බයිබලය පවසන්නේ"දේවභක්තික මනුෂ්‍යයාගේ ජීවිතය ප්‍රබෝධමත් ජීවිතයක් " බවය (හිතෝපදේශ 14: 14 - ජීවමාන බයිබලයේ පරිවර්ථනය).
මම ඔබට මාගේ සාක්ෂිය පවසන්නෙමි. මට දැන් වයස අවුරුදු 85 යි, මම අවුරුදු 65 කට වැඩි කාලයක් දෙවියන් වහන්සේගේ නැවත ඉපදුණු දරුවෙකු වී සිටිමි. මගේ කිතුණු ජීවිතය ප්‍රබෝධමත් වූ බවට මට අවංකවම සාක්ෂි දිය හැකිය. මම බොහෝ පීඩාවලට මුහුණ දී ඇති නමුත් ඒ සෑම අවස්ථාවකදීම, මම ආකර්‍ෂණීය ආකාරවලින් දෙවියන් වහන්සේව අත්දැක ඇත්තෙමි. එසේම මගේ ජීවිතයේ හොඳම කොටස තවමත් මට ඉදිරියෙන් යැයි මා විශ්වාස කරමි . දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවත් වීමට සහ උන්වහන්සේට සේවය කිරීමට හැකි වීම ගැන මා අතීශයින් ප්‍රීතිවෙමි. උන්වහන්සේට සේවය කිරීම මේ ලෝකයේ ඕනෑම කෙනෙකුට කළ හැකි හොඳම දෙයයි.
"අපි ඔබ සැමට ඉතා ආශිර්වාදාත්මක වසරක් ප්‍රාර්ථනා කරන්නෙමු - වඩාත් කැඩුණාවූ බිදුණාවූ සහ දෙවියන් වහන්සේ කෙරෙහි වඩ වඩාත් ඇදහිල්ලක් ඇති වසරක් වේවා"
මට ලෝකෙ එක මනුෂ්‍යයෙකු ගැනවත් පැමිණිල්ලක් නැත. මෙතෙක් කිසිවෙකු මට හානියක් කිරීමට සමත් වී නැත. බොහෝ දෙනෙකු මට හානි කිරීමට උත්සාහ කර ඇති අතර, මාගේ සමහර සෙසු-සේවකයන් මාව පාවා දී මට විරුද්ධව හැරී ඇත. බොහෝ "කිතුණුවන්" මා ගැන "ක්‍රිස්තියානි" සඟරාවල සහ අන්තර්ජාලයේ අසත්‍ය ප්‍රචාර කර ඇති අතර ඔවුන්ගෙන් සමහරෙකු මා උසාවියට පවා ගෙන ගොස් ඇත. නමුත් මේ සියල්ල මට "ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම්වලට පංගුකාරවීමේ" කොටසක් පමණි; රෝම 8: 28 හි පවසන පරිදි සෑම කෙනෙකුම කළ සෑම දෙයක්ම මාගේ යහපත උදෙසා පමණක් ක්‍රියාත්මක විය. ඒ නිසා මම සැබවින්ම ඔවුන් සියළු දෙනා උදෙසා දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වන්නෙමි, මක්නිසාද මාව වඩාත් යහපත් මිනිසෙකු කිරීමට - මගේ ප්‍රතිචාරවලදී ඒවා වඩාත් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිචාරවලට සමාන වීම පිණිස, දෙවියන් වහන්සේ ඔවුන්ගේ දුෂ්ඨ ක්‍රියාවන් යොදාගෙන ඇත. ඔවුන්ගේ දුෂ්ඨ ක්‍රියාවලින් ඇති වූ ප්‍රධාන යහපත එයයි.
දෙවියන් වහන්සේ හට ප්‍රයෝජනවත් වන පිණිස, අප සියල්ලටම පෙර කැඩීමකට ලක් විය යුතුය.
අපගේ උඩඟුකම සහ අපගේම හැකියාවන් පිළිබඳ අපගේ විශ්වාසය බිඳ දැමීමට සහ අපගේම ඇස් හමුවේ අපව කුඩාවට තබන පිණිස දෙවියන් වහන්සේ බොහෝ මිනිසුන් සහ සිද්ධීන් යොදා ගන්නා සේක.
