WFTW Body: 

කිතුණු ප්‍රජාවේ විශාලතම ඛේදවාචකය නම් මහා ආඥාවේ පළමු භාගය සම්පූර්ණ කරන බොහෝ කිතුණුවන් දෙවන භාගය ඉටු කිරීම කෙතරම් වැදගත් දැයි අවබෝධ කර නොගෙන සිටීමයි. නරකම දෙය නම්, පළමු භාගය සම්පූර්ණ කරන බොහෝ සේවකයින් දෙවන භාගය සම්පූර්ණ කිරීමට උත්සාහ කරන අයව සැබවින්ම හෙළා දැකීමයි. අප යටහත් නම්, අප ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ හවුල් සේවකයින් බවත්, එක් ක්‍රියාවක් අනෙක් ක්‍රියාව මෙන්ම වැදගත් බවත් අපට පෙණෙනු ඇත. ක්‍රිස්තුස් වහන්සේ ඔවුන්ගේ පාප උදෙසා මරණයට පත්වූවේය යන ශුභාරංචි පණිවිඩය කිසිදා නොඇසූ අය වෙත ළඟා කිරීමට යන මිනිසා, එම පණිවිඩය පිළිගත් පුද්ගලයාව ගෝලයෙකු කර ඔහුට යේසුස් වහන්සේ අණ කළ සියල්ල කිරීමට ඉගැන්වීමෙන් එම කාර්‍යය සම්පූර්ණ කිරීමට උත්සාහ කරන තැනැත්තා මෙන්ම වැදගත් වේ.

"ප්‍රොපේතමය දේවසේවය පැරණි ගිවිසුමේ හෝ අලුත් ගිවිසුමේ කිසිදා ජනප්‍රිය වී නැත."

මහා ආඥාවේ පළමු කොටස ඉටු කිරීම ඉතා උද්‍යෝගිමත් ය, මන්ද මෙම කාර්‍යය බොහෝ විට කීමට අපූරු කථා රාශියක් ඇති කරයි.

මහා ආඥාවේ පළමු කොටස ඉටු කිරීම ඉතා උද්යෝගිමත් ය, මන්ද මෙම කාර්‍යය බොහෝ විට කීමට අපූරු කථා රාශියක් ඇති කරයි. මිෂනාරි සහ එවැන්ජලිස්ත සේවයේ සැබෑ වාර්තා සෑම විටම උද්වේගශීලියි. යක්‍ෂ ආත්ම වලින් එමෙන්ම රූප වන්දනාවෙන් සහ එවැනි බොහෝ දේවලින් මුදා හරින ලද මිනිසුන් පිළිබඳ කථාන්දර ඇති අතර, විශේෂයෙන් වාර්තා කිරීමට සංඛ්‍යයාලේඛන රාශියක් ඇත. එවැන්ජලිස්තවරුන්ට ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ වෙත ගෙන ආ මිනිසුන් සංඛ්‍යයාව ගැන පාරට්ටු කළ හැකිය. නමුත් එම හැරුනාවූ තැනැත්තා රැගෙන යේසුස් වහන්සේ ඉගැන්වූ සියල්ලට කීකරු වන ගෝලයෙකු බවට පත් කරන තවත් කිතුණු සේවකයෙකු ගැන කුමක් කිව හැකිද? ඔහුට පාරට්ටු කිරීමට සංඛ්‍යයාලේඛන නැත, නමුත් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණෙන විට එම පුද්ගලයා ගෝලයින් බිහිකිරීම උදෙසා මිහිපිට කිසිදු ගෞරවයක් ලබා නොගෙන වඩාත් විශ්වාසවන්ත කාර්‍යයක් කර ඇති බව අපට සොයා ගත හැකිය. සාමාන්‍යයෙන් කිවහොත්, කිතුණුවන් තමන්ට වාර්තා කළ හැකි සහ ඔවුන්ට සංඛ්‍යා උපුටා දැක්විය හැකි සේවාවන් ඉටු කිරීමට කැමැතිය. මතෙව්28: 19-20 හි මහා ආඥාවේ සඳහන් අංගය මාර්ක්16: 15 හි අනෙක් භාගයට වඩා බෙහෙවින් ජනප්‍රිය වන්නේ එබැවිනි. අපි අනෙක් භාගය කෙරෙහි අවධානය යොමු කර, යේසුස් වහන්සේ අණ කළ සියල්ල කිරීමට මිනිසුන්ට උගන්වන්නේ එයත් එක හේතුවක් වන බැවිනි.

