WFTW Body: 

දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධ වන නමුත් යටහත් පහත් අයට අනුග්‍රහය ලබා දෙන සේක. දෙවියන් වහන්සේගේ බලවත් හස්තය යටතේ අප යටහත් වන්නෙමු නම්, උන්වහන්සේ නියම වේලාවට අපව උසස් කරනු ඇත (1 පේතෘස් 5:5, 6).

උසස් වීම යනු අප මෙලොව හෝ ක්‍රිස්තියානි ලෝකයේ ශ්‍රේෂ්ඨ මිනිසුන් වී මිනිසුන්ගේ ගෞරවය ලබා ගැනීම නොවේ. එය අපගේ ජීවිතය හා දේවසේවය තුළ දෙවියන් වහන්සේගේ සියලු කැමැත්ත ඉටු කිරීමට ආත්මික බලය ලබා දී ආත්මික උසස් භාවයට යොමු කිරීමයි. නමුත් එවැනි උසස්වීමක් රඳා පවතින්නේ අප අපවම යටහත් පහත් කර ගැනීම මතය.

මේ ලෝකය අනිත් අයගේ ඇස් හමුවේ උසස් වෙන්න, උතුම් වෙන්න කැමති අයගෙන් පිරි තිබෙන බව අපි කවුරුත් දනිමු. හැම දේශපාලනඥයෙකුටම හැම ව්‍යාපාරිකයෙකුටම අවශ්‍ය වන්නේ උතුම් අය වීමටය. අවාසනාවකට මෙන්, තමන් ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයන් ලෙස හඳුන්වාගන්නාවූ බොහෝ අයට ද උසස් හා උතුම් අය වීමට අවශ්‍ය වේ. ඔවුන් අපේක්‍ෂා කරන්නේ " ගෞරවනීය ආචාර්‍යවරයා" වැනි උසස් තනතුරු ලබා ගැනීමට සහ ඔවුන්ගේ සංවිධානවල "සභාපති" වැනි තනතුරු දැරීමටය. කනගාටුවට කරුණක් නම්, අද කිතුනු ප්‍රජාව, ලෝකයේ අන් කිසිම සංස්ථාවකට වඩා වෙනස් නොවීමයි!

අද තරුණ ඇදහිලිවන්තයන්, තම නායකයින් සිනමා තරු මෙන් ප්‍රසිද්ධ රැස්වීම්වල විශාල වේදිකාවල මිනිසුන්ගේ අවධානයට ලක්ව සිටින ආකාරයද, මිළ අධික හෝටල්වල සහ නිවාසවල ගැවසීමද, මිල අධික මෝටර් රථ පැදවීමද දකිති. දෙවියන්වහන්සේගේ ක්‍රම ගැන වැඩිය නොදන්නා ඔවුන් එවැනි නායකයන්ව අගය කරන අතර ඔවුන්ද එම උච්චස්ථානයට පැමිණෙන දවස එනතුරු බලා සිටිති! දෙවියන් වහන්සේ මේ නායකයින්ට මේ ආකාරයෙන් විපාක දී තිබෙන්නේ එවැනි දේශනාකරුවන් වසර ගණනාවක් විශ්වාසවන්තව සිටින්නට ඇති නිසා බවට ඔවුන්ට හැඟේ! ඔවුන් සිතන්නේ විශ්වාසවන්තව සිටීමෙන්, ඔවුන්ටද යම් දිනක එවැනි වේදිකාවල ඔවුන් කෙරෙහි මනුෂ්‍යයින්ගේ අවධානය යොමු කරගත හැකි බවයි!.

තමන්ට ලැබෙන දීමනා වලින් දේශකයින් විශාල ලෙස මුදල් උපයන බව දකින තරුණයන් බලා සිටින්නේ ඔවුන්ටත් ඔවුන් මෙන් පොහොසත් විය හැකි දවස එනතුරුය. මෙම තරුණයින් සඳහා ආදර්ශය වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නොව මෙම ධනවත්, සිනමා තරු ආකාරයේ දේශකයන් ය. අද ක්‍රිස්තියානි ලෝකයේ ඛේදවාචකය මෙයයි.

අප ස්වාමින්වහන්සේව අනුගමනය කරන්නේ නම්, අප ධනවත් හෝ ප්‍රසිද්ධියට පත්වන්නේ නැත, නමුත් දේවභක්තිකයෙකු වන බව අප අපගේ ජීවිතයෙන් අපගේ යෞවනයන්ට පෙන්විය යුතු අතර, අපගේ වචනවලින් ඔවුන්ට ඉගැන්විය යුතුය.

ඒ සමඟම, අපව වරදවා වටහාගෙන, ප්‍රතික්‍ෂේප කරනු ලැබ, පීඩාද කරනු ඇත! නමුත් අපට වෛර කරන අයට ප්‍රේම කිරීමටත් අපට ශාප කරන්නන්ට ආශීර්වාද කිරීමටත් අපට හැකි වනු ඇත. අපි මතු පරපුරට පෙන්විය යුත්තේ මෙයයි. අපි එය නොකළහොත්, ඔවුන් අද ලෞකික දේශකයන් තුළ දකින "වෙනත් යේසුස් " කෙනෙකු අනුගමනය කරනු ඇත.

