WFTW Body: 

ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ සමබර චිත්‍රයක් ලොවට ඉදිරිපත් කිරීම සඳහා දෙවියන් වහන්සේ අපගේ වෙනස් ස්වභාවයන් සහ දීමනා භාවිතා කරයි. අප විසින්ම, අප සෑම කෙනෙකුටම හොඳම ලෙස ඉදිරිපත් කළ හැක්කේ ක්‍රිස්තුස් වහන්සේගේ විකෘති හා අසමබර ප්‍රතිරූපයක් පමණි. ඕනෑම තනි පුද්ගලයෙකුගේ දේවසේවයකට පමණක්ම බිහි කළ හැකි වනුයේ අසමබර කිතුනුවන්වය. ශරීරය තුළ විවිධාකාර අවධාරණයන් හා ස්වභාවයන් ඇති අන් අයද සිටීම ගැන අප කොතරම් ස්තුතිවන්ත විය යුතුද? නිදසුනක් වශයෙන්, සහෝදරයන් දෙදෙනෙකු එකම ඇදහිලිවන්ත කණ්ඩායමට වචනයේ සේවය කරන්නේ නම් සහ එක් අයෙකුගේ අවධාරණය වන්නේ, “ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් පිරී ඇති බවට ඕනෑවට වඩා සහතික කර නොසිතන්න. මක්නිසාද ඔබ ඔබම රවටා ගන්නවා විය හැකිය” සහ අනෙක් සහෝදරයාගේ අවධාරණය වන්නේ, “ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් පිරී ඇති බවට සහතික කර ගන්න”, මතුපිටින් ඔවුන් එකිනෙකට පරස්පර විරෝධී බවක් පෙනෙන්නට තිබේ. එහෙත් අවධාරණයන් දෙකම අවශ්‍ය වේ - එබැවින් ඔවුන්ගේ සේවාවන් අන්‍යෝන්‍ය වශයෙන් අගේ කොට දැක්වෙන්නේය.

ක්‍රිස්තු ශරීරය තුළ, අපට කැල්විනිස්තවාදීන් සහ ආමේනියානුවන් එකට වැඩ කළ හැකිය. එකිනෙක්කෙනා ඔවුන්ගේ සුවිශේෂී අවධාරණයන් ගෙන එයි - මක්නිසාදයත් දෘෂ්ටි කෝණයන් දෙකම බයිබලයේ ඇති බැවිනි. චාල්ස් සිමියොන් වරක් පැවසූ පරිදි, “සත්‍යය ඇත්තේ මැද නොව එක් අන්තයක නොව අන්ත දෙකෙහිම ය.” ඉතින්, අපට අන්ත දෙකම ඉදිරිපත් කරන පුද්ගලයින් අවශ්‍යයි.

නැවතත්, මිත්‍රශීලී සහ සමාජශීලී පුද්ගලයන්ට මෙන්ම ලැජ්ජාශීලී අයටද ඉඩ තිබේ. විවිධ ස්වභාවයන් අන්‍යෝන්‍ය වශයෙන් අගය කරනු ලැබීය හැකිය. සමහර අය ඕනෑවට වඩා සැලකිලිමත් විය හැකිය; කිසි විටෙකත් වැඩි අවධානයකින් තොරව පියවරක් ඉදිරියට නොගෙන, ඔවුන් සියලු වාසි සහ අවාසි කිරා මැන බලා, ඉදිරියට යා යුතුද නැද්ද යන්න ගැන දීර්ඝව කල්පනා කරමින් සිටියි. තවත් සමහරු වඩාත් නොසැලකිලිමත් වන අතර ප්‍රතිවිපාක ගැන ගැඹුරින් නොසිතා උද්‍යෝගයෙන් ඉදිරියට යති. මෙම දෙවර්ගයේම (සහ වෙනත්) පෞරුෂයන් ක්‍රිස්තු ශරීරය තුළ දක්නට ලැබෙන නිසා, එහි සමබරතාවයක් ඇත. ක්‍රිස්තු ශරීරය සමන්විත වන්නේ පැකිලෙන, ගැඹුරින් සිතන පුද්ගලයන්ගෙන් පමණක්ම නම්, එහි ප්‍රගතිය ඉතා මන්දගාමී විය හැකිය. අනෙක් අතට, ශරීරය සමන්විත වූයේ ආවේගශීලී උනන්දුවක් දක්වන අයගෙන් පමනක්ම නම්, එහි නිම නොකළ ව්‍යාපෘති බොහෝ තිබිය හැකිය.

