WFTW Body: 

“නුඹේ මුළු සිතින් ස්වාමීන් කෙරෙහි අදහාගන්න, නුඹේම නුවණෙහි නොපිහිටන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේව සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ පාරවල් සමතලාකරනසේක.” (හිතෝපදේශ 3:5-6) මේ පදයේ දී, අවධාරණය යොමු වී ඇත්තේ හදවතට ය. හිතෝපදේශ පොතෙහි මෙම අවධාරණය නිතර දක්නට ලැබෙන බව ඔබට පෙනෙනු ඇත. ඇදහිල්ල යනු මනසේ කාරණයක් නොවන බව මෙහිදී අපට පෙනේ. පැරණි ගිවිසුමේ දී සාලමොන් පවා එය තේරුම් ගෙන සිටීම සිත්ගන්නාසුළුය, නමුත් සමහර විට අපට එම වැරැද්ද සිදුවිය හැකිය. අපට ඇතැම් සත්‍යයන් වටහාගත හැකිය (එනම්, දෙවියන්වහන්සේ ප්‍රේමණීය පියෙකු බව හෝ දෙවියන්වහන්සේ යේසුස්වහන්සේට ප්‍රේම කරනවා සේම උන්වහන්සේගේ ගෝලයන්ටත් ප්‍රේම කරන බව - හැමදෙනාටම නොව, සියලුම ඇදහිලිවන්තයන්ට පවා නොව, සියල්ල අත්හැර දැමූ යේසුස්වහන්සේගේ ගෝලයන්ට ය), නමුත් ඒවා මා මගේ ඔළුවෙන් පමණක් තේරුම් ගන්නා දේවල් විය හැකිය. පරීක්ෂාව පැමිණෙන මොහොතේ දී, මම තවමත් කනස්සල්ලට පත් වෙමි, මන්ද මම මගේ හදවතින් ඒවා විශ්වාස නොකරන බැවිනි. යමක් මගේ ඔළුවෙන් විශ්වාස කිරීම (එය යක්ෂයාට ඇති ආකාරයේ ඇදහිල්ලකි) සහ මගේ මුළු සිතින් ස්වාමීන් කෙරෙහි අදහාගැනීම අතර විශාල වෙනසක් ඇත. ඒ සඳහා මට ශුද්ධාත්මයාණන්වහන්සේගේ එළිදරව්වීම අවශ්‍ය වේ.

යමක් ඔබේ ඔළුවෙන් විශ්වාස කිරීමට නම්, ඔබට අවශ්‍ය වන්නේ එම විෂය හොඳින් විග්‍රහ කර දෙන හොඳ බයිබල් ගුරුවරයෙකු පමණි, එවිට ඔබ එය තේරුම් ගනී. අප සිතන්නේ එය ඇදහිල්ල කියා ය, නමුත් පරීක්ෂාව පැමිණෙන මොහොතේ දී, එය කිසිසේත්ම ඇදහිල්ල නොවන බව අපට වැටහේ. අප සතුව මුදල් ඇතැයි අප සිතන නමුත්, කඩයට ගිය විට එය ව්‍යාජ මුදල් බව අපට පෙනී යයි. එය සැබෑ මුදල්වල ඡායාරූපයක් පමණි. එය සැබෑ දෙය නොවේ. පරීක්ෂාව පැමිණෙන මොහොතේ දී හෙළිදරව් වන්නේ අපේ ඇදහිල්ල පැමිණ ඇත්තේ හදවතින් නොව, හුදෙක් ඔළුවෙන් පමණක් බව ය. දෙවියන්වහන්සේ අපට එළිදරව්වක් දෙන පිණිස අප බොහෝ සේ යාච්ඤා කළ යුත්තේ එබැවිනි. එවිට අපගේ ඇදහිල්ල මනසේ පමණක් රැඳී නොසිට, අපගේ හදවත් තුළට ගැඹුරින් කිඳා බසිනු ඇත. එවිට පරීක්ෂාව පැමිණෙන මොහොතේ දී, එම ඇදහිල්ල අපව රඳවා තබා ගන්නා අතර, අප සොලවනු නොලැබේ. මුළු සිතින් ස්වාමීන් කෙරෙහි අදහාගන්න!

