WFTW Body: 

1 කොරින්ති 2: 14, 15 හි, අපි "ස්වභාවික (ප්‍රාණික) මිනිසා" සහ " ආත්මික වූ තැනැත්තා " ගැන කියවන්නෙමු. ප්‍රාණික කිතුණුවෙකු සහ ආත්මික කිතුණුවෙකු අතර විශාල වෙනසක් ඇත. මෙහි සඳහන් වන පරිදි මිනිස් දක්ෂතාවයට මෙය තේරුම් ගත නොහැක:"ස්වභාවික මිනිසෙකු දෙවියන් වහන්සේගේ ආත්මයේ දේවල් පිළිගන්නේ නැත , මන්ද ඒවා ඔහුට මෝඩකමකි; ඒවා ආත්මිකව විමසිය යුතු ඇති බැවින් ඒවා තේරුම් ගන්න ඔහුට බැරිය. නමුත් ආත්මික තැනැත්තා සියල්ල විමසයි , එහෙත් කිසිවෙකු විසින් ඔහුව ඇගයීමට ලක් නොකරයි."

" දෙවියන් වහන්සේගේ දේවල් අවබෝධ කර ගැනීම සඳහා අපට ශුද්ධාත්මයාණන්ගෙන් එළිදරව් අවශ්‍ය වේ , එය ලබා දෙන්නේ යටහත් අයට මිස දක්ෂයින්ට නොවේ"

මණස සහ ආත්මය ඇස සහ කණ මෙන් වෙනස් ය. යමෙකුට හොඳ ශ්‍රවණයක් ඇති නමුත් අන්ධ විය හැකි සේම, යමෙකුට අතිදක්ෂ බුද්ධියක් සහ 'මළ' ආත්මයක් තිබිය හැකිය - නැතහොත් අනෙක් අතටද විය හැකිය. මෙළොව වැඩ සඳහා අපට හොඳ මණසක් අවශ්‍යවේ. නමුත් දෙවියන් වහන්සේගේ දේවල් සම්බන්ධයෙන් ගත් කළ, වැදගත් වන්නේ අපගේ ආත්මයේ තත්ත්වයයි. දෙවියන් වහන්සේගේ දේවල් අවබෝධ කර ගැනීම සඳහා අපට ශුද්ධාත්මයාණන්ගෙන් එළිදරව් අවශ්‍ය වන අතර, එය දෙනු ලබන්නේ යටහත් අයට ("ළදරුවන්ට" මෙන් යටහත් ආත්මයක් ඇති අයට - මතෙව් 11: 25) මිස දක්ෂයින්ට නොවේ (ඔවුන්ද එසේ යටහත් අය නොවේ නම්).

දක්ෂ මිනිසෙකුට යටහත් වීම අපහසුය, එය කළ නොහැකි දෙයක් නොවූවත්. එය හරියටම තම-ධර්මිෂ්ඨකම ඇති පරිසිවරයෙකුට තමා පව්කාරයෙකු බව පිළිගැනීමට අපහසු වූවාක් මෙනි, එය කළ නොහැකි දෙයක් නොවූවත්. ගණිකාවන්ට සහ සොරුන්ට තමන් පව්කාරයින් බව පිළිගැනීම ඊට වඩා පහසුය. දිව්‍යමය හෙළිදරව් සම්බන්ධයෙන් ද එය එසේ ය: නූගත් මිනිසෙකුට තමා දක්ෂ නොවන බව පිළිගැනීමට පහසු වේ - එබැවින් ඔහුට දිව්‍යමය එළිදරව්ව ඊට වඩා ඉක්මණින් ලබා ගත හැකිවේ. පේත්‍රැස්, යාකොබ් සහ ‍යොහාන් යන නූගත් ධීවරයින් තිදෙනෙකු සමඟ - යේසුස් වහන්සේ වැඩි කාලයක් ගත කළේ ආත්මික දේවලට වඩාත්ම ප්‍රතිචාර දක්වන්නේ ඔවුන් බව උන්වහන්සේට වැටහුණු බැවිනි. තවද පරිසිවරුන්ට ක්‍රිස්තුස් වහන්සේව පිළිගැනීම එතරම් අපහසු වූයේද මේ නිසාය - මන්ද ඔවුන්ගේ බුද්ධිය පිළිබඳ ඔවුන්ගේ උඩඟුකම ඔවුන්ව ආත්මික වශයෙන් මෝඩයන් බව පිළිගැනීමට බාධාවක් විය. බුද්ධිමය හා දක්ෂ විද්‍යාල සිසුන් සමඟ නිරන්තරයෙන් ඇසුරු කිරීමේදී ඔබ මෙය මතක තබා ගත යුතු දෙයකි.

