WFTW Body: 

"මක්නිසාද මා ස්වර්ගයෙන් බැස ආවේ මාගේ කැමැත්ත නොව මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත කරන පිණිසය" ( ශු. යොහන් 6:38 ). යේසුස් වහන්සේ පොළොවට පැමිණුනේ කුමක් කරන පිණිස ද යන්න මෙහිදී උන් වහන්සේගේම වචන වලින් අපට පවසන සේක. මේ එක වාක්‍යයකින් යේසුස් වහන්සේ සිය මුළු ජීවිතයේ සෑම දිනකම මිහිපිට ජීවත් වූ ආකාරය පිළිබඳ විස්තරයක් අපට දී ඇත. නාසරෙත්හි යේසුස් වන්සේගේ ජීවිතයේ අවුරුදු තිහක් සැඟවුණු අවුරුදු ලෙස හැඳින්වේ. නමුත් යේසුස් වහන්සේ මේ අවුරුදු 30 ක කාලය තුළම සෑම දිනකම තමන් කළ දේ මෙහිදී හෙළි කරයි. උන්වහන්සේ තම කැමැත්ත ප්‍රතික්‍ෂේප කළ අතර පියාණන්ගේ කැමැත්ත කළ සේක.

යේසුස් වහන්සේ සදාකාලය පුරාවට පියාණන් වහන්සේ සමඟ ස්වර්ගයේ සිටියදී, උන් වහන්සේට කිසි විටෙකත් තමාගේ කැමැත්ත ප්‍රතික්‍ෂේප කිරීමට සිදු නොවීය. මක්නිසාද උන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ පියාණන්ගේ කැමැත්ත හා සමාන විය. නමුත් උන් වහන්සේ අපගේ මාංශයෙන් පොළොවට පැමිණි විට, එම මාංශයට ස්වකැමැත්තක් තිබුණි, එය සෑම අවස්ථාවකදීම පියාණන්ගේ කැමැත්තට සම්පූර්ණයෙන්ම විරුද්ධ විය. එවකට යේසුස් වහන්සේට තම පියාණන්ගේ කැමැත්ත කළ හැකි එකම ක්‍රමය වූයේ තමාගේ කැමැත්ත නිතරම ප්‍රතික්‍ෂේප කිරීමෙනි. යේසුස් වහන්සේ සිය භූමික ජීවිත කාලය පුරාවටම දැරූ කුරුසය මෙයයි - උන්වහන්සේගේ ස්වකැමැත්ත කුරුසිපත් කිරීම - උන් වහන්සේ දැන් අපෙන් ඉල්ලා සිටින්නේ, අපි උන් වහන්සේව අනුගමනය කරනවා නම්, සෑම දිනකම මෙම කුරුසිය දරා ගන්නා ලෙසයි. යේසුස් වහන්සේව ආත්මික මිනිසෙකු බවට පත් කළේ උන්වහන්සේගේ මෙම ස්ව-කැමැත්ත නොකඩවා ප්‍රතික්‍ෂේප කිරීමයි. අපගේ ස්ව-කැමැත්ත ප්‍රතික්‍ෂේප කිරීම නිසා අපත් ආත්මික අයවලුන් වනු ඇත.

