WFTW Body: 

සලමොන්ගේ ගීතිකාව සියලුම කිතුනුවන්ට වැදගත් පොතකී. මගේ කිතුනු ජීවිතය ආරම්භ කළ විට, මෙම පොත මුලින්ම අධ්‍යයනය කිරීමට මා යොමු කිරීම ගැන මම ස්වාමින් වහන්සේට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. ක්‍රිස්තුස් වහන්සේ සමඟ පුද්ගලික, ප්‍රේමණීය, කැපවූ සම්බන්ධතාවයක් යනු ස්වාමින් වහන්සේට සැබෑ සේවය ගලා එන උල්පතයි - එය එවැන්ජලිස්ත සේවය, සභා පිහිටුවීම, බයිබලය ඉගැන්වීම, සමාජ සේවය හෝ ඕනෑම දෙයක් වේවා. අපි මුලින්ම "මනාලයාගේ සහ මනාලියගේ ගීතිකාව" ඉගෙන ගත යුතුය - අපගේ ස්වාමින් වහන්සේ අපට ගායනා කරන ගීතය සහ අපි උන්වහන්සේට පෙරලා ගායනා කරන ගීතය.

සලමොන්ගේ ගීතිකා (සලමොන්ගේ ගීතිකා 1:1) හි අපට මුලින්ම පෙනෙන දෙය නම් මෙය මූලික වශයෙන්, සලමොන්ගේ ගීතයයි - මනාලයාගේ ගීතයයි - මනාලියගේ නොවේ. එහි අර්ථය නම් මූලික වශයෙන් එය අපගේ ස්වාමීන්වහන්සේගෙන් අපට වන ගීතයයි, උන්වහන්සේට අපගෙන් වන ගීතය නොවේ. "අපි උන්වහන්සේට ප්‍රේම කරන්නේ උන්වහන්සේ ප්‍රථමයෙන් අපට ප්‍රේම කළ නිසාය" (1 යොහන් 4:19). අපි උන්වහන්සේට ප්‍රථමයෙන් ප්‍රේම නොකළෙමුව. උන්වහන්සේ අපට ප්‍රථමයෙන් ප්‍රේම කළ සේක. උන්වහන්සේ මෙම ගීතය අපට ප්‍රථමයෙන් ගායනා කළ නිසා පමණක් අපට දැන් උන්වහන්සේට ගීතයක් ගායනා කළ හැකි වේ.

සලමොන්ගේ ගීතිකා (සලමොන්ගේ ගීතිකා 4:8) හි මනාලයා මනාලියට මෙසේ කියනු අපට ඇසේ "ලෙබනනයේ සිට මා සමඟ එන්න. අමානා කඳු මුදුනේ සිට, සෙනීර් සහ හෙර්මොන් කඳු මුදුනේ සිට, සිංහ ගුහාවලින් පහළට බලන්න" (සලමොන්ගේ ගීතිකා 4:8). මෙය ස්වර්ගීය ස්ථානවල ජීවත් වීමට කරන ආරාධනයකි. ස්වාමින් වහන්සේ මෙසේ වදාරන සේක, "පහත්, භූමික දෘෂ්ටිකෝණයකින් දේවල් දෙස නොබලන්න. මා සමඟ ස්වර්ගයට පැමිණ ඒ දෘෂ්ටිකෝණයෙන් සියල්ල දෙස බලන්න. එවිට ඔබ එතැනින් ඒවා දෙස බලන විට පොළොවේ දේවල් කුඩා, අඳුරු සහ වටිනාකමක් නැති වනු ඇත." ස්වාමින් වහන්සේට අපව ඉහළ තලයකට ඔසවා තැබීමට අවශ්‍යයි. ඇත්ත, එහි සිංහයන් සිටිති - යක්ෂයන්, නපුරු රාජ්‍යයන් සහ බලයන්. නමුත් අපි එහි ස්වාමින් වහන්සේ සමඟ සිටින අතර උන්වහන්සේ සමඟ එක්ව අපි ඒ සියලු නපුරු බලවේග ජය ගන්නෙමු.

