WFTW Body: 

මතෙව් 14:19 හි, අන් අයට ආශීර්වාදයක් වීමට පියවර තුන අපි දකිමු:

(1) යේසුස්වහන්සේ රොටි සහ මාළු සියල්ලම ගත්සේක;

(2) උන්වහන්සේ ඒවා ආශීර්වාද කළසේක; සහ

(3) උන්වහන්සේ ඒවා කැඩූසේක.

ඉන්පසු සමූහයා පෝෂණය කරනු ලැබූහ. ඔබව අන් අය හට ආශීර්වාදයක් වීමට සැලැස්වීමට ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේද එලෙසය. එහි සිටි කුඩා ළමයා කළාක් මෙන් ඔබද උන්වහන්සේට සියල්ල මුලින්ම දිය යුතුය. එවිට උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ඔබට ආශීර්වාද කරනසේක. ඉන්පසු උන්වහන්සේ ඔබව බොහෝ පරීක්‍ෂාවන්, කලකිරීම්, බලාපොරොත්තු සුන්වීම්, අසාර්ථකත්වයන්, රෝගාබාධ, පාවාදීම් යනාදිය තුළින් බිඳ දමා, ඔබව යටහත් කර, මිනිසුන්ගේ ඇස් හමුවේ ඔබව කිසිත් නොවන්නකු කරනු ඇත. ඉන්පසු උන්වහන්සේ ඔබ තුළින් අන් අයට ආශීර්වාද කරනසේක. එබැවින් උන්වහන්සේගේ බිඳීමට යටත් වන්න. බයිබලය පවසන්නේ යේසුස් වහන්සේව ප්‍රතමයෙන් තලා දැමුනු බවත්, පසුව පියාණන්ගේ කාර්‍යය උන්වහන්සේගේ අතෙහි සඵලවූ බවත්‍ ය ( යෙසා.53:10-12 බලන්න).

යේසුස් වහන්සේ තම ජීවිතයේ විවිධ අවස්ථාවන්හිදී තම මනුශ්‍ය ස්වකැමැත්ත බිඳ දැමීමට ඉඩ දුන් සේක. තම පියාණන්ට කැළලක් නොමැතිව තමාවම පූජා කිරීමට උන්වහන්සේට හැකි වූයේ එපරිද්දෙනි. ආත්මය උන් වහන්සේව ශක්තිමත් කළේ මේ අරමුණ සඳහාය ( හෙබ්‍රෙව්. 9:14 ). ඔබගේ ස්වකැමැත්තේ ශක්තිය බිඳ දැමීමට ඔබ ශුද්ධාත්මයාණන්ට ඉඩ දෙන විට පමණක් ඔබ ආත්මික වනු ඇත. දෙවියන් වහන්සේට ඔබ විසින් කිරීමට අවශ්‍ය දේ කරනවා වෙනුවට, ඔබේම ශක්තිමත් ස්වයං-ජීවිතය කිරීමට කැමති දේ කිරීමට ඔබ පෙළඹෙන අවස්ථා වලදී ඔබේ ස්වයං-කැමැත්ත බිඳ දැමිය යුතුය.

දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබගේ ස්වකැමැත්තට හරස් වන ස්ථානවල ඔබේ කුරුසය සොයාගතහැකිය. එහිදී ඔබේ කැමැත්ත කුරුසියේ ඇණ ගැසිය යුතුය. එහිදී ආත්මය ඔබට මැරෙන්න කියනු ඇත. ඔබ නොකඩවා ආත්මයාණන්ගේ හඬට කීකරු වන්නේ නම්, ඔබ නිරන්තරයෙන් බිඳී සිටිනු ඇත. එමෙන්ම ආත්මය තුළ නොකඩවා බිඳී සිටින අයට අඛණ්ඩ පිබිදීමක් ලබා දීමට දෙවියන් වහන්සේ පොරොන්දු වී ඇත. ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක, "මම උසස්වූ ශුද්ධවූ ස්ථානයෙහිද යටහතුන්ගේ ආත්මය ප්‍රාණවත් කරන්ටත් පොඩිවී සිටින්නන්ගේ සිත ප්‍රාණවත්කරන්ටත් තැළුණාවූ යටහත් ආත්මයක් ඇත්තා සමඟ වාසයකරමි ( යෙසායා.57:15 ).

ඔබගේම අවශ්‍යතා ගැන හැඟීමකින් නිතර පැවතීම යහපත්ය - "යටහත් කමින් යුතුව". නමුත් උනන්දුවෙන් උන්වහන්සේව සොයන අයට දෙවියන්වහන්සේ බලවත්ව ආශිර්වාද කරන බව විශ්වාස කලයුතුමය. දෙවියන්වහන්සේ ඔබව ආශිර්වාද කර උන්වහන්සේගේ බලයෙන්ද පුරවන බව විශ්වාස නොකරන්නේ නම්, සිතින් දිළිඳුව සිටිමේ සියළු වටිනා කම් අගයෙන් තොරවේ.

සෑම සභාවකම දුප්පතුන් හා දුර්වලයන් සමඟ සහභාගීකම සොයන්න, ඔවුන් දිරිමත් කරන්න. බොහෝ අය දරුවන්ව නොසලකා හරින නිසා ළමයින් සමඟ කතා කර ඔවුන්ව දිරිමත් කරන්න. සෑම විටම පහත්, අවධානයට ලක් නොවූ ස්ථාන සහ සභාවේ කැපී නොපෙනෙන සේවාවන් ගැන සොයන්න. කිසිම සභාවක ප්‍රමුඛස්ථානයක් නොසොයන්න, ඔබේ තලන්ත හෝ දක්‍ෂතාවලින් කිසිවකුගේ සිත් ඇදගැනීමට උත්සාහ නොකරන්න. නමුත් සෑම රැස්වීමකදීම සාක්‍ෂි දීමට සහ සභාවේ හැකි සෑම ආකාරයකින්ම සේවය කිරීමට නිර්භීත වන්න - බිම පිරිසිදු කිරීම හෝ පියානෝව වාදනය කිරීම වේවා. කිසිම අවස්ථාවක කිසිම සේවාවක් සඳහා කිසිවකු සමඟ තරගයකට නොපැටලෙන්න. ඔබ විශ්වාසවන්ත නම් දෙවියන් වහන්සේම ඔබ වෙනුවෙන් සැලසුම් කර ඇති දේවසේවය නියම වේලාවට විවෘත කරනු ඇත.