දෙවියන් වහන්සේගේ බලවත් හස්තය යටතේ අප යටහත් වීම යන්නෙන් අදහස් කරන්නේ දෙවියන් වහන්සේ අපගේ ජීවිතයට එවන සියලු තත්වයන් සතුටින් භාර ගැනීමයි. අපි එම තත්වයන්ට අපව යටපත් කිරීමට ඉඩ හරිනවිට අපි පහත් වන අතර දෙවියන් වහන්සේ උසස් වේ. මිනිසුන්ගේ ඇස් හමුවේ අප කුඩා වූ විට, ඔවුන් යැපෙන්නේ අප මත නොව, ස්වාමින් වහන්සේ මතය.

ක්‍රිස්තුස් වහන්සේ අප තුළ වැඩි වන්නටත් අප අඩු වීමටත් අපි ආශා කළ යුතුවෙමු. දෙවියන් වහන්සේ අපව අඩු කිරීමට අපගේ ජීවිතයේ බොහෝ තත්වයන් හරහා අපව ගෙන යන අතර, එවිට ක්‍රිස්තුස් වහන්සේ අප තුළ වැඩි වනු ඇත. එම තත්වයන් යටතේ අප යටහත්ව කටයුතු කරන්නේ නම්, දෙවියන් වහන්සේගේ අරමුණ අප තුළ ඉටු වනු ඇත.

අපව යටහත් කර ගැනීම යන්නට අප විසින් වරදක් කළ සියල්ලන්ගෙන් සමාව අයැදීම ඇතුලත්වේ. ස්වාමීන් වහන්සේගේ සේවකයන් වශයෙන්, අපි සියලු මිනිසුන්ගේ සේවකයන් විය යුතු අතර ඔවුන්ට ආශීර්වාද කිරීම සඳහා ඔවුන් සියලු දෙනාගේ යටතට යාමට කැමැත්තෙන් සිටිය යුතුය. අප අතින් වැරදි සිදු වූ විට, ඒවා පිළිගෙන අවශ්‍ය අවස්ථාවලදී සමාව ගැනීමට ඉක්මන් විය යුතුය. කවදාවත් අත් වැරදීම් නොකරන එකම කෙනා දෙවියන් වහන්සේය.

මම ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කර ඇත්තේ ඉර යට සිටින ඕනෑම කෙනෙකුට - ළමයින්ගෙන්, සේවකයන්ගෙන්, යාචකයන්ගෙන් හෝ ඕනෑම අයෙකුගෙන් සමාව ගැනීමට මම සූදානම් බවත්, මේ කාරණයේදී මම කිසි විටෙකත් මගේ ගෞරවය හෝ අභිමානය මත නොසිටින බවත්‍ ය. මම එය කළෙමි - දෙවියන් වහන්සේ මට ආශීර්වාද කර ඇත.

විවාහක ඔබ දන්නවා, ඔබ නොසිතන විට පවා, අහම්බෙන් ඔබේ භාර්යාවට රිදවීම ඔබට පහසු බව. හොඳ චේතනාවෙන් යමක් කියන්න පුළුවන්. නමුත් ඔබ අදහස් කළ දේ ඔබේ බිරිඳ වැරදියට තේරුම් ගන්න පුළුවන්. එය අනෙක් පැත්ත ද විය හැකිය - එහිදී ඔබ ඔබේ බිරිඳ පැවසූ දෙයක් වැරදියට තේරුම් ගනී. එවැනි අවස්ථාවලදී ඔබ කළ යුත්තේ කුමක්ද? මට මෙය පමණක් කියන්නට ඉඩ දෙන්න: ඔබේ චේතනාවන් පිළිබඳ වෙහෙස මහන්සි වී පැහැදිලි කිරීමකින් හෝ එය කාගේ වරදක් දැයි විග්‍රහ කිරීමකට වඩා සමාව අයැදීමකින් ඔබේ නිවස තුළ සාමය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කළ හැකිය!

ඔබේ සගයන් ඔබව වරදවා වටහා ගන්නා තත්වයකට ඔබ පත්ව ඇතැයි සිතමු. ඔවුන් සවන් දීමට අකමැති විය හැකි නිසා ඔවුන්ට කරුණු පැහැදිලි කිරීමෙන් පලක් නොවනු ඇත. එවැනි අවස්ථාවක ඔබ කළ යුත්තේ කුමක්ද, විශේෂයෙන්ම ඔබ සම්පූර්ණයෙන්ම නිර්දෝෂී නම්? ඔබ ඔබ ගැනම අනුකම්පා කළ යුතුද? කොහෙත්ම නැහැ. ඔබගේ හෘදය සාක්‍ෂිය දෙවියන් වහන්සේ සහ මිනිසුන් ඉදිරියෙහි පැහැදිලි බව සහතික කර ගෙන කාරණය උන්වහන්සේ වෙත තබන්න. ඔබට කරන්න තියෙන්නේ එපමණයි. මම දැන් වසර ගණනාවක් තිස්සේ අනුගමනය කරන ප්‍රතිපත්තිය එයයි, මම ඇත්තටම ආශීර්වාද ලත් කෙනෙකි. මම එය ඔබටත් නිර්දේශ කරමි.

©Zac Poonen – [email protected]