සලමොන්ගේ ගීතිකා (සලමොන්ගේ ගීතිකා 4:12) හි මනාලයා මනාලියව හඳුන්වන්නේ "අගුළු දැමූ උයනක්" මනාලයා සඳහා පමණක් වන සුවිශේෂී උයනක් ලෙසයි. ඇය වෙන කිසිවෙකුට අයිති නැත. ඇය ඇගේ ස්වාමියාට පමණක් අයත් වේ. ස්වාමින් වහන්සේ සමඟ ඔබේ සම්බන්ධතාවයත් ඒ වගේද? ස්වාමින් වහන්සේ ඔබට, "ඔබ මගේ පෞද්ගලික උයන, මගේම" යැයි පැවසිය හැකිද? අපට අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් ඉපයීමට, භූමික බලය සහ කීර්තිය ලබා ගැනීමට සහ අපටම නමක් උපයා ගැනීමට අවස්ථා වැනි අපව ආකර්ෂණය කර ගත හැකි බොහෝ දේ ලෝකයේ තිබේ. එවැනි පරීක්ෂාවන් මනාලියව පොළඹවා ගැනීමට උත්සාහ කරන අනෙකුත් පිරිමින්ට සමාන කළ හැකිය. නමුත් මෙහි මනාලිය ආකර්ෂණයවී නැත. ඇය ඇගේ ආදරණීයයා කෙරෙහි පමණක්ම ආශාවෙන් සිටියි. ඇය ඇගේ මනාලයාට පමණක් අයත් වේ. ඇදහිලිවන්තයන් ඉතා ස්වල්ප දෙනෙක් ක්‍රිස්තුස් වහන්සේ සමඟ එවැනි සම්බන්ධතාවයක ජීවත් වන අතර බොහෝ දෙනෙක් උන්වහන්සේව සමීපව හඳුනන්නේ නැති නිසා උන්වහන්සේගේ වචනය තේරුම් නොගනිති. බයිබලය තේරුම් ගැනීමේ රහස නම්, පළමුවෙන්ම ස්වාමින් වහන්සේ සමඟ සමීප සම්බන්ධතාවයක් පැවැත්වීමයි - උන්වහන්සේට වඩා උන්වහන්සේගේ වචනයේ තේරුම අපට පැහැදිලි කළ හැක්කේ කාටද? මුල් ගෝලයන් කළාක් මෙන් උන්වහන්සේ සමඟ ගමන් කරන්න, උන්වහන්සේ ඔබට කතා කරනවා ඇසීමට ආශා කරන්න. එවිට ඔබේ ඇස් ඔවුන්ගේ ඇස් මෙන් විවෘත වන අතර ඔබේ හදවත් ඔවුන්ගේ මෙන් දැල්වෙනු ඇත.

සලමොන්ගේ ගීතිකා (සලමොන්ගේ ගීතිකා 5:2) හි, මනාලයා මධ්‍යම රාත්‍රියේ පැමිණ "මගේ ආදරිය, මට දොර අරින්න්න" යනුවෙන් හඬ නඟන විට, මනාලිය ඇඳුම් ඇඳගෙන දොර විවෘත කිරීමට කම්මැලි විය (සලමොන්ගේ ගීතිකා 5:3). ඇය සෝදාගත් ඇගේ පාද අපිරිසිදු වේ යැයි කනස්සල්ලට පත්ව සිටියාය. ඔහුම දොර අගුල ඇරීමට උත්සාහ කළේය (සලමොන්ගේ ගීතිකා 5:4). එවිට මනාලිය ඇගේ අදහස වෙනස් කර දොර විවෘත කළ නමුත් ඇගේ ආදරණීයයා නැති බව දුටුවාය. ඔහු ඇයට කතා කළ විට ඇය එකවරම ප්‍රතිචාර නොදැක්වූ නිසා ඔහු නික්ම ගොස්ය. එය අපටත් සිදුවිය හැකිය. ස්වාමින් වහන්සේ අපට මෙසේ පැවසිය හැකිය, "දැන් ඔබ කරන සියල්ල අතහරින්න. ඒ පොත කියවීම නවත්වන්න. ඒ සංවාදය නවත්වන්න. මා සමඟ තනි වී මා සමඟ කතා කරන්න. අපි එකට ඇවිදින්න යමු." එවිට අප සමහර විට පිළිතුරු දිය හැක්කේ, "ස්වාමීනි, පොඩ්ඩක් ඉන්න. මට කරන්න වැදගත් දෙයක් තියෙනවා. එය විනාඩි 15 කින් අවසන් වේවි. ඉන්පසු මම එන්නම්." මිනිත්තු 15 කට පසු, අපි ඒ වැදගත් කාර්යය අවසන් කළ පසු, අපි කියනවා, "ස්වාමීනි, මම දැන් සූදානම්." නමුත් අපට උන්වහන්සේ නැති බව පෙනේ. අපට උන්වහන්සේව සොයාගත නොහැක. ඔබට දෙවියන් වහන්සේගේ ඵලදායී සේවකයෙකු වීමට අවශ්‍යද? ස්වාමින් වහන්සේ ඔබට කතා කරන විට සියල්ල අතහැර දැමීමේ සහ උන්වහන්සේට සවන් දීමේ පුරුද්ද වර්ධනය කරගන්න. ඔබ කිසි විටෙකත් ඒ ගැන පසුතැවෙන්නේ නැත.