මිනිසාගේ දක්ෂකමට දෙවියන් වහන්සේ ඉදිරියෙහි වටිනාකමක් නැත. එය අපගේ සමේ වර්ණය මෙන් දෙවියන් වහන්සේට නොවැදගත් ය - මේ දෙකෙන්ම මිනිසුන් උපත ලබයි. මිනිසුන් කුමකින් උපත ලැබුවද, දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔවුන්ට කිසිදු වාසියක් නොලැබේ. දක්ෂකම, මනුෂ්‍ය ධර්මිෂ්ඨකම මෙන්, දෙවියන් වහන්සේ ඉදිරියෙහි අපිරිසිදු වැරහැළි රෙද්දකට සමානය (යෙසායා 64: 6). ක්‍රිස්තුස් වහන්සේ අපගේධර්මිෂ්ඨකම පමණක් නොව, අපගේ ප්‍රඥාවද වී ඇත (1 කොරින්ති 1: 30 බලන්න).

කෙසේ වෙතත්, ස්වයං-ධර්මිෂ්ඨ පරිසිවරයෙකු වූ සහ දක්ෂ බුද්ධිමතෙකු වූ (බාධා දෙකම තිබූ) පාවුල්තුමා වැනි මිනිසෙකු ගැළවීම පමණක් නොව, ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ප්‍රේරිතයෙකු වීමට ද හැකිවීම අපව දිරිමත් කරයි. නමුත් ඒ ඔහු නිතරම නිහතමානී වූ නිසාය. කොරින්තිවරුන්ට කථා කරන විට, ඔහු පවසන්නේ තමාගේම බුද්ධිමය හැකියාව මත තමන් රඳා පවතී යැයි ඔහු බිය වූ බවත්, ඔහු "ඔවුන් අතර බියෙන් හා වෙව්ලමින්" සිටි බවත්ය (1 කොරින්ති 2: 3). තමන් දෙවියන් වහන්සේගේ ආත්මයේ බලයට වඩා තම මණසේ (ප්‍රාණයේ) බලයෙන් ඔවුන්ට දේශනා කරනු ඇතැයි ඔහු බිය විය. කථා කරන හැම වෙලාවකම ඒ බිය අපි සැමටම තිබිය යුතුය. මේ නිසායි අපි ශුද්ධාත්මයාණන්ගේ බලය උදෙසා නිරන්තරයෙන් යාච්ඤා කළ යුත්තේ - අපට මෙය අඛණ්ඩව අත්‍යවශ්‍ය වේ.

එබැවින්, බයිබලාණුකුළ සත්‍යථාවයේ දක්ෂ බුද්ධිමය ඉදිරිපත් කිරීමක් ආත්මික එකක් ලෙස අප වරදවා නොගත යුතුය. එළෙසම අප ඉතා සංවේදී පණිවිඩයක් වුවද ආත්මිකව එකක් ලෙස වරදවා වටහා නොගත යුතුය. බුද්ධිය සහ හැඟීම් යන දෙකම අපගේ ප්‍රාණයේ කොටස් වේ. මොවුන් හොඳ සේවකයන් වුවද නරක ස්වාමිවරු ය. ශුද්ධාත්මයාණන් වහන්සේ පමණක් අපගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ විය යුතුය. අවසාන වශයෙන්, ආත්මික වීමට මාර්ගය මා නිතර සඳහන් කළ කිතුණු ජීවිතයේ රහස් තුන තුළ පවතී:යටහත්කම, යටහත්කම සහ යටහත්කම (නිහතමානිකම)! ඔබට මෙම යටහත්කම ඇත්නම්, ඔබ හරි තැන පවතින්නේය.

©Zac Poonen – [email protected] කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදු නොකළයුතුය.

ඔබට මෙය ආශීර්වාදයක් වූයේ නම්, තව සහෝදර/සහෝදරියකට කොපියක් ලබා දීමෙන් සුභාරංචියේ පංඟුකාරයකු වන්න.