යේසුස් වහන්සේ මෙසේ වදාළ සේක, “පොළොවෙහි නුඹලාට වස්තු රැස්කර නොතබන්න; එහිදී කාවෝද මළකඩද ඒවා නාස්තිකරති, සොරුද උමංකැන සොරාගනිති. නුමුත් ස්වර්ගයෙහි නුඹලාට වස්තු රැස්කර තබා ගන්න; එහිදී කාවෝවත් මළකඩවත් ඒවා නාස්ති නොකරති, සොරු උමංකැන සොරා නොගනිති. මක්නිසාද නුඹේ වස්තුව යම් තැනෙක්හිද නුඹේ සිතත් එතැන්හිම වන්නේය.” (මතෙව් 6:19-21) මුදල් වලට ප්‍රේම කිරීම වැරදියි කියා බොහෝ අය විශ්වාස කරන්නේ නැත. මුදල් තිබීම පාපයක් නොවේ, මුදලට ප්‍රේම කිරීම පාපයකි.
අප මෙම ආඥාවට කීකරු වී ඇත්ද නැද්ද යන්න තේරුම් ගැනීම ඉතා පහසුය. ඔබේ මණස ස්වර්ගීය දේවලට වඩා භූමික දේ ගැන සිතන්නේ නම් -- ඔබ ස්වර්ගීය දේවලට වඩා ඔබේ ලෞකික වත්කම් සහ දේපළ ගැන සිතන්නේ නම් -- ඔබේ හදවත තිබෙන්නේ මේ පොළොව මත බවත් ඔබේ සම්පත ද මෙහිම ඇති බවත් ඔබට ස්ථිරවම දැනගත හැකිය. අප මෙම අණට කීකරු වී ඇත්දැයි දැනගැනීමේ මාර්ගය නම්, දවස පුරා අපගේ සිත යොමුවී ඇත්තේ කොතැනටදැයි අපෙන්ම විමසා බැලීමයි. අපගේ වැඩ කටයුතු අතරතුර (හෝ වෙනත් ඕනෑම දෙයකදී), සුළු මූල්‍යමය අලාභයක් නිසා අප දැඩි ලෙස කැළඹෙන්නේ නම් හෝ මූල්‍යමය වාසියක් නිසා අධික ලෙස අප උද්දාමයට පත්වන්නේ නම්, එයින් ඇඟවෙන්නේ අපගේ සම්පත මේ පොළොවෙහි ඇති බවයි.
වසර ගණනාවකට පෙර, යමෙකු මට කුඩා මුදල් තෑග්ගක් දුන් විට, ස්වාමීන් වහන්සේ මගෙන් ප්‍රශ්නයක් ඇසූ බව මට මතකය - "ඔබේ ප්‍රීතිය වැඩි වූවාද?" මට හදිසියේම වරදකාරී හැඟීමක් ඇති වූ අතර, මට මේ සුළු මුදල ලැබුණු නිසා මගේ ප්‍රීතිය වැඩි වූ බව මම ස්වාමීන් වහන්සේ ඉදිරියේ පාපොච්චාරණය කළෙමි. මා ප්‍රීති විය යුත්තේ ස්වාමීන් වහන්සේ තුළ පමණක් මිස මුදල් මත නොවන බව එදින මම ඉගෙන ගත්තෙමි. එසේම මුදල් වැඩිවීම කිසිවිටෙකත් මගේ ප්‍රීතිය වැඩි නොකළ යුතු බව ද මම ඉගෙන ගත්තෙමි. එය මගේ ප්‍රීතිය වැඩි කරන්නේ නම්, එහි තේරුම මගේ ප්‍රීතිය රැඳී ඇත්තේ මුදල් මත බවයි.
