WFTW Body: 

අනෙක් අතට, කානාහි විවාහ මංගල්‍යය, දෙවියන් වහන්සේට ගෞරව කිරීම තුළින් ලැබෙන ආශීර්වාදය පිළිබඳ දර්ශනයක් අපට ලබා දෙයි (යොහන් 2:1-11). යේසුස් වහන්සේ තම මහිමය ප්‍රථම වරට ප්‍රකාශ කිරීමට තීරණය කළේ විවාහ මංගල්‍යයක දී වීම සැලකිය යුතු කරුණකි. අද පවා, සෑම විවාහ මංගල්‍යයකදීම සහ සෑම විවාහයකදීම උන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කිරීමට උන්වහන්සේ ආශා කරයි. ලිංගිකත්වය, ආදරය සහ විවාහය උන් වහන්සේ අපට ලබා දුන් වටිනාම දීමනා අතර වන අතර, එය උන් වහන්සේ අපට පමණක් නොව අප තුළින් අන් අයට ද උන්වහන්සේගේ මහිමය හෙළි කරන මාධ්‍යයක්ද විය හැකිය - ඒ අප උන් වහන්සේට ඉඩ දෙන්නේ නම් පමණි.

“කානාහි මුද්‍රිකපානය හිඟ වූ විට ඔව්හු ස්වාමීන් වහන්සේ වෙතට හැරී ගිය අතර, උන් වහන්සේ ඔවුන්ව ඔවුන්ගේ අවශ්‍යතාවයේ දී මග නොහැරිය සේක. ඔබගේ අවශ්‍යතාවයේ දී ඔබ උන්වහන්සේ වෙතට හැරුනහොත් උන්වහන්සේ ඔබවද මග නොහරිනු ඇත"

කානාහි මුද්‍රිකපානය හිඟය පෙන්නුම් කරන්නේ සෑම විවාහයකදීම ගැටලු සහ අවශ්‍යතා පැනනගින බවයි. මෙම ගැටළු අවසානයේ ස්වාමිපුරුෂයා සහ භාර්‍යාව යන දෙදෙනාම දිගින් දිගටම කලකිරීමට හා බලාපොරොත්තු සුන්වීමට ඇද දමන හේතු විය හැක. නමුත් යේසුස් වහන්සේට විවාහයක ප්‍රමුඛස්ථානය ලබා දුන් විට, උන්වහන්සේ ඉතා ඉක්මනින් ප්‍රශ්න විසඳා අවශ්‍යතා සපුරාලයි - උන්වහන්සේ කානාහිදී කළාක් මෙන්.

ක්‍රිස්තුස් වහන්සේ නිවසට ආගන්තුකයෙකු ලෙස ආරාධනා කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ; උන්වහන්සේ ස්වාමියා විය යුතුය. ඇත්ත වශයෙන්ම නිවසේ සැබෑ ප්‍රධානියා ස්වාමිපුරුෂයා (හෝ බිරිඳ!) නම්, “ක්‍රිස්තුස් වහන්සේ මෙම නිවසේ හිස” යනුවෙන් සඳහන් පුවරුවක් බිත්තියේ එල්ලීම හුදු උපහාසයකි. නමුත් ක්‍රිස්තුස් වහන්සේ සැබවින්ම හිස සහ ස්වාමියා ලෙස පිළිගන්නා ඕනෑම තැනක, උන්වහන්සේ වසර දෙදහසකට පෙර කානාහිදී කළාක් මෙන් උන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කරයි (11 පදය).