සෑම කෙනකුගේ ස්වභාවයන්හිම එහි ශක්තීන් හා දුර්වලතා ඇත. කිතුනුවන් ලෙස එකට වැඩ කරන විවිධාකාර ස්වභාවයන් ඇති විවිධ පුද්ගලයින්ට ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ වඩාත් සම්පූර්ණ හා නිවැරදි චිත්‍රයක් ලොවට ඉදිරිපත් කළ හැකිය. එබැවින් ශරීරයේ සිටින සියල්ලන්ම අප හා සමාන කිරීමට උත්සාහ කරමින් අපගේ කාලය නාස්ති නොකළ යුතුය. අපි සෑම කෙනෙකුටම තමා තමාම වීමට ඉඩ දිය යුතුය. අප අවධානය යොමු කළ යුතු දෙය නම්, අපගේ ශක්තීන් තවත් කෙනෙකුගේ දුර්වලතාවයන්ට සහාය වන්නේ කෙසේද යන්නයි. උන්වහන්සේගේ ශක්තීන් අපගේ දුර්වලකම්වලට සහාය විය හැකිය.

පේතෘස් සහ යොහන් විවිධ ස්වභාවයන්ගෙන් යුත් මිනිසුන් විය. ඔවුන් කවදාවත් ස්වාධීනව කරන්නට හැකිව තිබුණාට වඩා, එකට එක්ව වැඩ කිරීමෙන් දෙවියන් වහන්සේට වඩා වැඩි ගෞරවයක් ගෙනාවෝය. පාවුල්ට සහ තිමෝතිට - හැදිලිවම වෙනස්වූ ස්වභාවයන් ගේ පෙනුමැති දෙදෙනකු වූවත් - ශුභාරංචිය තුළ එකට සේවය කර බලවත් කණ්ඩායමක් පිහිටුවීමට හැකි විය.

සභාව තුළ අතිදක්‍ෂ බුද්ධිමතුන් මෙන්ම සාමාන්‍ය මනසක් ඇති අයද සිටිති. ඔවුන්, දෙවියන් වහන්සේගේ සත්‍යය ඉදිරිපත් කරන ක්‍රම, ස්වභාවයෙන්ම වෙනස් වේ. බුද්ධිමතුන් හා බුද්ධිමතුන් නොවන, දාර්ශනිකයන් සහ ගෘහණියන්, ශිෂ්‍යයන් සහ ගොවීන් යනාදියෙන් සමන්විත ලෝකයකට ශුභාරංචිය ඉදිරිපත් කිරීම සඳහා ශරීරය තුළ කාණ්ඩ දෙකම එක හා සමානව අවශ්‍ය වන හෙයින්, කිසිම වර්ගයකට අනෙකා හෙළා දැකීමට හෝ විවේචනය කිරීමට නොහැකිය. දෙවියන් වහන්සේගේ සේවය සඳහා පාවුල් වැනි බුද්ධිමතෙකු හා විශාරදයකු මෙන්ම පේතෘස් වැනි නූගත් ධීවරයෙකුද අවශ්‍ය විය. එකම ශුභාරංචිය දේශනා කිරීමේ විවිධ ශෛලීන් ඔවුනට තිබුණද, ඒ එකිනෙක්කෙනා සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කළ අතර, දෙවියන් වහන්සේ කෙනකු කරණකොටගෙන කළ දේම එතරම් දක්ෂ ලෙස අනෙකාට කළ නොහැකි විය.