පසුව ඔහු පවසන්නේ, "නුඹේම නුවණෙහි නොපිහිටන්න" කියා ය. අපගේම නුවණ යනු අපගේ මනසෙහි ඇති තර්කනයයි. ඔහු පවසන්නේ ඔබේ මනස විශ්වාස නොකරන ලෙසයි! ඒ වෙනුවට, ඔබේ මුළු සිතින් ස්වාමීන් කෙරෙහි අදහාගන්න. ඔහු මෙහිදී මනස සහ හදවත අතර ප්‍රතිසමතාවක් (වෙනසක්) දක්වයි. ඔහු පවසන්නේ, "ඔබේ මනස විශ්වාසය තැබිය නොහැකි ය. දෙවියන්වහන්සේ ප්‍රේමණීය පියෙකු බව ඔබ ඇත්තටම විශ්වාස කරන බව ඔබේ මනස ඔබට පවසයි, නමුත් පරීක්ෂාව පැමිණෙන මොහොතේ දී ඔබ කනස්සල්ලට පත් වේ. එයින් ඔප්පු වන්නේ දෙවියන්වහන්සේ ප්‍රේමණීය පියෙකු බව ඔබ හදවතින්ම විශ්වාස නොකරන බවයි." අපගේ සභාවේ දී අප නිතරම කතා කර ඇත්තේ මේ ගැනය: එනම් ඇදහිල්ලේ අංක එකේ සතුරා අපගේම දක්ෂ තර්කනය බවයි. බුද්ධිමත් මිනිසුන්ට ඇදහිල්ලට පැමිණීම ඉතා අපහසු වන්නේ එබැවිනි. එය කළ නොහැක්කක් නොවේ, නමුත් එය දුෂ්කර ය, මන්ද ඔවුන් තමන්ගේම දක්ෂතාවය කෙරෙහි පිහිටීමට නැඹුරු වන බැවිනි. එමෙන්ම බුද්ධිමත් මිනිසුන් ශුද්ධ ලියවිල්ල ගැන කොතරම් තේරුම් ගෙන සිටියත් ඔවුන් කනස්සල්ලට පත්වන බව ඔබට පෙනෙනු ඇත. ඔවුන්ට පාපය කෙරෙහි ජයග්‍රහණය ලැබිය නොහැක්කේ ඔවුන්ට ඇදහිල්ල නොමැති බැවිනි. ඔවුන් බුද්ධිමත් ය, ඔවුහු තමන්ගේම තර්කනය කෙරෙහි පිහිටති.

සියලුම බයිබල් පාසල් සහ බයිබල් විද්‍යාල කරන ලොකුම වැරැද්ද මෙයයි. දෙවියන්වහන්සේගේ වචනය නොකරන්නැයි පවසන දේම කිරීමට ඔවුහු මිනිසුන්ට උගන්වති: එනම් ශුද්ධ ලියවිල්ල තේරුම් ගැනීමට සහ විග්‍රහ කිරීමට යාමේදී තමන්ගේම නුවණෙහි පිහිටීමයි. ශුද්ධාත්මයාණන්වහන්සේගේ එළිදරව්වීම කෙරෙහි කිසිදු අවධාරණයක් යොමු නොකෙරෙන අතර, එහි ප්‍රතිඵලය වන්නේ බයිබල් පාසල් සහ බයිබල් විද්‍යාලවලින් පිටවන අය සෑම තැනකම දෙවියන්වහන්සේගේ ක්‍රියාවට ඇති ලොකුම බාධක බවට පත්වීමයි. ඒ ඔවුන් මෙම මූලධර්මය උල්ලංඝනය කරන බැවිනි. බයිබල් පාසලක ඉගෙනීමෙන් ඔබට ඇදහිල්ල ලබාගත නොහැක. ඇදහිල්ල පැමිණෙන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේගේ එළිදරව්වීමෙනි. එම කාරණයම සභාවට ද අදාළ වේ. අප කළ යුත්තේ ධර්මයන් බුද්ධිමය වශයෙන් පමණක් ග්‍රහණය කරගෙන ඒවා අන් අයට බෙදා දීමට උත්සාහ කිරීම නොවේ. ඒවා අපගේ හදවත් තුළ තදින් කා වැදිය යුතුය. නුඹේ මුළු සිතින් ස්වාමීන් කෙරෙහි අදහාගන්න, නුඹේම නුවණෙහි නොපිහිටන්න.

