WFTW Body: 

ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතරට යක්ෂයාට පැමිණීමට ඉඩ දුන් විට, ඔවුන්ගේ විවාහය වල්බිහිවූ ඉඩමක් මෙන් වීමට පටන් ගනී. හිතෝපදේශ 24: 30-32 පවසන්නේ, “අලසයාගේ කෙත ළඟින්ද තේරුම් නැත්තාගේ මිදිවත්ත ළඟින්ද ගියෙමි; එහි සෑම තැනම කටුගස් වැවී, මුළුල්ලම කහඹිලියාවලින් වැසී තිබුණේය, ඒකේ ගල් තාප්පයත් කඩා වැටී තිබුණේය. එවිට මම බලා හොඳින් සිතට ගත්තෙමි; මම ඒ දැක ගුරුකම් ලැබීමි. ගෙවත්තක් නොසළකා හරින විට, එහි ඉක්මණින් වල්බිහිවීමට පටන් ගනී. වල් පැලෑටි, කටු සහ කටු පඳුරු මිදුලක ඉබේම වැවෙන නිසා ඔබට ඒවා විශේෂයෙන් වැපිරීමට අවශ්‍ය නැත. ඔබ ගෙවල් දෙකක් පසුකර යන විට ඉන් එකක අලංකාර මිදුලක් ඇති බවත්, අනෙකෙහි වල්බිහි වූ ඉඩමක් වැනි වූ මිදුලක් ඇති බවත් දුටුවහොත්, එම සුන්දර මිදුල ඉබේම එහි පැමිණියා යැයි ඔබ නොසිතනු ඇත. ලස්සණ මිදුල ඇති මිනිසා එය අලංකාර කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කරන්න ඇති. ඊට හාත්පසින්ම වෙනස්ව, වල්බිහි වූ මිදුලක් ඇති මිනිසා එය එසේ කිරීමට විශාල උත්සාහයක් ගත් බව ඔබ නොසිතනු ඇත - ඔහුගේ වත්ත නොසලකා හැරීම නිසා වල්බිහි වූ ඉඩමක් බවට පත් වී ඇත.

විවාහයේදී ද එම මූලධර්මයම අදාළ වේ. ඔබ ලස්සණ විවාහයක් දුටුවහොත්, එය ඉබේම ලස්සණ නොවන බව ඔබට සහතික විය හැකිය. එය ලස්සණ කිරීමට සැමියා සහ බිරිඳ යන දෙදෙනාම කටයුතු කර ඇත. ස්වාමිපුරුෂයා සහ භාර්යාව යන දෙදෙනාම වල් පැලෑටි ඉවත් කර නිතිපතා වතුර දැමීමෙන් තොරව ඕනෑම විවාහයක් අලංකාර උයනක් මෙන් විය නොහැකිය. ඊට වෙනස්ව, ඔබ ඔබේ විවාහය නොසලකා හැරියොත්, එය ඉබේම මුඩු බිමක් බවට පත්වේ.

ඔබ පරෙස්සම් නොවන්නේ නම්, යක්ෂයා කොල්ලකරුවෙකු මෙන් ඔබේ නිවසට පැමිණෙනු ඇත - සෙමින් නමුත් නිසැකවම - ඔබේ විවාහ සබඳථාවය විනාශ කිරීමට. එය එක් රැයකින් සිදු නොවනු ඇත. මුඩු බිමක් දින දෙක තුනකින් වර්ධනය නොවේ. සියල්ල හොඳින් සිදු වී ඇති බව ඔබට සිතෙන්නට පුළුවන, නමුත් ඔබ ඔබේ විවාහය පෝෂණය කිරීම අතපසු කළහොත්, කාලයත් සමඟ එය මුඩු බිමක් බවට පත් වනු ඇත.

ඔබේ උයන දැනටමත් මුඩු බිමක් වී ඇත්නම් කුමක් කළ යුතුද? මුඩු බිමක් නැවත උයනක් බවට පත් කරන්නේ කෙසේදැයි අපි සලකා බලමු.

දෙවියන් වහන්සේ අපට මහත් පොරොන්දු දෙකක් ලබා දෙන සේක. පළමුවැන්න යෙසායා 51: 3 - “ස්වාමීන්වහන්සේ ඇගේ වනාන්තරය ඒදන් මෙන්ද ඇගේ කාන්තාරය ස්වාමීන් වහන්සේගේ උයන මෙන්ද කරන සේක.” එය මොනතරම් පුදුමාකාර පොරොන්දුවක්ද! ඔබේ ජීවිතයේ එය ඉටු කරන ලෙස ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටින්න. ඔබ ඉල්ලන්නේ නැත්නම්, ඔබට එය නොලැබෙනු ඇත. යාකොබ් 4: 1 පවසන්නේ, "ඔබ ඉල්ලන්නේ නැති නිසා ඔබට ලැබෙන්නේ නැත" කියායි. ස්වාමීන් වහන්සේ පොරොන්දු වූ පරිදි ඔබේ වනාන්තරය ඒදන් උයන ලෙසට නැවත පිහිටුවන ලෙස ඉල්ලා සිටින්න.