" උන්වහන්සේ ඔබට කුමක් කීවත් එය කරන්න", යනු මරියා එහි සිටි සේවකයන්ට දුන් අවවාදයයි (5 වන පදය). ඔවුන් එම උපදෙස සැලකිල්ලට ගෙන එයට අවනත වූ අතර නිසැකව හා වහාම යේසුස් වහන්සේට කීකරු විය - ඉක්මනින්ම ගැටලුව විසඳුනි. විවාහක ජෝඩු (මෙන්ම විවාහය ගැන කල්පනා කරන යෞවනයන්) එම උපදෙසටම අවනත වී ස්වාමින්වහන්සේගේ ආඥාවන්ට එලෙස නිසැකව හා ක්‍ෂණික කීකරුකම දක්වන්නේ නම්, ඔවුන්ගේ ගැටලුවලට කෙතරම් ඉක්මනින් විසඳුමක් ලැබේවිද?

එම විවාහ මංගල්‍යයේදී ජලය මුද්‍රිකපානය බවට පරිවර්තනය විය. රසයක් නැති පාටක් නැති සාමාන්‍ය දෙයක් මොහොතකින් මිහිරි, දීප්තිමත් සහ මිල අධික දෙයක් බවට පත් විය. ස්වාමින් වහන්සේට නිවසෙහි පූර්ණ පාලනය ලබා දෙන විට විවාහ ජීවිතයේ සාමාන්‍ය දේවල් (දිනචරියාවේ ඒකාකාරී වෙහෙස ඇතුළුව) දීප්තියෙන් බැබළෙන්නට පටන් ගන්නේ කෙසේද යන්න මෙයින් සංකේතවත් කරයි. රස නැති දේ මිහිරි බවට පත් වන අතර, කලින් සාමාන්‍යය යැයි සුළු කළ දේ තුළ අසීමිත වටිනාකමක් පෙනෙන්නට පටන් ගනී.

ඒ ආශ්චර්‍යයේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ මිනිසුන්ගේ අවශ්‍යතා ද ඉටු විය. කිතුනු විවාහයක් කිසිවිටෙකත් හවුල්කරුවන් දෙදෙනාටම සතුට ලබා දීමෙන් පමණක් එහි අරමුණ ඉටු නොකරයි. දෙවියන්වහන්සේගේ අභිප්‍රාය නම් සෑම විවාහක යුවලක් තුළින්ම නිරන්තරයෙන් ඔවුන්ගේ කුසලාන "උතුරා ගලා යෑම ය" (ගීතාවලිය 23:5). ඔවුන් තවත් බොහෝ දෙනෙකුට - ඇත්ත වශයෙන්ම ඔවුන් මුණගැසෙන සෑම කෙනෙකුටම ආශීර්වාද කිරීමේ මාධ්‍යයක් විය යුතුය. දෙවියන් වහන්සේ වරක් උන්වහන්සේගේ කීකරු සේවකයෙකුට පැවසුවේ - "මම ඔබට ආශීර්වාද කරන්නෙමි ... ඔබ ආශීර්වාදයක් වනු ඇත - අන් අයට යහපත බෙදාහරිනු ඇත ... (සහ) ඔබ තුළ පෘථිවියේ සියලු පවුල් සහ ඥාතීන් ආශීර්වාද ලබනු ඇත" (උත්පත්ති 12: 2, 3). ගලාති 3:14 ට අනුව දෙවියන්වහන්සේගේ එම ආශීර්වාදය අපටද වේ. විවාහය තුළ කෙනෙකුට ඊට වඩා උතුම් අරමුණ කුමක් විය හැකිද? නමුත් අප අන් අයට ආශීර්වාදයක් වන මිම්ම රඳා පවතින්නේ අපගේ එදිනෙදා ජීවිතයේදී අප දෙවියන් වහන්සේට කීකරු වන මිනුම මතය. "ඔබ මාගේ හඬ අසා කීකරු වූ බැවින් ඔබගේ වංශයෙන් පොළොවේ සියලු ජාතීන් ආශීර්වාද ලබනු ඇත" (උත්පත්ති 22:18).

