WFTW Body: 

අපි ශුද්ධ ලියවිල්ලේ ආරම්භක පිටු එහි අවසාන පිටු සමඟ සසඳන විට, ගස් දෙකකින් (ජීවන වෘක්‍ෂය සහ යහපත හා නපුර පිළිබඳ දැනුමේ ගස) කාලය අවසන් වන විට ක්‍රමවේදයන් දෙකක් නිපදවා ඇති බව අපට පෙනී යයි - යෙරුසලම සහ බබිලෝනිය.

සැබවින්ම ආත්මයෙන් උපන් දේ - දෙවියන් වහන්සේගෙන්, දෙවියන් වහන්සේ කරන කොටගෙන සහ දෙවියන් වහන්සේ උදෙසා වූ දේ - සදහටම පවතී; මාංසයෙන් උපන් දේ - මිනිසාගෙන්, මිනිසා කරන කොටගෙන සහ මිනිසා උදෙසා වූ දේ - විනාශ වේ.

අද අප ජීවත් වන්නේ උත්පත්ති සහ එළිදරව් පිටු අතරය. අප දැන හෝ නොදැන, අප මෙම ක්‍රම දෙකෙන් එකකට හසුවෙමින් සිටිමු - එකක් දෙවියන් වහන්සේව උසස් කිරීමට හා මහිමයට පත් කිරීමටත්, අනෙක මිනිසාව මහිමයට පත් කිරීමටත් හා උසස් කිරීමටත් අධිෂ්ඨාන කර ඇත. එක් කෙනෙක් ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන අතර අනෙකා ආදම්ව අනුගමනය කරන්නේය. එක් අයෙක් ආත්මය තුළ ජීවත් වන අතර අනෙකා මාංසය හා ප්‍රාණය තුළ ජීවත් වේ.

යේසුස් වහන්සේ සහ ආදම් යන දෙදෙනාටම දෙවියන් වහන්සේගේ හඬ ඇසුණි - වෙනස වූයේ එක් අයෙක් කීකරු වීමත් අනෙකා අකීකරු වීමත් පමණි. එසේම, යේසුස්වහන්සේ පැවසුවේ, එය උන්වහන්සේගේ කටහඬ අසන අය සමඟ වනු ඇති බවයි - කෙනෙක් කීකරු වී සදාකාලයටම නොසෙල්විය හැකි පර්වතය මත ගොඩනගනු ඇත, තවත් කෙනෙක් අසා නමුත් කීකරු නොවී වැලි මත ගොඩනඟා අවසානයේ විනාශ වනු ඇත (මතෙව් 7: 24-27).

යේසුස් වහන්සේ පැවසු මේ ගෙවල් දෙක තමයි යෙරුසලම සහ බැබිලෝනිය.

ඇදහිල්ලෙන් සත්‍ය වශයෙන්ම ධර්මිෂ්ඨ කරනු ලැබ, යේසුස් වහන්සේගේ රුධිරයෙන් මුද්‍රා තබන ලද, නව ගිවිසුමට ඇතුළු වී, දෙවියන් වහන්සේගේ කැමැත්තට (විශේෂයෙන් මතෙව් 5 සිට 7 දක්වා විස්තර කර ඇති පරිදි) කීකරු ජීවිතයක් තුළ පර්වතය මත ගොඩනගමින් යුරුසලමෙහි කොටසක් වන්නා වූ යේසුස් වහන්සේ අනුගමනය කරන අය අද සිටිති. යමෙක් මෙම සමාගමට අයත්ද නැද්ද යන්න සොයා ගැනීමට කෙනෙකුට ඇත්තේ මතෙව් 5 සිට 7 දක්වා කියවීම පමණි.

ඒ හා සමානව තවත් අය (සහ මෙය බොහෝ දුරට බහුතරය වේ), මතෙව් 5 සිට 7 දක්වා යේසුස් වහන්සේගේ වචන අසා, නමුත් ධර්මිෂ්ට කිරීම, ඇදහිල්ල සහ අනුග්‍රහය පිළිබඳ වැරදි අවබෝධයක් ඇති, වචනවලට කීකරු වීමට සැලකිල්ලක් නොදක්වන අය ව්‍යාජ ආරක්‍ෂාවක් තුළ ජීවත් වෙති. යේසුස් වහන්සේගේ වචනවලට අනුව ජීවත් වීමට සැලකිල්ලක් නොදක්වන වැලි මත ගොඩනගන්නාවූ - බැබිලෝනිය - අවසානයේ සදහටම විනාශ වේ.

