කර්තෘ :   සැක් පූනන් වර්ග :   නිවස සභාව
WFTW Body: 

අපව කැඳවනු ලැබ ඇත්තේ ස්වාමින්වහන්සේගේ ආශීර්වාද ලබන පිණිසත් එමගින් අප මිහිමත මුණගැසෙන සෑම පවුලකටම (සහ පුද්ගලයෙකුටම) ආශීර්වාදයක් වීමටය. ගලාති 3:14 පවසන්නේ ශුද්ධාත්මයාණන්ගේ දීමනාව තුළින් ආබ්‍රහම්ගේ ආශීර්වාදය අපට ලැබෙන පිණිස ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේදී අප උදෙසා ශාපයක් වූ බවයි. එම ආශීර්වාදය උත්පත්ති 12:2,3 හි දක්නට ලැබේ, එහිදී දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පැවසුවේ, "මම ඔබට ආශීර්වාද කරන්නෙමි, ඔබ කරණකොටගෙන පොළොවේ සියලු පවුල් ආශීර්වාද ලබනු ඇත." අපව නිරන්තරයෙන් උන්වහන්සේගේ ශුද්ධාත්මයෙන් පුරවා තබන ලෙස අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ එනිසයි.

මෙය ඔබේ උරුමයයි. එබැවින් එයට හිමිකම් පාමින් සෑම විටම එහි ජීවත් වන්න. පසුතැවිලි වීම සහ පාපොච්චාරණය තුළින් ඔබේ හෘදසාක්ෂිය සෑම විටම නිරවුල්ව තබා ගන්න, එවිට ආශීර්වාදය ගලා ඒම සඳහා මාර්ගය අවහිර නොවී තිබෙනු ඇත.

පළමුවෙන්ම, ඔබ කරන සෑම දෙයකදීම ඔබට ආශීර්වාද කිරීමට දෙවියන් වහන්සේට අවශ්‍යයි - අධ්‍යාත්මික, භෞතික, ශාරීරික, ශාස්ත්‍රීය, වෘත්තීය සහ අනෙකුත් සියල්ලේදී. දෙවියන්වහන්සේගේ පොරොන්දු වන්නේ: "ඔබ කරන ඕනෑම දෙයක් සමෘද්ධිමත් වනු ඇත" (ගීතාවලිය 1:3) සහ "ඔබ කරන සෑම දෙයකදීම ඔබ සාර්ථක වනු ඇත" (යොශුවා 1:8). මෙම නව ගිවිසුම් යුගයේ දී, දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ ප්‍රථමයෙන්ම ඔබගේ ආත්මික ජීවිතය තුළ ඔබට ආශීර්වාද කිරීමට සහ සමෘද්ධිමත් කිරීමට සහ ඔබව සාර්ථක කරවීමටය. එමෙන් ම ඉන් පසුව භෞතිකමය දේ තුළත්- භෞතිකමය ආශීර්වාද වලින් පමණක් ආශීර්වාද ලත් පැරණි ගිවිසුම් කාලයේදී මෙන් නොවී.

දෙවනුව, දෙවියන් වහන්සේට ඔබේ ජීවිතය තුළින් අන් අයට ආශීර්වාද කිරීමට අවශ්‍යයයි. ඔවුන් ඔබ තුළ දෙවියන් වහන්සේගේ ජීවිතයෙන් යමක් රස විඳිය යුතුය. එහි ප්‍රතිඵලය වනුයේ ඔබ සමහරුන්ට "ජීවනයේ සුවඳක්" වන අතර තවත් අයට (දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරන අයට) ඔබ "මරණයේ සුවඳක්" වනු ඇත (2 කොරින්ති 2:16).

මේ සියල්ල සම්පූර්ණ වීමට නම්, ඔබ නිරතුරුවම ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වීමට මහත් උනන්දුවකින් සෙවිය යුතුය.

අපගේ භූමික රැකියාව ජීවනෝපාය උපයා ගැනීමේ මාධ්‍යයක් පමණක් වන අතර, එවිට මූල්‍යමය වශයෙන් කිසිවෙකු මත රඳා නොසිට අපට ස්වාමින් වහන්සේට සේවය කළ හැකිය. නමුත් මිහිමත අපගේ එක් කෙටි ජීවිතයේදී හැකිතාක් මිනිසුන්ට ආශිර්වාදයක් වීමට අප ආශා කළ යුතුය.

