WFTW Body: 

අන්‍ය ආගම් වලට සහ ඔවුන්ගේ පිළිම වලට විරුද්ධව නම කියා කතා නොකිරීමට වගබලා ගත යුතුය. අපි ඔවුන්ව විහිළුවට ලක්කිරීම පවා නොකළ යුතුයි. යේසුස් වහන්සේ කවදාවත් එවැනි කාරණා ගැන කතා කළේ නැත. උන්වහන්සේ වැඩිපුරම කතා කළේ සැබෑ දෙවියන් වහන්සේව හඳුනනවා යැයි කියා ගන්නා අයගේ මූනිච්චාකම ගැනයි.

“අපගේ කැඳවීම යේසුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීම වන අතර එබැවින් අප සැමවිටම උත්සාහ කළ යුත්තේ අන් අයව හෙළා දැකීම නොව ඔවුන්ව ගළවා ගැනීමටය”

ප්‍රේරිතවූ පාවුල් තුමාගේ ආදර්ශය සලකා බලන්න: ඔහු එපීසයේ සිටියදී සම්මුති විරහිතව සත්‍යය දේශනා කළ විට නගරයේ විශාල කලබලයක් ඇති විය. අවසානයේ නගරයේ නගරාධිපතිවරයා ජනතාව කැඳවා ඔවුන්ට පැවසුවේ, "මේ මිනිසා අපගේ මහා දේවතාවිය වන ඩයනාට අපකීර්තියක් ගෙන දුන්නේ නැත" (ක්‍රියා 19:37) කියාය. පාවුල් තුමා ක්‍රිස්තුස් වහන්සේව දේශනා කළේය. නමුත් ඔහු එපීසයේ මිනිසුන් නමස්කාර කරන බොරු දෙවිවරුන්ව හෙළා දැක්කේ නැත. ඔහුගේ පණිවිඩය ධනාත්මක එකක් විය - ක්‍රිස්තුස් වහන්සේට ඔවුන්ගේ පාපයෙන් ඔවුන්ව ගලවා ගත හැකි බව. එය ඔවුන්ගේ බොරු දෙවිවරුන් සහ ඔවුන්ගේ පිළිම විවේචනය කරමින් ඍණාත්මක පණිවිඩයක් නොවීය. ඒ වනාහි දිව්‍ය ප්‍රඥාවයි. යම් පුද්ගලයෙක් ක්‍රිස්තුස් වහන්සේ වෙතට පැමිණි පසු, ඔවුන්ගේ පිළිමවලින් ඔවුන්ව ගලවා ගැනීමේ කාර්‍යය ස්වාමින් වහන්සේ විසින්ම කරනු ඇත.

අපටත් තිබිය යුතු ප්‍රඥාව මෙයයි. අපි කිසිම ආගමක්, එහි ඇදහිලි, වත් පිළිවෙත් විවේචනය නොකළ යුතුයි. එය අපගේ පණිවිඩය නොවේ. අපි දේශනා කරන්නේ ක්‍රිස්තුස් වහන්සේව පමණි - අපගේ පාප සඳහා කුරුසියේ ඇණ ගසනු ලැබූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, මළවුන්ගෙන් උත්ථානවී, අද ස්වර්ගයේ ජීවත්ව, ලෝකය විනිශ්චය කිරීමට ඉක්මනින් ආපසු පැමිණෙන සේක. එය අපගේ පණිවිඩයයි - තවද අපි, සෑම කෙනෙකුටම තම පාපයෙන් හැරී ක්‍රිස්තුස් වහන්සේ තම ස්වාමියා සහ ගැලවුම්කරුවා ලෙස පිළිගන්නා ලෙස ඉල්ලා සිටිමු. නමුත් අපි කාටවත් එහෙම කරන්න කියලා බල නොකරමු. කුඩා දරුවන්ට පවා අප දේශනා කළ යුත්තේ මෙයයි. අප ඔවුන්ට ක්‍රිස්තුස් වහන්සේ පිළිගැනීමට ආරාධනා කළ යුතු අතර ඒගැන ඔවුන්ට බල නොකළ යුතුයි. දෙවියන් වහන්සේ සෑම කෙනෙකුටම නිදහස ලබා දෙනසේක. අපි මිනිස්සුන්ටත් නිදහස දිය යුතුයි. මිනිසුන් සැබෑ ලෙසම ක්‍රිස්තුස් වහන්සේව තම ජීවිතයට පිළිගන්නා විට, ශුද්ධාත්මයාණන් විසින් ඔවුන්ව පාපයට වරදකරු කරන බැවින්, ඔවුන්ගේ ජීවිතයේ අනෙක් ව්‍යාජ දේවල් සියල්ල ක්‍රමයෙන් පහව යනු ඇත.

අපගේ කැඳවීම නම් ක්‍රිස්තුස් වහන්සේ ලෝකයේ එකම ගැලවුම්කරුවා ලෙස ප්‍රකාශ කිරීමයි. අප පාපයට එරෙහිව කතා කළ යුතු අතර අපවම විනිශ්චය කර ගනිමින් පළමුවෙන්ම අප මධ්‍යයේම පවතින මූනිච්චාව හෙළිදරව් කළ යුතුය. බොහෝ උද්‍යෝගිමත් නමුත් ඥානවන්ත නොවන සහෝදර සහෝදරියන් සමහර අවස්ථාවලදී ඔවුන්ගේ වචනවලින් සහ ඔවුන්ගේ යාච්ඤාවලින් අනවශ්‍ය ලෙස වෙනත් ආගම් නම් කරති. එවැනි අයට ඔවුන් පවසන දේ ගැන සැලකිලිමත් වන ලෙස අප අවවාද කළ යුතුය. කිසියම් ආගමක නමක් භාවිතා කිරීමට වඩා "ක්‍රිස්තියානි නොවන අය" ගැන කතා කිරීම වඩා හොඳය. දෙවියන් වහන්සේ තම පුත්‍රයා ලෝකයට එව්වේ ලෝකය හෙළා දැකීමට නොව එය ගැළවීමටය (යොහන් 3:17). අපගේ කැඳවීම යේසුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීම වන අතර එබැවින් අප සැමවිටම උත්සාහ කළ යුත්තේ අන් අයව හෙළා දැකීම නොව ඔවුන්ව ගළවා ගැනීමටය.

©Zac Poonen – [email protected]