ආත්මිකභාවය යනු දෙවියන් වහන්සේ සමග එක් හමුවීමකින් ලැබෙන දෙයක් නොවේ. එය ස්ව-කැමැත්ත ප්‍රතික්‍ෂේප කිරීමේ මාර්ගය තෝරා ගැනීමේ සහ දෙවියන් වහන්සේගේ කැමැත්ත දිනෙන් දින, සතියෙන් සතිය, සහ වසරින් වසර අඛණ්ඩව කිරීමට එකඟවීමේ ප්‍රතිඵලයකි. නැවත උත්පාදනය ලබා හැරී වසර දහයකට පසු සහෝදරයන් දෙදෙනෙකුගේ (දෙදෙනාම එකම දවසේ ක්‍රිස්තුස් වහන්සේ වෙතට හැරුණාවූ) ආත්මික තත්වය සලකා බලන්න. එක්කෙනෙක් දැන් ආත්ම විමසීමේ දීමනාව ඇති පරිණත සහෝදරයෙක් වන අතර , ඔහු හට දෙවියන් වහන්සේට සභාවේ බොහෝ වගකීම් භාරකළ හැකිය. අනෙකා තවමත් ආත්ම විමසීමේ දීමනාවෙන් තොරව ආත්මික ළදරුවෙකු වන අතර අන් අය විසින් නිරන්තරයෙන් පෝෂණය හා දිරිගැන්වීම් කිරිමට අවශ්‍ය වන්නාවු කෙනෙකු ව සිටී. මේ දෙදෙනා අතර එවැනි වෙනසක් ඇති කළේ කුමක් ද? පිළිතුර: ඔවුන්ගේ කිතුනු ජීවිතයේ අවුරුදු දහයේ සෑම දිනකම ඔවුන් ගත් කුඩා තීරණ වේ. ඔවුන් එම ආකාරයෙන්ම ඉදිරියට ගියහොත් , තවත් වසර 10 කින්, ඔවුන් අතර වෙනස ඊටත් වඩා පැහැදිලිව පෙනෙනු ඇත. සදාකාලිකවම, ඔවුන්ගේ තේජස් මට්ටම් වල වෙනස වොට් 2000 බල්බයක් සහ වොට් 5 බල්බයක් මඟින් විමෝචනය වන ආලෝකය මෙන් වෙනස් වනු ඇත !! එක් තාරකාවක් තවත් තාරකාවකට වඩා තේජසින් වෙනස් වේ” (1 කොරි 15: 41).

ඔබ යම් නිවසකට යනවිට, ඒ මොහොතේ එතැන නොසිටින සහෝදරයෙකු (ඔබ අකමැති කෙනෙකු ) ගැන ඍණාත්මක යමක් පැවසීමට ඔබ පෙළඹෙන තත්වයක් සලකා බලන්න. එවිට ඔබ මොකක්ද කරන්නේ? ඔබ එම පරීක්‍ෂාවට යටත්වී කේලාම් කියනවාද? එසේ නැත්නම් ඔබ ඔබවම ප්‍රතික්‍ෂේප කර කට වසාගෙන සිටිනවාද? කිසිවෙකු යමෙකු ගැන නපුර කතා කළ පලියට කිසිවිටකත් දෙවියන් වහන්සේ ඒ තැනැත්තාට ලාදුරු හෝ පිළිකාවකින් දඬුවම් කරන්නේ නැත. එබැවින් බොහෝ අය සිතන්නේ එවැනි පාපයක් ඔවුන්ගේ ජීවිත විනාශ නොකරන බවයි. අහෝ, බොහෝ සහෝදර සහෝදරියන් තමන්වම සතුටු කරගත් සෑම අවස්ථාවකම ඔවුන් මඳක් විනාශ වූ ආකාරය තේරුම් ගන්නේ සදාකාල ජීවිතයේදී පමණි. එවිට ඔවුන් මිහිපිට තම ජීවිතය නාස්ති කළ ආකාරය ගැන පසුතැවෙනු ඇත.

නාසරෙත්හි අවුරුදු 30 ක් පුරා යේසුස් වහන්සේද එවැනිම තත්වයකට මුහුණ දුන්සේක. එම සැඟවුණු අවුරුදු ගැන ලියා ඇත්තේ “ක්‍රිස්තුස් වහන්සේද කිසි විටෙකත් තමන්ම සතුටුකර නොගත්සේක” කියාය ( රෝම 15: 3 ). උන්වහන්සේ නිතරම තම ස්ව කැමැත්ත ප්‍රතික්ෂේප කළ සේක. මෙලෙස උන්වහන්සේ සෑම විටම පියාණන් සතුටු කළසේක. තමන් සතුටු කිරීම කෙනෙකුගේ ජීවිතයේ බොහෝ අංශ වලින් කළ හැකිය - උදාහරණයක් ලෙස, ආහාර ගැනීමේ ක්ෂේත්‍රය තුළ. ඔබ කුසගින්නේ නොසිටින විට පවා, කෑමට රසවත් සුළු කෑම වර්ග කිහිපයක් මිලදී ගැනීමට මුදල් වියදම් කිරීමට තීරණය කරන අවස්තාවක් සලකා බලන්න. එහි කිසිම පව්කාරකමක් හෝ වැරද්දක් නැත. නමුත් එය එක්තරා ජීවන රටාවක් ගැන කථා කරයි. ඔබට මුදල් ඇති නිසා, ඔබට අවශ්‍ය වුවත් නැතත් ඔබ කැමති දේ මිලදී ගන්නේය. ඔබව සතුටු කරන දේ ඔබ කරන්නේය ඔබට යමක් මිලදී ගැනීමට අවශ්‍ය යැයි හැඟේ නම් ඔබ එය මිලදී ගන්නේය. ඔබට කොහේ හරි යන්න හිතෙනවා නම්, ඔබ යන්නේය. ඔබට ප්‍රමාද වී නිදා ගැනීමට දැනේ නම්, ඔබ ප්‍රමාද වී නිදාගන්නේය. ඔබ නිතිපතා රැස්වීම්වලට ගොස් දිනපතා බයිබලය කියවුවද, එලෙස ජීවත් වීමේ අවසාන ප්‍රතිඵලය කුමක්ද? ඔබේ ගැලවීම ඔබට අහිමි නොවන නමුත්, දෙවියන් වහන්සේ උන් වහන්සේ උදෙසා ජීවත්වීම සඳහා ඔබට දුන් එකම ජීවිතය ඔබ නිසැකවම නාස්ති කරනු ඇත.