ස්වාමින් වහන්සේ තුළ සැමවිටම ප්‍රීති වන්න කියා බයිබලය පවසයි - සහ ස්වාමින් වහන්සේ සැමවිටම නොවෙනස්ව සිටින සේක - එබැවින් ඔබ මුදල් ලැබුණත් හෝ මුදල් අහිමි වුවත්, ස්වාමින් වහන්සේ තුළ ඔබේ ප්‍රීතිය වැඩි හෝ අඩු නොවිය යුතුය. එය එකම මට්ටමක පැවතිය යුතුය. ඔබට යම් මුදලක් අහිමි වූ නිසා ඔබේ ප්‍රීතිය අඩු වන්නේ නම්, ඔබේ හදවත එහි තිබූ බව ඔබට හොඳින්ම සහතික විය හැක. ඔබට යම් මුදලක් ලැබුණු නිසා ඔබේ ප්‍රීතිය වැඩි වන්නේ නම්, ඔබේ හදවත එතැන තිබූ බව ඔබට හොඳටම සහතික විය හැකියි. අපි දෙවියන් වහන්සේව විශ්වාස කළ යුතුයි. අපගේ භූමික ජීවිතයට අවශ්‍ය සියල්ල උන්වහන්සේ සපයනසේක, නමුත් මෙම ලෞකික දේවලින් අපගේ ප්‍රීතිය සොයා නොගත යුතුය. අපට මෙම භූමික දේවල් භාවිතා කළ හැකි නමුත් ඒවා තුළ අපගේ ප්‍රීතිය සොයා නොගත යුතුය.
මුදල් යනු පුදුමාකාර සේවකයෙකි, නමුත් එය දරුණු ස්වාමියෙකි -- ගින්නක් මෙනි. උදාහරණයක් ලෙස ආහාර පිසීමට අපගේ නිවෙස්වල ගින්දර නැතුවම බැරිය. නමුත් ලිපේ ඇති ඒ ගින්දර ස්වාමියා බවට පත් වුවහොත් මුළු නිවසම දැවී යනු ඇත. එය දරුණු ස්වාමියෙකි - ඔබේ මුළු නිවසම ගිනිබත් කිරීමට ඊට හැකියාව ඇත - නමුත් ඔබ එය පාලනය කර තබා ගන්නේ නම් (ඔබ බොත්තම හරවන විට, ඔබ එහි මිට කරකවා " ඔබව දල්වන්නේ කොයි මොහොතේදී ද සහ නිවන්නේ කොයි මොහොතේදී ද කියා තීරණය කරන්නේ මමයි. එය තීරණය කරන්නේ ඔබ නොව මමයි" යනුවෙන් පවසන විට, ඔබ නිවසේ ස්වාමියා වේ), එවිට එය අපූරු සේවකයෙකි. මුදල්ද එසේ විය යුතුය. අපට ගින්දර අවශ්‍ය වන්නා සේම, මේ පොළොවේ ජීවත් වීමට මුදල් ද අවශ්‍ය වේ, නමුත් එය මෙහෙකරුවෙකු විය යුතුය. ඔබ පැවසිය යුත්තේ, “මුදල්, මාව පාලනය කරන්නේ ඔබ නොවන බව මම තීරණය කරනවා; මම ඔබව පාලනය කරන්නෙමි. ඔබ මගේ මනස පාලනය කරමින් නිතරම ඔබ ගැන සිතන්නට සලස්වන්නේ නැත. මම ස්වාමීන් වහන්සේ සහ ස්වර්ගීය දේවල් ගැන සිතන්නෙමි, නමුත් මම ඔබව පාවිච්චි කරන්නෙමි” කියායි. මෙය ආත්මික මිනිසෙකුගේ ස්ථාවරයයි.
රත්රන් සේවකයෙකු ලෙස භාවිතා කරන්නේ නම් එය ඉතා හොඳ දෙයකි. බයිබලයේ පවසන්නේ ස්වර්ගයේ රන් පවා ඇති බවයි! නමුත් එහිදී අපි රත්තරන් වීදි ගැන කියවන්නෙමු. එයින් අදහස් වන්නේ ඔබ එය මත ඇවිදීමයි, එය ඔබේ පාද යටය. ස්වර්ගීය කිතුණුවකු සහ භූමික මණසක් ඇති කිතුණුවකු අතර වෙනස මෙයයි. ස්වර්ගීය මණසක් ඇති කිතුණුවකු ඔහුගේ පාද යට රන් තබා ඇත - එය ඔහුව පාලනය නොකරයි - නමුත් ලෞකික කිතුණුවකු ඔහුගේ හිස මත රත්‍රන් පැළඳ සිටින අතර එය නිරන්තරයෙන්ම ඔහුගේ මණසෙහි පවතී.