හිතෝපදේශ 3:6 හි පවසන්නේ, "නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේව සලකන්න" කියා ය. වෙනත් වචනවලින් කිවහොත්, ඔබේ ජීවිතයේ සෑම අංශයක්ම දෙවියන්වහන්සේට භාර දෙන්න. උන්වහන්සේට ඔබේ මුදල් කාරණා පාලනය කිරීමට දෙන්න, ඔබ කියවන දේ පාලනය කිරීමට දෙන්න, ඔබ ඔබේ කාලය ගත කරන ආකාරය පාලනය කිරීමට දෙන්න, ඔබේ පවුල් ජීවිතයේ සෑම අංශයක්ම පාලනය කිරීමට දෙන්න, ඔබේ දරුවන් වෙනුවෙන් ඔබට ඇති අභිලාෂයන් පාලනය කිරීමට දෙන්න, ඔබේ වෘත්තිය පාලනය කිරීමට දෙන්න, සෑම අංශයකදීම ඔබව පාලනය කිරීමට උන්වහන්සේට ඉඩ දෙන්න. ඔබේ සියලු මාර්ගවලදී! එවිට උන්වහන්සේ ඔබේ පාරවල් සමතලාකරනසේක, ඔබේ මාවත් මෙහෙයවනසේක, ඔබට මඟ පෙන්වනසේක. තමන්ගේ ජීවිතයේ යම් නිශ්චිත අංශයකදී මඟ පෙන්වීමක් බලාපොරොත්තු වන බොහෝ අය සිටිති, ඔවුහු, "ස්වාමීනි, මේ අංශයේදී, ඔබ මට කරන්න කියන ඕනෑම දෙයක් කිරීමට මම කැමැත්තෙමි. මට මඟ පෙන්වන්න" යැයි පවසති. එවිට ස්වාමීන්වහන්සේ පවසන්නේ, "මට ඔබට මඟ පෙන්විය නොහැක, මන්ද ඔබ ඔබේ සියලු මාර්ගවලදී මාව සලකන්නේ නැත! මේ අංශයේදී පමණක් නොව, සෑම අංශයකදීම මාව සලකන්න. ඔබ ඔබේ මුළු ජීවිතයේම පාලනය මට බාරදීමට කැමති නම්, මම ඔබට මඟ පෙන්වන්නෙමි" කියා ය.

ඔබට මඟ පෙන්වීම අවශ්‍ය වන්නේ එක් අංශයකින් පමණක් නම්, සහ ඔබ දෙවියන්වහන්සේට යටත් කරන්නේ එම එකම අංශය පමණක් නම්, ඔබට මඟ පෙන්වීමක් ලැබෙනු ඇතැයි පොරොන්දුවක් නැත. නමුත් ඔබේ සියලු මාර්ගවලදී - ඔබේ ජීවිතයේ සෑම තනි අංශයකදීම - ඔබ උන්වහන්සේව සලකා අපගේ මාවත් මෙහෙයවීමට උන්වහන්සේට ඉඩ දෙන්නේ නම්, උන්වහන්සේ ඔබට මඟ පෙන්වනසේක. මඟ පෙන්වනවා පමණක් නොව, උන්වහන්සේ "ඔබ වෙනුවෙන් මාර්ගය පැහැදිලි කරන බව" ද එහි සඳහන් වේ. බොහෝ බාධකවලින් අවහිර වී ඇති එම මාර්ගය, උන්වහන්සේ ඔබ වෙනුවෙන් පාදා දෙනසේක. සහෝදරයනි, සහෝදරියනි, ඔබේ ජීවිතයේ ඉදිරි ගමනට බාධා කරන බාධක සහ නොයෙකුත් දේ ඇති බව ඔබට පෙනේ නම්, මේ වචනය ගැන සිතන්න: ඔබ ඔබේ සියලු මාර්ගවලදී දෙවියන්වහන්සේව සලකන්නේ නම්, ඔබේ මුළු සිතින් උන්වහන්සේ කෙරෙහි අදහාගන්නේ නම්, සහ ඔබේම නුවණෙහි නොපිහිටන්නේ නම්, උන්වහන්සේ ඔබ වෙනුවෙන් මාර්ගය පැහැදිලි කරනසේක. එය ඔබ විසින්ම පැහැදිලි කරගත නොහැක; ඔබ කොතරම් කල් උත්සාහ කළාද. උන්වහන්සේ ඔබ වෙනුවෙන් මාර්ගය පාදා දෙනසේක! අප ඉදිරියට යන විට උන්වහන්සේ අප වෙනුවෙන් මාර්ගය පැහැදිලි කර දෙන, කෙතරම් අගනා ජීවිතයක් අපට ගත කළ හැකිද කියා සිතන්න. එය තම මුළු සිතින් දෙවියන්වහන්සේ කෙරෙහි අදහාගන්නා, තමාගේම දක්ෂතාවය කෙරෙහි නොපිහිටන, සහ තම ජීවිතයේ සෑම තනි අංශයකදීම දෙවියන්වහන්සේව සලකන මිනිසෙකුගේ ජීවිතයයි.

සවන් දීමට.