දෙවියන් වහන්සේ මගේ තරුණ කාලයේ මාව බොහෝ සෙයින් කඬා බිඳ දැමූ අතර, අදටත් උන්වහන්සේ මාව කඬා බිඳ දමන සේක. පළ දරන මාර්ගය මෙයයි. අප වැඩි වැඩියෙන් බිඳී සිටින තරමට, අන් අයට ආශීර්වාදයක් වීමට දෙවියන් වහන්සේට අපව භාවිතා කළ හැකිය. අපි නික්මයාම 17 හි කියවන්නේ පර්වතයට පහර දුන් විට පමණක් ජලය ගලා යාමට පටන් ගත් බවයි. යේසුස් වහන්සේව ආළේප කිරීම සඳහා කාන්තාවක් සුවඳ විලවුන් පිරුණු බෝතලයක් ගෙන ආ විට, එම කුප්පිය කැඬී ගිය විට පමණක් මිහිරි සුවඳින් නිවස පිරී ගියේය (මාර්ක් 14: 3). පන්දහසකට කෑම දීමට යේසුස් වහන්සේ රොටි ගෙන එයට ආශීර්වාද කළේය. නමුත් රොටි කැඩෙන තුරු, එයින් කිසිවෙකු පෝෂණය නොවුණි. මෙම සියලු උදාහරණවල පණිවිඩය කුමක්ද? බිඳීම, ආශීර්වාදයේ මාර්ගය බවයි. පරමාණුවක් බිඳී ගිය විට, එය මුළු නගරයකටම විදුලිය ලබා දීමට තරම් ශක්තියක් ජනනය කරයි! පරමාණුවක් ඉතා කුඩා බැවින් ඔබට එය අන්වීක්ෂයකින්වත් දැකිය නොහැක. නමුත් එය කැඬී ගිය විට, මොන තරම් දැවැන්ත බලයක් නිකුත් වේද. ස්වභාවධර්මයේ මෙන්ම බයිබලයේ ඇති පණිවිඩයද මෙයයි: දෙවියන් වහන්සේගේ බලය කැඩීමෙන් මුදා හරිනු ලැබේ. එළැඹෙන නව වසරේ එම පණිවිඩය අප සැමව ග්‍රහණය කරත්වා.
1963 දී මගේ ජීවිතයේ සහ දේවසේවයේ බලය උදෙසා මම උන්වහන්සේව මුලින්ම සෙවූ විට දෙවියන් වහන්සේ මෙම පණිවිඩයෙන් මා ග්‍රහණය කළසේක. ඒ මොහොතෙම, මම නාවික හමුදාවෙන් අස්වෙන්න කළින්, දෙවියන් වහන්සේ මට පෙන්වූවේ කඬා බිඳ දමනු ලැබීම බලයේ මාර්ගය බවයි. එලෙසම මාගේ ජීවිත කාලය පුරාම මෙය මට අමතක කිරීමට අවශ්‍ය නැත. විශේෂයෙන්ම තරුණ වියේදීම මෙම පාඩම ඉගෙන ගැනීම පිණිස යෞවනයින් දිරිමත් කිරීමට මට අවශ්‍යය.
දෙවන අවශ්‍යථාවය නම් දෙවියන් වහන්සේගේ පොරොන්දු කෙරෙහි ජීවමාන ඇදහිල්ලයි.
දෙවියන් වහන්සේ ඊජිප්තුවේ සිටි ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ට පොරොන්දු දෙකක් දුන්සේක: "මම නුඹලාව (1) ඊජිප්තු දේශයෙන් පිටතට සහ (2) කානානිවරුන්ගේ දේශයට ගෙනෙන්නෙමි." (නික්මයාම 3: 17). ඔබට පෙණෙන පරිදි, එහි පොරොන්දු දෙකක් තිබුණි. නමුත් පළමු එක පමණක් ඉටු විය. දෙවැන්න ඉටු නොවීය. එම වැඩිමහල්ලන් කිසිවෙක් කානාන් දේශයට ඇතුළු වූයේ නැත - මන්ද ඔවුන් කානාන් දේශයට ඇතුල් වීමට කාලය පැමිණි විට ඇදහිල්ලෙන් ප්‍රතිචාර නොදැක්වූ බැවිනි (ගණන් කථාව 13). අප ඇදහිල්ලෙන් ප්‍රතිචාර දක්වන තුරු දෙවියන් වහන්සේගේ පොරොන්දු ඉටු නොවේ. දෙවියන් වහන්සේගේ පොරොන්දුව සහ අපගේ ඇදහිල්ල විදුලි රැහැන් දෙකක් වැනිය. ඒ දෙක ස්පර්ශ වන විට (විදුලි ස්විචයක මෙන්) පමණක් රැහැන් හරහා බලය ගලා යාමට පටන් ගනී. දෙවියන් වහන්සේගේ පොරොන්දුව ගැන ඔබට අසා එය තේරුම්ගත හැක. නමුත් ඔබේ ඇදහිල්ල "ඔව්, එය මගේ ජීවිතයේ ඉටු වේ යැයි මම විශ්වාස කරමි" යැයි පවසන විට පමණක් පොරොන්දුව ඉටු වනු ඇත. කානාන් දේශ සීමාවේදී, යෝෂුවා සහ කාලෙබ් පමණක් දෙවියන් වහන්සේගේ පොරොන්දුව විශ්වාස කළ අතර, ඔවුන් පමණක් පොරොන්දු වූ දේශයට ඇතුල් විය. ඒ ඇදහිල්ල ඇති කරගෙන නව වසරේ පොරොන්දු වූ ජයග්‍රාහී දේශයේ නොකඩවා ජීවත් වෙමු.
අපි ඔබ සැමට ඉතා ආශිර්වාදාත්මක වසරක් ප්‍රාර්ථනා කරන්නෙමු - වඩාත් කැඩුණාවූ බිදුණාවූ සහ දෙවියන් වහන්සේ කෙරෙහි වඩ වඩාත් ඇදහිල්ලක් ඇති වසරක් වේවා !