එබැවින් මුදල් නිතරම ඔබේ මනසේ තිබේ නම්, ඔබ කැමති වුවත් නැතත් ඔබ එයට ප්‍රේමකරයි. එය හරියට ගැහැණු ළමයෙකුට ආදරය කරන සහ ඇය ගැන නිතරම සිතන පිරිමි ළමයෙකු වැනිය. සෑම විටම මුදල් ගැන සිතන තැනැත්තා මුදලට ඇලුම් කරයි, මුදලට ඇති ආශාව සියලු ආකාරයේ නපුරේ මුලයයි. මුදලට ආශා කිරීමට ඔබ ධනවත් විය යුතු නැත. ඉන්දියාවේ, මුදලට ආශා නොකරන කිසිදු යාචකයෙකු මා දැක නැත. සෑම යාචකයෙකුම මුදලට ආශා කරයි. ඔබ ඔවුන්ට ශත 50ක් දුන්නොත් ඔවුන් එය හෙළා දකිනු ඇත. ඔවුන් මුදලට ප්‍රේම කරන අතර ඔවුන්ට තවතවත් අවශ්‍යය. මේ අනුව, මිනිසෙකු මුදලට ප්‍රේම කිරීමට හේතු වන්නේ ධනය නොවේ. දුප්පත් මිනිසුන්ද පොහොසතුන් මෙන්ම මුදලට ප්‍රේම කරති.
එසේම ඔබට කොතරම් ධනයක් තිබුණත් මුදලින් නිදහස් විය හැකිය. එය ඒ දෙස ඔබ දක්වන ආකල්පය පිළිබඳ ප්‍රශ්ණයකි. ඔබේ නිවසේ එක මෙහෙකරුවෙකු සිටියත් ඔහු ඔබේ නිවස අත්පත් කර ගන්නේ නම්, එය භයානක වනු ඇත. ඔබට සුළු මුදලක් තිබිය හැකිය (එක් මෙහෙකරුවෙකු සිටීම වැනි), නමුත් ඔහු ඔබේ නිවස අත්පත් කරගෙන ඔබේ සිතුවිලි පාලනය කරයි. අනික් අතට, ඔබට ආබ්‍රහම්ට සිටියාක් මෙන් සේවකයින් 318ක් සිටිය හැක, නමුත් ඔවුන් සියල්ලෝම ඔහුගේ සේවකයින් වූ අතර ඔහුට කීකරු වූහ. ආබ්‍රහම්ට මෙන් ඔබටත් බොහෝ මුදල් තිබිය හැකියි සහ, ඔබ එය පාලනය කරන්නේ නම්, ඔබට එය දෙවියන් වහන්සේගේ මහිමය සඳහා භාවිතා කළ හැකිය.
සියලු නපුරේ මුලය මුදලට ඇති ප්‍රේමයයි (ධනය පිරී තිබීමම නොවේ). මෙම වෙනස තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. මුදලට අතිශයින් ප්‍රේම කරන බොහෝ දුප්පත් මිනිසුන් මම දැක ඇත්තෙමි, එසේම මුදලට ප්‍රේම නොකරන ධනවතුන් ද මම දැක ඇත්තෙමි. එය ඔබ සතුව කොපමණ තිබේද යන්න නොව, ඔබ ප්‍රේම කරන්නේ කුමකටද යන්න පිළිබඳ ප්‍රශ්නයක් බව මම වටහා ගතිමි යේසුස් වහන්සේ කථා කළේ මෙයයි. ඔබේ මණස ඉහළ ඇති දේවල් කෙරෙහි යොමු විය යුතුය. ස්වර්ගයෙහි වස්තු රැස් කරන්න. ඔබ ප්‍රේම කරන දේ සොයා ගැනීමට ඔබ සිතන්නේ කුමක් ගැනද, ඔබේ හදවත කොහිදැයි පරීක්ෂා කරන්න.
