WFTW Body: 

හෙබ්‍රෙව් 1: 9 යනු යේසුස් වහන්සේ මිනිසෙකු ලෙස මිහිපිට ජීවත් වූ ආකාරය අපට පෙන්වන පදයකි : “ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව අධර්මිෂ්ඨකමට ද්වේෂකළසේක; එබැවින් දෙවියන්වහන්සේ, ඔබගේ දෙවියන්වහන්සේ, ඔබගේ සහකාරයන්ට වඩා ප්‍රීතිය නමැති තෛලයෙන් ඔබ ආලේපකළසේකැයි කියනසේක.

යේසුස් වහන්සේ මිහිපිට ජීවත් වූ විට, උන්වහන්සේ ජීවත් වූයේ අපගේ එනම් මනුෂ්‍යයන්ගේ සියලු සීමාවන් සමඟය. එබැවින් උන්වහන්සේව ආලේප කරනු ලැබීමට අවශ්‍ය විය. පියාණන් වන දෙවියන් වහන්සේව ආලේප කරනු ලැබීමට අවශ්‍ය නැත. ස්වර්ගයේ සිටියදී යේසුස් වහන්සේව ආලේප කරනු ලැබීමට අවශ්‍ය නොවීය. නමුත් උන්වහන්සේ මිහිපිට ජීවත් වූ විට, අපට ආදර්ශයක් වීමට උන්වහන්සේව ආලේප කරනු ලැබීය යුතුව තිබුණි. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගෙ සගයන් වන අපට වඩා යේසුස් වහන්සේව ප්‍රීතියේ (සතුටෙ) තෛලයෙන් ආලේප කළේ මන්දැයි මෙම පදයෙන් අපට කියැවේ. එය මූලික වශයෙන් එක් හේතුවක් නිසා - උන්වහන්සේ ධර්මිෂ්ඪකමට ප්‍රේම කළ අතර අවනීතියට වෛර කළනිසාය. උන්වහන්සේ ශුද්ධකමට ඇලුම් කළ අතර පාපයට වෛර කළසේක.

ධර්මිෂ්ඨකම කිරීම සහ ධර්මිෂ්ඨකමට ප්‍රේම කිරීම අතර වෙනසක් තිබේ. කීකරු වීමට ප්‍රිය නොකර, දරුවෙකුට තම පියාට කීකරු විය හැකිය. යේසුස් වහන්සේ ධර්මිෂ්ඨකම පමණක් නොකළ සේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමට ප්‍රිය වූ සේක. එලෙසම යේසුස් වහන්සේ පාපයෙන් වැළකී සිටියා පමණක් නොව උන්වහන්සේ පාපයට වෛර කළසේක.

ඒඩ්ස් යනු වර්තමානයේ ලිංගික පාපයෙන් මිනිසුන් ලබා ගන්නා මාරාන්තික රෝග වලින් එකකි. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙක් ඒඩ්ස් වැළඳීමේ බිය නිසා වේශ්‍යාකම් නොකරති. ඔවුන් ලිංගික පාපයට වෛර නොකරති; ඔවුන් ඒඩ්ස් වැළඳීම ගැන බිය වෙනවා පමණි. එලෙසම සොරකම් කිරීමට කැමති බොහෝ දෙනෙක් එසේ නොකරන්නේ, ඔවුන් හසු වේ යැයි බිය නිසා මිස සොරකම් කිරීමට අකමැති නිසා නොවේ. ඒ ආකාරයෙන්ම, පාපයට වෛර නොකර වෙනත් ඕනෑම පාපයකින් ඔබට වැළකී සිටිය හැකිය.

නමුත් ප්‍රීතියේ තෛලයෙන් ආලේප කරනු ලැබීමට ඔබට අවශ්‍ය නම් ධර්මිෂ්ඨකමට ප්‍රේම කළ යුතු අතර පාපයට වෛර කළ යුතුය. යේසුස් වහන්සේ අන් අයට වඩා ප්‍රීතියේ තෛලයෙන් ආලේප කරනු ලැබීමට හේතුව එය බව මෙහි සඳහන් වේ.