ඔබ වසර 25ක් ලෝකයේ විවිධ ප්‍රදේශවලට ගොස් ශුභාරංචිය ප්‍රකාශ කරමින් සහ එවැන්ජලිස්ත සේවය කරමින් ගත කළේ නම්. ඔබ එවැන්ජලිස්තවරයෙකු නම්, ඔබ ක්‍රිස්තුස් වහන්සේ වෙතට ගෙන ආ සිය ගණනකගේ හෝ සමහර විට දහස් ගණනකගේ සංඛ්‍යයාලේඛන වාර්තා කිරීමට ඔබට අවස්ථාව තිබේ. නමුත් ඔබ එම වසර 25ම ගත කළේ තවමත් ගෝලයින් නොවන ආගමට හරවාගත් පිරිසකට යේසුස් වහන්සේ අණ කළ සියල්ල කිරීමට ඉගැන්වීමට නම්, සංඛ්‍යයාලේඛන අනුව ඔබට වාර්තා කිරීමට බොහෝ දේ නොතිබිය හැකිය. කෙසේ වෙතත්, ඔබ ක්‍රිස්තුස් වහන්සේ මෙන් මිනිසුන් බිහි කර ඇත, ඔවුන් පොළොවේ ක්‍රිස්තුස් වහන්සේට, වඩාත් හොඳ සාක්ෂියක් වන අතර දෙවියන් වහන්සේ යක්ෂයාට ආදම්ගේ ස්වභාවයෙන් මිදී ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය ප්‍රකාශ කළ හැකි මිනිසුන්ගේ නිදර්ශක ලෙස පෙන්විය හැකිය. එම උත්සාහය මහිමය ගෙන එන්නේ මේ පොළොවට නොව ස්වර්ගයටය.

ඔබ මිනිසුන්ගෙන් (සහෝදර කිතුණුවන්ගෙන් පවා!) ගෞරවය අපේක්ෂා කරන කිතුණුවකු නම්, ඔබ මහා ආඥාවේ දෙවන කොටස ගැන එතරම් තැකීමක් නොකරනු ඇත, මන්ද එය ඔබට වාර්තා කිරීමට බොහෝ දේ ලබා නොදේ. ඔබේ උනන්දුව සංඛ්‍යයාලේඛන සහ සංඛ්‍යයා සහ මිනිසුන්ගේ ගෞරවය නම්, ඔබ පළමු කොටස ගැන පමණක් උනන්දු වනු ඇත. පැරණි ගිවිසුමේ ප්‍රොපේත වරුන් කිසිවිටෙකත් ජනප්‍රිය නොවීය; ඉශ්‍රායෙල්හි ජනප්‍රිය වූයේ ව්‍යාජ ප්‍රොපේතවරුන්ය. මේ කාණ්ඩ දෙකේ වෙනස කුමක්ද? එක් වෙනසක් නම් ව්‍යාජ ප්‍රොපේතවරුන් මිනිසුන්ට ඔවුන් ඇසීමට කැමති දේ පැවසූ අතර සැබෑ ප්‍රොපේතවරුන් මිනිසුන්ට දෙවියන් වහන්සේගෙන් ඇසීමට අවශ්‍ය දේ පැවසීමයි. බොහෝ විට, එය ඔවුන්ගේ පාපය, ඔවුන්ගේ ලෞකිකත්වය, රූප වන්දනාව, කාමමිථ්‍යාචාරය සහ ඔවුන් දෙවියන් වහන්සේගෙන් ඈත් වීම ගැන තරවටු කිරීමක් මෙන්ම පසුතැවිලි වීමට කැඳවීමකි (දෙවියන් වහන්සේ වෙතට නැවත හැරවීම).

ප්‍රොපේතමය දේවසේවය පැරණි ගිවිසුමේ හෝ අලුත් ගිවිසුමේ කිසිදා ජනප්‍රිය වී නැත. අළුත් ගිවිසුමේ ප්‍රොපේතමය දේවසේවයද ඒ ආකාරයෙන්ම, දෙවියන් වහන්සේගේ සෙනඟව නැවත උන්වහන්සේ වෙතට කැඳවීම, නැවත වචනය වෙතට, නැවත ශුද්ධ ලියවිල්ලට කීකරු වීමට, යේසුස් වහන්සේ ඉගැන්වූ සියල්ලට කීකරු වීමට නැවත කැඳවීමයි. එය එවැන්ජලිස්ත දේවසේවයට වඩා බෙහෙවින් වෙනස් ය - තවද ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ප්‍රොපේතවරුන්ට පමණක් හෝ එවැන්ජලිස්තවරුන්ට පමණක් ගොඩනැඟිය නොහැක.

නිදර්ශනයක් ලෙස ගතහොත්, එවැන්ජලිස්ත සේවය හරහා මහා ආඥාවේ (මාර්ක්16: 15) පළමු භාගය ඉටු කිරීම පිඟානකින් ආහාර ගෙන අපගේ මුඛයට දැමීම හා සමාන කළ හැක. එවැන්ජලිස්ත සේවයේ මුළු අරමුණ කුමක්ද? ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සාමාජිකයෙකු නොවන කෙනෙකුව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට ගෙන ඒමයි. එය මූලික වශයෙන් එවැන්ජලිස්ත සේවයයි. ශුභාරංචිය ප්‍රකාශ කිරීම සැළසුම් කර ඇත්තේ නොඇදහිළිවන්තයෙකු, පිළිම නමස්කාර කරන්නෙකු හෝ කිසිම දෙවි කෙනෙකු නොමැති පුද්ගලයෙකු, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ කොටසක් බවට පත් කිරීමට ය. මගේ අතින් මේ මොහොතේ මගේ ශරීරයේ කොටසක් නොවන ආහාර පිඟානෙන් ගෙන මගේ ශරීරයට දමයි. එය කිතුණු නොවන අයෙකු ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට ගෙන එන එවැන්ජලිස්ත සේවය පිළිබඳ නිදර්ශනයකි.