කානාහි ප්‍රාතිහාර්‍යය ලිංගිකත්වය, ආදරය සහ විවාහය යන ක්‍ෂේත්‍රවල වැරදි සහ අසාර්ථක වූවන්ට බලාපොරොත්තුවේ පණිවිඩයක් ද සපයයි. කානාහි මුද්‍රිකපානය නැති වූ විට, ඔව්හු ස්වාමීන් වහන්සේ වෙතට හැරී ගිය අතර, උන් වහන්සේ ඔවුන්ව ඔවුන්ගේ අවශ්‍යතාවයේ දී මග නොහැරිය සේක. ඔබගේ අවශ්‍යතාවයේ දී ඔබ උන්වහන්සේ වෙත හැරුනහොත් - ඔබගේ අසාර්ථකත්වය කොතරම් විශාල වුවත්, උන්වහන්සේ ඔබව මග නොහරිනු ඇත. උන්වහන්සේ ඔබෙන් ඉල්ලා සිටින්නේ එම අවශ්‍යතාවය ගැන අවංකව (කානාහි සිටි අය මෙන්) සහ ඔබේ අසාර්ථකත්වය උන්වහන්සේට පවසන ලෙස පමණි. ඔබේ මෝඩකම නිසා, එම ගැහැණු ළමයා (හෝ එම පිරිමි ළමයා) සමඟ දේවල් ඕනෑවට වඩා යාමට ඉඩ දී තිබේද? ආදරය පිළිබඳ කාරණයේදී ඔබ වරදවා වටහාගෙන තිබේද - සමහරවිට නොදැනුවත්කම නිසාද? එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔබ දැන් අපහසුතාවයට සහ කලකිරීමකට මුහුණ පා සිටිනවාද? අන් අය ඔබව වරදවා වටහාගෙන ඔබට නින්දා කරනවාද - නැත්නම් සමහරවිට ඔබට අපහාස කරනවාද? එසේනම් මොහොතක්වත් ප්‍රමාද නොවී වහාම ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන්න. උන්වහන්සේ පව්කාරයන්ගේ මිතුරෙකි. උන්වහන්සේ ඔබේ පාපයට සමාව දීමට පමණක් නොව සාතන් විසින් ඔබේ ජීවිතයෙහි ඇති කර ඇති අවුල නිරවුල් කිරීමටද බලා සිටී. උන්වහන්සේ ලෝකයට පැමිණියේ මෙම අරමුණු දෙක ඉටු කිරීමටය (1 යොහන් 3:5, 8). අධෛර්‍යයට පත් නොවන්න, මන්ද ඔබ කෙරෙහි පවා බලාපොරොත්තුවක් ඇත. ස්වාමීන් වහන්සේ කානාහි එම විවාහ මංගල්‍යයේ අඩුව පිරිමැසීමට වඩා වැඩි දෙයක් ඉටු කළ සේක, ඔබේ ජීවිතයේ සෑම අඩුවක්ම පිරිමැසීමට වඩා ඉටු කිරීමට උන් වහන්සේට පුළුවන. ස්වාමින් වහන්සේ තම මහිමය කානාහි දී ප්‍රකාශ කළ අතර, ඔබේ කාරණය සම්බන්ධයෙන් ද උන්වහන්සේට එය කළ හැකිය.

ඔබ බලාපොරොත්තු සුන්වීමකට මුහුණ දී ඇත්නම්, කිතුනු ජීවිතය තුළ සැබෑ ආශීර්වාදය ලැබෙන්නේ අත්හැරීම තුළින් මිස සන්තකයේ තබා ගැනීමෙන් නොවන බව සිතට ගන්න (ක්‍රියා 20:35). දෙවියන් වහන්සේට ඔබගේ යහපත සඳහා සියල්ල එකට ක්‍රියා කිරීමට සැලැස්විය හැකි අතර, ඉටු නොවූ ආශාවන් නොතකා උන්වහන්සේගේ මහිමය සඳහා පූර්ණ ජීවිතයක් ගත කිරීමට ඔබට උපකාර කළ හැකිය.

©Zac Poonen – [email protected]