දෙවියන් වහන්සේ සමඟ පක්‍ෂග්‍රාහීත්වයක් නැත. හොඳ පියෙක් තම වැඩිමහල් පුතාට තම අන් දරුවන්ට වඩා අනුග්‍රහයෙන් සලකන්නේ නැත - ඔහු තුල කිසි පක්‍ෂග්‍රාහීත්වයක් නොවනු ඇත. ඔහු තම වැඩිමහල් පුතා වෙනුවෙන් කරන දේ ඔහුගේ සියලු දරුවන් වෙනුවෙන්ද කරනු ඇත. පියාණන් වන දෙවියන් වහන්සේ ද එවැනිමය. යේසුස් වහන්සේව බොහෝ සහෝදරයන්ගෙන් කුලුඳුලා ලෙස හඳුන්වනු ලැබේ. නැවත ඉපදුණු අපි උන්වහන්සේගේ බාල සහෝදරයන්‍ ය. යේසුස් වහන්සේ වැඩිමහල් පුත්‍රයාය. දෙවියන් වහන්සේ පක්‍ෂග්‍රාහී නොවන බැවින්, උන් වහන්සේ සිය වැඩිමහල් පුත් යේසුස් වහන්සේ වෙනුවෙන් කළ සියල්ල අප වෙනුවෙන්ද කරනු ඇත. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ වෙනුවෙන් කුමක් කළද, යේසුස් වහන්සේ ඉටු කළාවූ එම කොන්දේසිම මා විසිනුත් ඉටු කළහොත්, උන්වහන්සේ මා වෙනුවෙන්ද ඒවාම කරනු ඇත. මෙය ක්‍රිස්තුස් වහන්සේගේ මනුෂ්‍යත්වය පිළිබඳව දැන ගැනීමෙන් අප සොයා ගන්නා මහත්වූ සත්‍යයන්ගෙන් එකකි.

යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නිසා ප්‍රීතියේ තෛලයෙන් ආලේප කරනු ලැබූ බව ලියා තිබුණා නම්, එය කිසිම ආකාරයකින් අපව ධෛර්‍යමත් කිරීමට හෝ අභියෝග කිරීමට හේතු සහගත නොවනු ඇත. නමුත් උන්වහන්සේව ආලේප කරනු ලැබුවේ උන්වහන්සේ ධර්මිෂ්ඨකමට ඇලුම් කළ නිසාත්, අවනීතියට වෛර කළ නිසාත්, කියා කියවන විට අපද ධර්මිෂ්ඨ කමට ප්‍රේම කර පාපයට වෛර කළහොත්, අපවත් එලෙසම ආලේප කරනු ලැබිය හැකි බවට එය බලාපොරොත්තුවක් ලබා දෙයි. එබැවින් අප මෙසේ යාච්ඤා කළ යුතුය, “ස්වාමීනි, ශුද්ධාත්මයාණන් කරණකොටගෙන මාගේ සිතෙහි ක්‍රියා කළ මැනවි, එවිට මම ධර්මිෂ්ඨකම කරනවා පමණක් නොව එයට ප්‍රේම කරමි. මම පාපයෙන් වැළකී සිටිනවා පමණක් නොව එය පිළිකුල් කරමි. ”

අප ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන තරමට සහ අපගේ ජීවිත තුළ පාපයට වෛර කරන තරමට, ශුද්ධාත්මයාණන්ගේ ප්‍රීතියෙන් අප පිරී යනු ඇත. ශුද්ධාත්මයාණන්ගේ ධර්මිෂ්ඨකම හා ප්‍රීතිය වන දෙවියන් වහන්සේගේ රාජ්‍යය පැමිණ අපගේ හදවත් පුරවනු ඇත ( රෝම 14:17 ). එවිට “ස්වාමීන් තුළ සැමවිටම ප්‍රීති වන්න” කියා පවසන ආඥාවට කීකරු වීමට අපට හැකියාව ලැබේ ( පිලිප්පි 4: 4 ).