ආහාර සම්පූර්ණයෙන්ම ශරීරයේ කොටසක් වන්නේ කෙසේද? ප්‍රථමයෙන්ම, මා කෑම දැක එය අතින් අරන් මගේ කටට දාගනිමි. මෙය එවැන්ජලිස්ත සේවයයි, නොඇදහිළිවන්තයා රැගෙන ක්‍රිස්තුස් වහන්සේ තුළට ගෙන ඒමයි. නමුත් මෙම ආහාරය, එය මගේ මුඛයේම පවතී නම්, මම එය මගේ මුඛයේ තබාගෙන සිටින තාක් කල්, එය කිසිවිටෙකත් මගේ ශරීරයේ කොටසක් නොවනු ඇත. එය නරක් වන අතර, මම එය ඉවතට දමමි. අත් උසවා තීරණ පත්‍රිකා අත්සන් කර ක්‍රිස්තුස් වහන්සේ වෙතට ආවා කියන බොහෝ අය එසේය, මුඛයේ තබාගත් කෑම වගේ. ඔබ එහි ගොස් මෙම තීරණ කාඩ්පත් අත්සන් කර ඇති මෙම පන්සිය දෙනා සෝදිසි කරන කළ, ඔවුන්ගෙන් එක් අයෙකු පමණක් සැබෑ ගෝලයෙකු බවට පත්වී ඇති බව ඔබට දැකගත හැකිය. අනිත් 499 හුදෙක් ගසාගෙන ගොස්‍ ය. එය නිතරම සිදුවේ. කෑම නිකම්ම කට ඇතුලට යාම ප්‍රමාණවත් නොවේ. දත්වලට ආහාර සැපීමට සිදු වන අතර, පසුව එය උගුරෙන් පහළට ගොස් ආමාශයට ඇතුළු වන අතර එහිදී එය බිඳ දැමීමට නොයෙක් අම්ල වර්ග ඒ මතට දමනු ලැබේ. මේ අවස්ථාවේදී, එය තවදුරටත් අර්තාපල් හෝ චපාති හෝ බත් නොවේ. එය තවදුරටත් වෙනත් ආකාරයන් බවට පරිවර්ථනය වනු ඇති අතර, ආහාර දිරවීමේ ක්‍රියාවලියකින් සහ ශරීරය තුළ සිදුවන වෙනත් බොහෝ දේවලින් පසුව, අවසානයේදී එම ආහාරය සම්පූර්ණයෙන්ම ශරීරයේ කොටසක් බවට පත්වේ. ආරම්භයේදී ආහාර ගෙන එය කටට දැමීම, මෙය ඉතා මෘදු දේව සේවාවක් වන අතර, මෙය එවැන්ජලිස්ත සේවාවයි. නමුත් ඉන් පසුව ශරීරයේ අනෙකුත් කොටස් භාර ගන්නා අතර, අතට කිසිදා කළ නොහැකි දේවල් ඔවුන් සිදු කරයි.

ඉතින් කුමන කාර්‍යයද වඩාත් අවශ්‍යය වන්නේ? එවැන්ජලිස්තවරයාද, නැතහොත් ප්‍රොපේතවරයාද, නැතහොත් එඬේරාද, නැතහොත් ගුරුවරයාද? එය හරියට "වඩා වැදගත් අතද, දත්ද, බඩද?" කියා අසන්නාක් මෙන්‍ ය, ශරීරයේ කොටස් සංසන්දනය කළ නොහැක, මක්නිසාද අතින් කෑම අරන් කටට දමන්නේ නැත්නම්, දත්වලටයි බඩටයි කරන්න දෙයක් නැතිවේ; ආහාර කටට දැමීමේ කාර්‍යය අත කළත්, දත් සහ බඩ කිසිවක් නොකරන්නේ නම්, එයද අපතේ යයි. එබැවින් ප්‍රොපේතවරයාට වඩා එවැන්ජලිස්තවරයා වැදගත් යැයි හෝ එවැන්ජලිස්තවරයාට වඩා ප්‍රොපේත වරයා වැදගත් යැයි සිතීමෙන් පලක් නැත. එකක් අනෙකට වඩා වැදගත් කාර්‍යයක් ඉටු කරන බව පෙනෙන්නට තිබුණත් දෙකම ශරීරයට සමානව අවශ්‍ය වේ. ශරීරයේ සෑම කොටසක්ම එහි ක්‍රියාකාරිත්වය ඉටු කිරීමට ප්‍රයෝජනවත් වීමට සෞඛ්‍ය සම්පන්න සහ වැඩුනු මාංශපේශී සහිත විය යුතු බවට දෙවියන් වහන්සේ තීරණය කර ඇත.

©Zac Poonen –

[email protected]