WFTW Body: 

ශුද්ධාත්මයාණන්ගේ පැරණි ගිවිසුමේ දේවසේවය සහ ශුද්ධාත්මයාණන්ගේ නව ගිවිසුමේ දේවසේවය අතර වෙනස පෙන්වීමට මගේ පියා (සැක් පූනන්) මෙම උපමාව භාවිතා කිරීම මම අසා ඇත්තෙමි: පැරණි ගිවිසුමේ මිනිසාගේ හදවත පියනක් සහිත කෝප්පයක් මෙන් විය. එය (යුදෙව් දේවමාළිගාවේ අතිශුද්ධස්ථානය වසා දැමූ වැස්ම වූ තිරය වැනි). මෙම කෝප්පයේ වසා ඇති පියන මත ශුද්ධාත්මයාණන් වගුරුවන ලද අතර, උන්වහන්සේ මෝසෙස්, යොහන් බව්තීස්ත යනාදීන් හරහා කළාක් මෙන්, අවට සිටින විශාල පිරිසකට ආශීර්වාද ගංගාවල් ඉන් පිටතට ගලා ගියේය.

නමුත් නව ගිවිසුමේ පියන ඉවත් කරනු ලැබ ඇත (2 කොරින්ති 3:12-18). මෙය සංකේතවත් කළේ යේසුස්වහන්සේ මිය ගිය විට දේවමාළිගාවේ තිබූ වැස්ම වූ තිරය ඉරීයාම සහ අතිශුද්ධස්ථානයට යන මාර්ගය විවෘත කිරීමෙනි. දැන්, ආත්මය වගුරුවන විට, උන්වහන්සේ පළමුව කුසලානය පුරවයි - පළමුව ඇදහිලිවන්තයාගේ හදවත පවිත්‍ර කරයි - ඉන්පසු යොහන් 7:37-39 හි යේසුස්වහන්සේ පැහැදිලි කළ පරිදි, "ඔහුගේ අභ්‍යන්තරයෙන්" බොහෝ දෙනෙකු ආශිර්වාද කරමින් ගලා යයි. අලුත් ගිවිසුම් සභාව ගොඩනඟා ඇත්තේ එලෙසය.

අපි තවමත් අන් අයට දේශනා කිරීමට පමණක් ශුද්ධාත්මයාණන් භාවිතා කිරීමට උත්සාහ කරන්නේ නම්, අපි ගොඩනඟන්නේ රැස්වූ සෙනඟක් හෝ සමාජයක් පමණි. නමුත් අපි දෙවියන් වහන්සේට මුලින්ම අපව පිරවීමට සහ අපගේ හදවත් තුළ උන්වහන්සේගේ ප්‍රේමය වැගිරවීමට ඉඩ දුන්නොත්, එවිට උන්වහන්සේට අපගේ අභ්‍යන්තරයේ සිට අන් අය වෙත ගලා යා හැකිය. එවිට අපි එම සහභාගීකමේ ආත්මය ඇති අන් අය සමඟ සභාව ගොඩනඟන්නෙමු. අප එකිනෙකා කුරුසිය දැරීම තුළින් ආත්මයේ සැබෑ එකමුතුකම ගොඩ නැඟෙණ අතර දෙවියන් වහන්සේට සහ අන් අය කෙරෙහි ප්‍රේමය, අපගේ හදවත්වලින් පිටාර ගලනු ඇත.