ඉන්දියාවේ ප්‍රසිද්ධ දේශකයින් සාමාන්‍යයෙන් දේශනා කරන්නේ විශාල නගරවල පමණය. ගම්වල සිටින සරල, දුප්පත් (සහ නූගත්) මිනිසුන් සමඟ වාඩි වීමට ඔවුන් කිසිසේත්ම කාලය නොගන්නෝය. ඉතින් දෙවියන්වහන්සේ ඉන්දියාවේ ගම්වල දුප්පත් මිනිස්සුන්ට සේවය කිරීමට අපිට වරප්‍රසාදයක් සහ ගෞරවයක් දී තිබීම ගැන මම සතුටු වෙමි. මම එහිදී ජයග්‍රාහී ජීවිතයක ශුභාරංචිය දේශනා කරමි - ස්වාමින් වහන්සේ එහි සභා රෝපණය කරනු ලබයි. මගේ භාර්යාව එහි දුප්පත් කාන්තාවන් සහ ළමයින් සඳහා වෛද්‍ය සායන පවත්වයි. අපි දෙන්නම මේ මිනිස්සුන්ට කරන සේවය තුලින් අපමණ ආශිර්වාදයක් ලබන්නෙමු.

දෙවියන් වහන්සේ අපේ කැසට්පට සහ අපගේ පොත් පත් රැගෙන ගිය ස්ථාන දකින විට පුදුම සහගතය. ඒවා සෑම මහාද්වීපයකටම - පෘථිවියේ අන්තයටම ගොස් ඇත (ක්‍රියා 1:8). බොහෝ දේශකයන් ඔවුන්ගේ සභාවන්හි ඔවුන්ගේම පණිවිඩතුළ අපගේ පොත් සහ ටේප්පටවල ඇති තොරතුරු ද භාවිතා කරති. මෙසේ, මට කිසිදා යා නොහැකි සභාවලටද වචනය තව දුරටත් පැතිර යන්නේ ය. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. අපි මිනිසුන් දිරිමත් කර ඇත්තේ අපගේ දේවල් නොමිලේ රැගෙන ඔවුන් එහි පවසා ඇති දේ තුළ ජීවත් වී ඒවා හරහා මුදල් ඉපයීමට උත්සාහ නොකොට භාවිතා කරන පිණිසය.

නිරන්තරයෙන් උන් වහන්සේගේ ආත්මයෙන් අභිෂේක ලැබීමට සහ අනාවැකි ("ඔබේ අසන්නන්ගේ අවශ්‍යතාවයට අනුව වචනය කථා කිරීමේ හැකියාව") සඳහා ස්වාමින්වහන්සේව සොයන්න. අනාවැකි කීමේ දීමණාව ඉල්ලීම ආඩම්බර වීමට දෙයක් ලෙස නොසිතන්න. සාතන් මිනිසුන්ව රවටන්නේ එලෙසය. ශුද්ධාත්මයාණන් වහන්සේ සෑම ඇදහිලිවන්තයෙකුගෙන්ම අනාගත වාක්‍ය කීමේ දීමනාව උනන්දුවෙන් සොයන ලෙස ඉල්ලා සිටියි (1කොරින්ති 14:1). එබැවින් මෙම දීමණාව සොයන්න. ඔබට අවශ්‍ය දෙයක් - ඕනෑම ක්ශේත්‍රයක - ඔබ දෙවියන්ගෙන් ඉල්ලන්නේ නැත්නම් - ඔබට එය නොලැබෙනු ඇත. භෞතිකමය අවශ්‍යතා සඳහා, බුද්ධිය සඳහා, රැකියාවේ යම් ගැටලුවක් සඳහා හෝ පොදුවේ ඕනෑම ගැටලුවක් සඳහා විසඳුම් සඳහා ඔබ නිර්භීතව ඉල්ලිය යුතුය. දෙවියන් වහන්සේ අපට ගැටළු වලට මුහුණ දීමට ඉඩ සලසයි, එවිට අපට උන්වහන්සේ වෙත ගොස් විසඳුම සොයා ගත හැකිය. යේසුස් වහන්සේ විසින් නිශ්චල කරන කිසිඳු කුණාටුවකට අපගේ ජීවිතයේ කිසිදාක මුහුන නොදෙන්නේ නම්, අපේ ජීවිතය කෙතරම් නීරස වනු ඇද්ද! එබැවින්, අසන්න - ඔබේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස දිගටම ඉල්ලන්න.

©Zac Poonen – [email protected]