරම්භ වන්නේ යේසුස් වහන්සේගේ උපතෙන් වන අතර එය අවසන් වන්නේ “අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය සියල්ලන් සමඟ වේවා” යන ආශිර්වාදයෙනි. ශාපයෙන් අවසන් වන පැරණි ගිවිසුමෙන් නිදහස් වී නව ගිවිසුම් අනුග්‍රහය යටතට පත්වීම, සදාකාලයටම අපගේ ජීවිතයේ සෑම අංශයකම දෙවියන් වහන්සේගේ ආශීර්වාදය අත්විඳීම සහ දෙවියන් වහන්සේගේ වාසස්ථානයේ කොටසක් වීම අප සැමට කෙතරම් අපූරු ද? හලේලූයියා! සියලු මහිමය, ප්‍රශංසාව හා ගෞරවය දෙවියන් වහන්සේටත් අපගේ පාප උදෙසා මරණයට පත් වූ බැටළු පැටවාණන්ටත් වේවා. ආමෙන් සහ ආමෙන්!