ඇත්ත වශයෙන්ම, සැබෑ සභාව ගොඩනඟා ඇත්තේ මූලික වශයෙන් අප එකිනෙකාගෙන් ඈත්ව සිටින විටය. අපේ ඉරිදා රැස්වීම්වලට එකතුවූ විට පමණක් එය ගොඩනැගෙන්නේ නැත. ඔව්, එය ශුද්ධාත්මයාණන්ගේ දීමනා හරහා එහි ගොඩනගා ඇත. නමුත්, අපි එකිනෙකාගෙන් ඈත්ව සිටින විට එය ඊටත් වඩා ගොඩනැඟේ. අපව යම් ආකාරයකට පරීක්‍ෂාවට ලක් කරන විට - වංක වීමට, කෝපයට පත් වීමට හෝ අපගේ ඇස්වලින් තෘෂ්ණාවකට පත්වීම යනාදියේදී - ඔබ යේසුස් වහන්සේගේ සභාවේ කොටසක් දැයි ඔබ ඔප්පු කරන්නේ එහිදීය. මෙම පරීක්‍ෂාවන් වලදී, අපි අපගේ කුරුසය රැගෙන, අප කැමැත්තට මිය ගියහොත්, ස්වාමින් වහන්සේට ඇති අපගේ භක්තිය ආරක්‍ෂා කර, පාපයට විරුද්ධ වුවහොත්, අපි ආලෝකයේ ගමන් කර ස්වාමින් වහන්සේ සමඟ සහභාගීකම පවත්වන්නෙමු. එවිට, අපි එකිනෙකා සමඟ එකට මුණගැසෙන විට, අපි එකිනෙකා අතර සැබෑ සහභාගීකමක් තිබෙනු ඇත (1 යොහන් 1:7).

කොලොස්සි2:2 හි අපගේ හදවත් "ප්‍රේමයෙන් එකට බැඳී ඇති" බව කථා කරයි. මට ආදරයෙන් අන් අය සමඟ සම්බන්ධ වීමට නොහැක. අපගේ හදවත් එකට ගෙතීමේ මෙම කාර්‍යය කළ හැක්කේ ශුද්ධාත්මයාණන්ට පමණි. කිසියම් ආකාරයකට, මම ඔබට තෑගි ලබා දීමෙන් හෝ ඔබ සමඟ කාලය ගත කිරීමෙන් යම් මනුශ්‍යාකාරයකින් මගේ හදවත ඔබේ හදවතට ගෙතීමට උත්සාහ කළහොත්, මම ගොඩනඟන්නේ සමාජයක් පමණි. නමුත් දෙවියන් වහන්සේ පවසන්නේ "ඔබ ඔබේ කැමැත්තට මැරෙන්න" කියා පමණි. මා එසේ කරන විට, මාගේ පලාතේ සභාවක් තුළ මා තබා ඇති ශුද්ධාත්මයාණන්වහන්සේ, තමකැමැත්තට මැරෙන අනෙක් අය සමඟ අදෘශ්‍යමාන, ආශ්චර්‍යමත් ආකාරයකින් මගේ හදවත ගෙතීමේ කාර්‍යය කරනු ඇත.

එවිට අපගේ සහභාගිකම මිහිරි වනු ඇත. ඒ අපි එකම දේව ධර්මය විශ්වාස කරන නිසා හෝ එකම ගීත ගායනා කරන නිසාවත් නොව, නමුත් අපි දෙදෙනාම බිම වැටී අපගේමවූ ස්වකැමැත්තේ ජීවිතයට මිය ගිය නිසාය. මෙලෙස ශුද්ධාත්මයාණන් තුලින් අප එකිනෙකා සමඟ සහභාගීකමට පැමිණෙන්නෙමු.

ස්වකැමැත්තට නොනැසී, අප තුළ ඇති ඕනෑම එකමුතුකමක ප්‍රතිඵළය වන්නේ මිත්‍රත්වයක් පමණක් මිස, සැබෑ ක්‍රිස්තියානි සහභාගිකමක්නොවේ. සහභාගීකම යනු ආත්මික දෙයකි, නමුත් මිත්‍රත්වය භූමික දෙයකි.