කෙසේ වෙතත් තවත් සහෝදරයෙක් වෙනස් ආකාරයකින් ක්‍රියා කරයි. ඔහු තම ශරීරය හික්මවීමට තීරණය කරයි. ඔහුට බඩගිනි නොවන විට, ඔහු අනවශ්‍ය ලෙස කිසිවක් අනුභව නොකිරීමට තීරණය කරයි. ඔහු කිසි විටෙකත් තමා වෙනුවෙන් අනවශ්‍ය දේවල් මිළට නොගැනීමට තීරණය කරයි. දෙවියන් වහන්සේ සමඟ කාලය ගත කිරීම සඳහා සෑම දිනකම මිනිත්තු 15 ක් කලින් නැගිටීමට ඔහු තීරණය කරයි. යමෙකු ඔහු සමඟ කෝපයෙන් කතා කරන විට, ඔහු මෘදු ලෙස පිළිතුරු දීමට තීරණය කරයි. ඔහු සෑම විටම ප්‍රේමයෙහි හා යහපත්කමෙහි සිටීමට තීරණය කරයි. පුවත්පත්වල, ඔහුගේ රාගය උත්තේජනය කරන ඇතැම් පුවත් කියවීමෙන් වැළකීමට ඔහු තීරණය කරයි. සෑම තත්වයකදීම ඔහු, තමා නිවැරදි යැයි ඔප්පු කිරීමෙන් වැළකී, යටහත් වීමට තීරණය කරයි. ලෝකය කෙරෙහි තමාට බලපෑම් කරන ඇතැම් මිත්‍රත්වයන් අත්හැරීමට ඔහු තීරණය කරයි. තමාගේ ස්ව-කැමැත්ත ප්‍රතික්‍ෂේප කිරීමට නිරන්තරයෙන් තීරණය කිරීමෙන් (ඔහුව සතුටු කරගැනීම), දෙවියන් වහන්සේව පමණක් සතුටු කිරීමට ඔහුගේ කැමැත්ත ශක්තිමත් කරගනී. එම අනවශ්‍ය දේ මිළට නොගැනීමෙන් හෝ මිනිත්තු 15 කට පෙර ඇඳෙන් නැගිටීමෙන් හෝ ඔහුගේ ගෞරවය පිළිබඳ හැඟීම අත්හැර සමාව ඉල්ලා සිටීමෙන් ඔහුට අහිමි වූයේ කුමක්ද? කිසිවක් නැත. නමුත් ඔහුට ලාභය වූ දේ ගැන සිතන්න! කුඩා දේ කෙරෙහි නිරන්තරයෙන් විශ්වාසවන්තව සිටින එවැනි මිනිසෙකු වසර කිහිපයකින් දෙවියන්ගේ විශ්වාසවන්ත මිනිසෙකු බවට පත්වනු ඇත - ඔහු සතුව ඇති බයිබල් දැනුම නිසා නොව, ඔහු ජීවිතයේ ගන්නා සුළු තීරණ වලදී, තමා සතුටු කිරීමට නොව දෙවියන් වහන්සේව සතුටු කිරීමට, ඔහු විශ්වාසවන්තව සිටීම නිසාය. එබැවින් දුර්වල කැමැත්තක් ඇතිව නොසිටින්න. සෑම විටම දෙවියන් වහන්සේව සතුටු කිරීමට ඔබේ කැමැත්ත පුරුදු පුහුණු කරන්න.