වැලි මත ගොඩනැගූ මිනිසා උන්වහණ්සේගෙ හඬට සවන් දුන් අයෙකු බවත්, ඒ නිසා පැහැදිලිවම, අන්‍යජාතිකයෙකු නොව, බයිබලය කියවා 'සභාවට' ගිය අයෙකු බවත් යේසුස් වහණ්සේ පැවසූ නිසා, මොවුන් ඔවුන්ගේම ඇසින් 'කිතුනුවන්' ය. ඔහුගේ එකම ප්‍රශ්නය නම් ඔහු කීකරු නොවීම සහ ඒ හේතුව නිසා යේසුස් වහන්සේට කීකරු වන සියල්ලන්ට සදාකාලික ගැලවීම ලබා ගැනීමට හැකි වීමේ පොරොන්දුවට පංගුකාරවීමට නොහැකිවීමයි (හෙබ්‍රෙව් 5:9). ඔහුගේ ඇදහිල්ල අව්‍යාජ නොවීය, මන්ද එය සම්පූර්ණ කිරීමට කීකරුකමේ ක්‍රියා එයට නොතිබුණි (යාකොබ් 2:22, 26).

ආදම්ගේ නායකත්වය යටතේ සිටින අය දෙවියන් වහන්සේගේ හෙළිදරව් කරන ලද කැමැත්තට අකීකරු වෙමින් තම හිස අනුගමනය කරයි, නමුත් ඔවුන් 'ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්' බව පවසන නිසා ඔවුන් "නොමැරෙන්නේය" (උත්පත්ති 3:4) යන්න සාතන් විසින් ඒත්තු ගන්වා ඇත. මෙසේ ඔවුන් ජීවත් වන්නේ බබිලෝනියේ ව්‍යාජ ආරක්‍ෂාවකය.

ඒ හා සමානව, ක්‍රිස්තුස්වහන්සේගේ මූලිකත්වය යටතේ සිටින අයව හඳුනාගනු ලබන්නේ ඔවුන් දෙවියන්වහන්සේගේ කැමැත්තට කීකරුව "යේසුස්වහන්සේ ගමන්කළ ආකාරයටම" (1 යොහන් 2:6) යන කාරනයෙනි. මොවුන් ක්‍රිස්තුස් වහන්සේගේ සහෝදර සහෝදරියන් (මතෙව් 12:50), සහ යෙරුසලමේ කොටසකි.

මතෙව් 5 සිට 7 හි අවසාන කොටසෙහි යේසුස් වහණ්සේ පැවසූ උපමාවේ සිත්ගන්නා කරුණ නම්, අද බබිලෝනිය සහ යෙරුසලම යන දෙකම පවතින පරිදි, ප්‍රඥාවන්තයාගේ නිවස සහ අඥානයාගේ නිවස යන දෙකම යම් කාලයක් පැවතුනි - වර්‍ෂාව සහ ගංවතුර පැමිණෙන තුරු. අඥාන මිනිසා නිවසේ බාහිර පෙනුම ගැන පමණක් සැලකිලිමත් වූ අතර (මිනිසුන් ඉදිරියෙහි සාක්‍ෂිය), ප්‍රඥාවන්ත මිනිසා වැඩි වශයෙන් සැලකිලිමත් වූයේ අත්තිවාරම ගැන විය (සිතෙහි සැඟවුණු ජීවිතය, දෙවියන් වහන්සේගේ මුහුණ ඉදිරියේ ජීවත්වීම).

යෙරුසලමේ සුවිශේෂී ලක්‍ෂණය වන්නේ ශුද්ධකමයි. එය "ශුද්ධ නගරය" ලෙස හැඳින්වේ (එළිදරව් 21:2). කෙසේවෙතත්, බබිලෝනිය එහි ශ්‍රේෂ්ඨත්වය සඳහා කැපී පෙනේ. එය "මහත් නගරය" ලෙස හැඳින්වේ (එළිදරව් 18:10). එය එළිදරව් පොතේ එකොළොස් වතාවක් "මහත්" ලෙස හැඳින්වේ.

සැබෑ ශුද්ධකමේ ජීවත් වන අය, දෙවියන් වහන්සේට කීකරු වෙමින්, අනුග්‍රහය කරන කොට ගෙන ඇදහිල්ල තුළින් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයට පංගුකාර වූ අය, යෙරුසලම තුළ එකට ගොඩනඟා ඇත. මේ පොළොවේ ශ්‍රේෂ්ඨත්වය සොයන අය (මිනිසුන්ගේ සාක්‍ෂිය සහ ගෞරවය සොයන අය) බැබිලෝනිය තුළට එකට ගොඩනඟා ඇත.

අවුරුදු එක්දහස් නවසියයක් තිස්සේ දෙවියන් වහන්සේගේ සෙනඟට පැමිණෙන්නාවූ ඇමතුම;

මාගේ සෙනඟෙනි ඇගෙන් (බැබිලෝනියෙන්) පිටතට එන්න ; ඇගේ පාපවලට හවුල් නොවන්න, නැතහොත් ඔබ ඇය සමඟ දඬුවම් කරනු ලබනු ඇත (එළිදරව් 18:4 - ජීවමාන බයිබලය).

අවසාන කාලයට ළං වන බැවින් අපගේ යුගයේදී මෙම ඇමතුම වඩාත් ඕනෑකමින් සලකා බැලිය යුතුය. ඇසීමට කන් ඇත්තේ අසත්වා.

©Zac Poonen – cfc@cfcindia.com