හැරවීම මිනිසෙකුගේ බුද්ධිමය හැකියාවන් වෙනස් නොකරයි. ඔහුගේ සමාජ තත්වය වෙනස් කිරීමට ඔහුට බල කරන්නේ ද නැත. සමාජ වෙනස ක්‍රිස්තුස් වහන්සේ තුළ අදාල නොවන අතර ශුභාරංචිය මගින් මේ පොළොවේ සමාජයේ විෂමජාතීය ස්වභාවය තුරන් නොකරයි. දෙවියන් වහන්සේට ෆිලෙමොන් වැනි ධනවත් මිනිසෙකු මෙන්ම ෆිලෙමොන්ගේ නිවසේ සේවකයෙකු වූ ඔනේසිමස් ද අවශ්‍ය විය. ඔවුන්ගේ සමාජ මට්ටම් සහ ජීවන තත්වයන් නොවෙනස්ව පැවතුනද, ක්‍රිස්තු ශරීරයට, ඔවුන් එකිනෙකා විසින් සුවිශේෂී දායකත්වයක් ලබා දිය යුතුවූ අතර, කෙනෙකුගේ දායකත්වය අනෙකාට කිසි විටෙකත් කළ නොහැකි විය. ඒ නිසා ඔවුන්ට ශුභාරංචියේ එකට වැඩ කිරීමට හැකි විය.

දෙවියන් වහන්සේ කිසි විටෙකත් ක්‍රිස්තු ශරීරය - කර්මාන්තශාලාවකින් පිටකරන එකම වර්ගයේ මෝටර් රථ මෙන් - සෑම ආකාරයකින්ම එක හා සමාන මිනිසුන්ගෙන් පිරී ඉතිරී යනු ඇතැයි අපේක්‍ෂා නොකළ සේක. නැත. ශරීරයේ දේවසේවය එහි සාමාජිකයන්ගේ විවිධත්වය මත රඳා පවතී. සියල්ලන්ම එක හා සමාන නම් එකතැන පල්වීම හා ආත්මික මරණය සිදුවීමට ඉඩ තිබුණි.

අප එකිනෙකා සමඟ ඇති එකඟ නොවීම් පවා අපගේ සම්බන්ධතාවය ගැඹුරු කිරීමටත් ආත්මික පරිණතභාවයට අපව යොමු කිරීමටත් දෙවියන් වහන්සේට යොදා ගත හැකිය. හිතෝපදේශ 27:17 (ජීවමාන බයිබල් පරිවර්තනය) පවසන පරිදි, “යකඩ යකඩවලට පහර දෙන විට පියාඹන ගිනි පුපුරු මෙන් මිත්‍රශීලී සාකච්ඡාවක් උත්තේජනය වේ”, එහිදී ගිනි පුපුරු පිටවනු ඇත, නමුත් මේ ආකාරයෙන් යකඩ කැබලි දෙකම මුවහත් වනු ඇත. සමහර විට දෙවියන් වහන්සේ විවිධ ස්වභාවයන් ඇති පුද්ගලයන් දෙදෙනෙකු තම කාර්‍යයට එක් කරන අතර, ඔවුන් එකට වැඩ කරන විට, ගිනි පුපුර ඔවුන් අතර පියාසර කළ හැකි නමුත්, දෙවියන් වහන්සේ ඔවුන්ව “මුවහත් කිරීමේ” ක්‍රමය මෙය විය හැකිය. එක් පුද්ගලයෙකු යකඩ හා අනෙක් පුද්ගලයා මැටි වැනි නම්, එහිදී ගිනි පුපුරු පිටවීමක් නොමැති අතර මුවහත් කිරීමක්ද සිදු නොවේ. ඒ වෙනුවට මැටි මත යකඩයේ මුද්‍රණය වනු ඇත - එක් බලවත් කැමැත්තක් ඇති පුද්ගලයෙකුගේ මතය දුර්වල කැමැත්තක් ඇති පුද්ගලයාට බල කරයි. කෙසේ වෙතත් දෙවියන් වහන්සේගේ අභිප්‍රාය වන්නේ එක් පුද්ගලයෙකු තම අදහස් තවත් කෙනෙකු වෙත යොමු කිරීම නොව දෙදෙනාම එකිනෙකාගෙන් ඉගෙන ගැනීමය. අපට එකඟ නොවිය හැකිය, නමුත් අපට තවමත් එක්සත් විය හැකිය, තවමත් එකිනෙකාට ප්‍රේම කළ හැකිය - එබැවින්, අපට පෙරට වඩා දැන් ගැඹුරින් එකිනෙකාට ප්‍රේම කළ හැකිය.