දෙවෙනි පොරොන්දුව එසකියෙල් 36: 34-36 පද වලින් පැමිණේ. "මග යන සියල්ලන්ට දේශය පාළුවක්ව පෙනුණු නුමුත් එය අස්වද්දනු ලබන්නේය. මිනිස්සුද කථාකොට: පාළුවී තිබුණු මේ දේශය ඒදන් උයන මෙන් වී තිබේයයි කියන්නෝය. ස්වාමීන්වහන්සේ වන මම ඒක කීයෙමි, ඒක කරන්නෙමි." මෙයින් කියැවෙන්නේ ඒ අසලින් යන අයට පවා එහි තත්ත්වය දැකගත හැකිවූ තරම් නරක තත්ත්වයක තිබූ විවාහයක් ගැනය. නමුත් දෙවියන් වහන්සේ පවසන්නේ උන්වහන්සේ එවැනි අවුල් සහගත විවාහයක් පවා නැවත ගොඩනඟා දෙන බවත්, එය පාළු දෙයක් ලෙස දුටු අය පවසනු ඇත්තේ එය දැන් ඒදන් උයන මෙන් වී ඇති බවත් ය.

මෙම අපූරු පොරොන්දු කියවීමෙන් පසු, ශුද්ධාත්මයාණන්ගේ උපකාරයෙන් තොරව පාළුවක්ව පෙනුණු ඔබේ විවාහය ලස්සණ බවට පත් කිරීමට ඔබට නොහැකි වනු ඇති බව මතක තබා ගැනීම වැදගත්ය - විවාහ උපදේශන ශිල්පීය ක්‍රමවලින් හෝ බොහෝ පොත්පත් කියවීමෙන් නොව, ශුද්ධාත්මයාණන්ගේ උපකාරයෙන් පමණි. දෙවියන් වහන්සේ එසකියෙල් 36: 26 හි උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්ව අපට පොරොන්දු වී ඇත: "මම අලුත් සිතක් නුඹලාට දී, අලුත් ආත්මයක් නුඹලා තුළ තබා, නුඹලාගේ මාංසයෙන් ගල් සිත පහකොට, මාංසමයවූ සිතක් නුඹලාට දෙන්නෙමි. මාගේ ආත්මය නුඹලා තුළ තබන්නෙමි." උත්පත්ති 2: 10 හි, අපි කියවන්නේ ඒදන් උයන හරහා ගලා ගිය ගංඟාවක් තිබූ බවයි. එම ගංඟාව අපගේ විවාහ-උද්‍යානය මැදින් ගලා යන ශුද්ධාත්මයාණන්ගේ පින්තූරයක් වන අතර එය සියල්ල නැවුම් කරයි.

අපගේ මුඩුබිම උයනක් බවට පත් කිරීමේදී අපගේ අසරණ භාවය අප පිළිගෙන උපකාරය පතා දෙවියන් වහන්සේට මොරගසන විට, උන්වහන්සේ අපට උපකාර කරනු ඇත! ගීතාවලිය 127: 1 පවසන්නේ, "ස්වාමීන් වහන්සේ නිවස ගොඩනඟන්නේ නැත්නම්, එය ගොඩනඟන්න උත්සාහ කරන අය නිෂ්ඵළ ලෙස වෙහෙසෙති." ස්වාමීන් වහන්සේ අපට උදව් නොකළහොත් අපගේ විවාහය උයනක් බවට පත් කිරීමට අප දරන සියලු වෙහෙස නිෂ්ඵළ වනු ඇත. තවද අපට දැනට උයනක් තිබුණද, ස්වාමීන් වහන්සේ එය ආරක්ෂා නොකළහොත් එය මුඩුබිමක් බවට පත්වීමෙන් ආරක්ෂා කිරීමට අපට නොහැකි වනු ඇත.

අද ඔබේ විවාහ සබඳථාවය කෙසේ ද? එය වල්බිහිවූ මුඩුබිමක්ද? ඔබේ විවාහය කවදා හෝ උයනක් ලෙස නැවත පිහිටුවිය නොහැකි යැයි ඔබ බලාපොරොත්තු සුන් කරගන තිබේද? "මට සිටින සහකරු සමඟ කිසිසේත්ම උයනක් තිබිය නොහැක" කියා ඔබ කියනවාද? යක්ෂයාට අවශ්‍ය වන්නේ ඔබ එසේ කීමයි. නමුත් අපි කිසිවිටෙක බලාපොරොත්තු අත් නොහැරිය යුතුයි. දැන් ඔබ නැවත පිහිටුවීමේ දෙවියන් වහන්සේගේ පොරොන්දු දැක ඇති බැවින්, ඔබේ විවාහය සඳහා ඇදහිල්ලෙන් ඒවා ඉල්ලා සිටින්න. එසකියෙල් 36: 37 පවසන්නේ, "ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක, ඔවුන් වෙනුවෙන් එය කරන ලෙස ඔවුන් මගෙන් ඉල්ලා සිටින තුරු මම බලා සිටිමි." අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලන විට පමණක් උන්වහන්සේ එය අප වෙනුවෙන් කරනු ඇත. එබැවින්, ඔබ ස්වාමීන් වහන්සේ වෙත පැමිණ, "ස්වාමීනි, මාගේ විවාහ‍යෙහි ඔබට මෙය කළ හැකි බව මම විශ්වාස කරමි! මම බලාපොරොත්තු අත් නොහරිමි" කියා පවසන්න.

සවන් දීමට.