ඉන්පසු යේසුස් වහන්සේ (මතෙව් 6:22) හි මුදල් සම්බන්ධයෙන් ඇස ගැන මෙසේ පවසන සේක: "ශරීරයේ පහන නම් ඇසය, ඔබේ ඇස පැහැදිළි නම්, ඔබේ මුළු ශරීරයම ආලෝකයෙන් පිරී යනු ඇත." මෙයින් අදහස් කරන්නේ ඔබ මුදල් දෙස බලන ආකාරය පිළිබඳ ප්‍රශ්ණයක් බවයි. ඔබේ ඇස නපුරු නම්, එයින් අදහස් කරන්නේ ඔබ මුදල් දෙස ඉතා වැදගත් දෙයක් ලෙස සළකන බවත්, පොළොව මත ඔබේ ජීවිතයට එය වඩාත්ම වැදගත් දෙය ලෙස සලකන බවයි, එවිට ඔබේ ශරීරය අන්ධකාරයෙන් පිරී යනු ඇත. "ඔබ තුළ ඇති ආලෝකය අන්ධකාරය නම්, එම අන්ධකාරය කොතරම් මහත්ද? " ඔවුන්ගේ සියලු ධර්ම මතයන් නිවැරදිව ඇති, අන් අයගේ ඇස් හමුවේ හොඳ කිතුණුවන් වන, නිතිපතා සභාවේ සේවාවන්ට යන නමුත් මුදලට අතිශයින් ප්‍රේම කරන බොහෝ පිරිසක් සිටීම පුදුම සහගතය. අළුත් ගිවිසුමේ ආකෘතියට අනුකූල වූ සභාවල සිටින බව කියාගන්නා මොවුන් මොවුන්ට වඩා මළ නිකායන්හි සිටින අය මුදලට ඇති ප්‍රේමයෙන් නිදහස් බව නොදැන, ඒ මළ නිකායන් දෙස පවා පහත් කොට බලන්නට පුළුවන.
මෙවැනි මූලික ප්‍රශ්ණ කිහිපයක් ඔබෙන්ම අසාගන්න: ඔබට තව ටිකක් මුදල් වැඩියෙන් ලැබෙන විට ඔබ උද්‍යෝගිමත් වෙනවාද? ඔබට මුදල් අහිමි වූ විට ඔබ කලකිරීමට පත්වෙනවාද? එවිට ඔබ මුදලට ප්‍රේම කරයි. අපගේ ප්‍රීතිය ස්වාමින් වහන්සේ තුළ පමණක් තිබේ නම් එයට කිසිදු බලපෑමක් ඇති නොවේ. අපගේ ප්‍රීතිය පවතින්නේ භූමික දේවල නම්, අපගේ ආදායමේ වෙනස්වීම් නිසා එයට බලපෑම් ඇති වේ.
කිසිවෙකුට ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කළ නොහැක. "එක්කෝ ඔහු එක් කෙනෙකුට වෛර කර අනෙකාට ආශා කරයි." (ලූක් 14:26) හි පියාට, මවට, භාර්යාවට, දරුවන්ට, සහෝදරයින්ට සහ සහෝදරියන්ට වෛර කිරීම ගැන යේසුස් වහන්සේ කථා කළාක් මෙන්ම, මෙහිදීද උන්වහන්සේ පවසන්නේ ඉතා රැඩිකල් දෙයකි. යේසුස් වහන්සේ රැඩිකල් වූ සේක. යේසුස් වහන්සේ පවසන්නේ ඔබට දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමට අවශ්‍ය නම්, ඔබ මුදලට ද්වේෂ කළ යුතු බවයි (මතෙව් 6:24). වස්තුව නියෝජනය කරන්නේ මුදල්, දේපල, ව්‍යාපාර කොටස් සහ මූල්‍ය කොටස්වලට ය. ඔබට දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමට අවශ්‍ය නම් ඒ සියල්ලටම ද්වේෂ කළ යුතු බව යේසුස් වහන්සේ පවසනසේක. ඔබට ඒවා භාවිතා කළ හැකිය, නමුත් දෙවියන් වහන්සේ කෙරෙහි ඔබේ ප්‍රේමය කෙතරම් උත්තරීතර විය යුතුද යත් -- සූර්යයාගේ දීප්තිය මෙන් -- දිවා කාලයේ තරු නොපෙනී යන්නාක් මෙන් මුදල් කෙරෙහි ඇති ඔබේ උනන්දුව නැති වී යා යුතුය. ඔබ තුළ එය එසේ නොවේ නම්, ඔබට දෙවියන් වහන්සේට සේවය කළ නොහැක.