ලෝකයේ මිනිසුන් අතර මිත්‍රත්වයක් ඇත. බොහෝ ලෞකික සමාජ ශාලාවල සාමාජිකයින් එකිනෙකා සමඟ සමීප මිත්‍රත්වයක් ඇති අතර එකිනෙකා කෙරෙහි ගැඹුරින් සැලකිලිමත් වේ. නමුත් ඔවුන්ට කිසිදා සැබෑ සහභාගීකමක් ඇති කර ගත නොහැක - මන්ද එය අපගේ ජීවිත තුළ ශුද්ධාත්මයාණන්ට පමණක් කළ හැකි ආත්මික ක්‍රියාවකි. දෙවියන් වහන්සේ "යේසුස් වහන්සේගේ මරණු ලැබීම ඔහුගේ ශරීරයෙහි දරාගෙන සිටින" උන්වහන්සේගේ ඕනෑම දරුවෙකු දුටු විට, උන්වහන්සේ ඔහුට "යේසුස් වහන්සේගේ ජීවනයට” වඩා දෙයකින් ඔහුට විපාක දෙනසේක (2 කොරින්ති 4:10,11). ඇදහිලිවන්තයන් දෙදෙනෙකු තුළ ඇති මෙම "යේසුස් වහන්සේගේ ජීවනය" ඔවුන් අතර සැබෑ සහභාගීකමක් ගෙන එයි. එවැනි අය සමඟ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ නව ගිවිසුම් සභාව ගොඩනඟයි.

මම මෙම සත්‍යථාවයන් දැකීමට පටන් ගත් විට, මම ස්වාමින් වහන්සේගෙන්, "ස්වාමීනි, ඔබගේ සැබෑ සභාව ගොඩනඟා ගැනීමට කැමති අය කොහේද?" කියා ඇසීම නැවැත්තුවෙමි. මම මුලින්ම පොලොවට වැටී මිය යාමට කැමති නම්, දෙවියන් වහන්සේ ඔවුන් සොයාගෙන අපව එකතු කරන බව මට වැටහුණි -. මම මරණය ප්‍රතික්‍ෂේප කළොත් දෙවියන්වහන්සේ ඔවුන්ව මා ළඟට ගෙන එන්නේ නැත.

අප වටා මුළු හදවතින්ම යුත් ඇදහිලිවන්තයන් සොයා ගැනීමට උත්සාහ කිරීම "පිදුරු ගොඩක ඉඳිකටු" සොයා ගැනීමට උත්සාහ කිරීමක් වැනිය. ඒ ගොඩේ ඇති ඒ කුඩා ඉඳිකටු සොයමින් අපට වසර ගණනාවක් පිදුරු ගොඩේ ගත කළ හැකිය. සමහර විට වසර ගණනාවක උත්සාහයෙන් පසු එක් ඉඳිකටුවක් සොයා ගතහැක. නමුත් ස්වාමින්වහන්සේ පවසන්නේ "ඒ ඉඳිකටු සොයමින් කාලය නාස්ති නොකරන්න, ඒවා කොහේදැයි මම දනිමි. බිම වැටී ඔබේම ස්වකැමැත්තට මැරෙන්න." එවිට ඔබ තුළ වන යේසුස් වහන්සේගේ ජීවනය එම "ඉඳිකටු" (මුළු හදවතින් යුතු ගෝලයින්) ඇදගනු ලබන බලගතු චුම්බකයක් බවට පත් වනු ඇත" (යොහන් 1:4, 12:32).

දේවභක්තික ජීවිතයක් ගත කිරීමට සහ නව ගිවිසුම් සභාව ගොඩනැගීමට උත්සාහ කරන අනෙකුත් ඇදහිලිවන්තයන් ඔබ වෙතට සහ ඔබ ප්‍රකාශ කරන කුරුසියේ පණිවිඩයට ඇදී එනු ඇත. ඒ දෙවියන්වහන්සේගේ මාර්ගයයි. උන්වහන්සේ මුළු හදවතින් යුත් අය අප වෙත ගෙන එයි. "පියාණන් මට දෙන සියල්ලෝම මා වෙත පැමිණෙනු ඇත", යොහන් 6:37 හි යේසුස් වහන්සේ වදාළ සේක. තවද පියාණන්වහන්සේ අප වෙනුවෙන්ද එයම කරනු ඇත. අපි නව ගිවිසුම් සභාව ගොඩනඟන්නේ එලෙසයි.

©Zac Poonen – [email protected]