“නුඹලා එක්කෙනෙකුට ඇලුම්වී අනික් අය හෙළාදකින්නේය” කියා යේසුස් වහන්සේ පවසනසේක. එම වාක්‍යයට "දෙවියන් වහන්සේ" සහ "සම්පත්" යන වචන ඇතුළත් කළ විට එය මෙසේ කියවේ: “දෙවියන් වහන්සේටත් වස්තුවටත් (භෞතික ධනය, මුදල්) සේවය කරන්ට නුඹලාට බැරිය. එක්කෝ ඔහු මුදලට වෛර කර දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේය, නැතහොත් දෙවියන් වහන්සේට වෛර කර මුදලට ප්‍රේම කරන්නේය කියා යේසුස් වහන්සේ පැවසූ දෙයින් ගම්‍ය වන්නේ මුදලට ප්‍රේම කරන ඕනෑම කෙනෙකු දෙවියන් වහන්සේට වෛර කරන බවයි. ඔබ මීට පෙර එය නොදැන සිටියා විය හැකිය, නමුත් දැන් ඔබ දනී. යේසුස් වහන්සේ කියන්නේ ඔබ මුදලට ප්‍රේම කරනවා නම් ඔබ දෙවියන් වහන්සේට වෛර කරන බවයි. ඔබ දෙවියන් වහන්සේට බොහෝ ගීත ගායනා කළ පමණින් ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරන බව ඔබ සිතනවා විය හැක, නමුත් යේසුස් වහන්සේ පවසන්නේ එය නොවේ ය.
ඔබ දෙවියන් වහන්සේව අල්ලාගෙන සිටින්නේ නම්, ඔබ මුදල් හෙළා දකින බවත්, ඔබ මුදල් තදින් අල්ලාගෙන සිටින්නේ නම්, ඔබ දෙවියන් වහන්සේව හෙළා දකින බවත් යේසුස් වහන්සේ පවසන සේක. ඔබට මුදල් තිබිය හැකිය, මුදල් උපයා ගත හැකිය, නමුත් ඔබ එයට ප්‍රේම කිරීමට පටන් ගත් මොහොතේම ඔබ දෙවියන් වහන්සේට වෛර කිරීමට පටන් ගනී. දෙවියන් වහන්සේ ඔබට බොහෝ මුදල් ගෙවන හොඳ රැකියාවක් හෝ ඔබට විශාල මුදලක් ලැබෙන උරුමයක් ලබා දී තිබිය හැකිය, එය වරදක් නොවේ. නමුත් ඔබ එයට ප්‍රේම කර එය තදින් අල්ලාගෙන සිටින්නේ නම්, ඔබ දෙවියන් වහන්සේ හෙළා දකින අතර ඔබ දෙවියන් වහන්සේට වෛර කරයි. අපට ස්වාමින් වහන්සේට විශ්වාසවන්තව සේවය කිරීමට අවශ්‍ය නම්, මේ ගැන අවබෝධ කර ගැනීම සහ මේ සම්බන්ධයෙන් නිවැරදි ආකල්පයක් තිබීම අපට ඉතා වැදගත් වේ.