සලමොන්ගේ ගීතිකා (සලමොන්ගේ ගීතිකා 5:2) හි මනාලයා මනාලියට මෙසේ කියයි "මම රාත්‍රියේ එළියට ගියෙමි, පිනිවලින් වැසී සිටිමි. යේසුස් වහන්සේ නැතිවූවන් සොයා බේරා ගැනීමට පොළොවට පැමිණි නිසා, උන්වහන්සේ කුරුසියේ මාර්ගයේ ගමන් කළ සේක (තම කැමැත්ත එපාකර) සහ මේ ලෝකයේ අඳුරු රාත්‍රියේ නැතිවූ බැටළුවන් සොයමින් දුක් වින්ද සේක. උන්වහන්සේ දැන් තම මනාලියට එම මාර්ගයේම ගමන් කිරීමට ආරාධනා කරන සේක. නමුත් ඇය කැමති නැත.

සලමොන්ගේ ගීතිකා (සලමොන්ගේ ගීතිකා 6:4-10) හි මනාලයා තම මනාලිය කෙරෙහි තම අගය ප්‍රකාශ කරයි. ඔහු පවසන්නේ සියලුම කාන්තාවන් අතර, ඔහුගේ මනාලිය හා සමාන කිසිවෙකු නොමැති බවයි, ඔහුගේ පරිපූර්ණ තැනැත්තිය. මම ඇයව අනෙක් සියල්ලන්ටම වඩා තෝරා ගනිමි." සෑම ස්වාමිපුරුෂයෙක්ම තම බිරිඳ දෙස බැලිය යුත්තේ මේ ආකාරයටයි: ලෝකයේ බොහෝ ආකර්ශනීය කාන්තාවන් සිටී, නමුත් මගේ බිරිඳ වැනි කිසිවෙක් නැත. ඇය මගේ ඇස් හමුවේ අංක එකයි. ස්වාමින් වහන්සේ අප ගැන පවසන්නේ මෙයයි. ලෝකයේ සිටින සියලුම බුද්ධිමත් මිනිසුන්ට, ධනවතුන්ට සහ ශ්‍රේෂ්ඨ මිනිසුන්ට වඩා උන්වහන්සේ අපව අගය කරන සේක.

සලමොන්ගේ ගීතිකා (සලමොන්ගේ ගීතිකා 7:1-9) හි, මනාලයා තම මනාලිය අගය කරයි. අපගේ සියලු දුර්වලතා තිබියදීත්, අපගේ ස්වාමින් වහන්සේ අපට ප්‍රසාදය දක්වමින් අපව අගය කරන බවත් අපි පැහැදිලිව දැකගත යුතුය. බොහෝ ඇදහිලිවන්තයන් නිරන්තරයෙන් ස්වයං-හෙළා දැකීමෙන් ජීවත් වන්නේ, ස්වාමින් වහන්සේ ඔවුන්ව අගය කරන බව ඔවුන්ට විශ්වාස කළ නොහැකි නිසාය. මනාලයා මනාලියගේ තොල් අගය කරන විට, ඇය ඉක්මනින් ප්‍රතිචාර දක්වන්නේ, එය ඔහුගේ තොල් සම්බන්ධයෙන් වඩාත් සත්‍ය බවයි (සලමොන්ගේ ගීතිකා 7:9)! මෙය දෙදෙනා අතර ඉහළ මට්ටමේ සමීපතාවයක් ගැන කථා කරයි - අපගේ ස්වාමින් වහන්සේ සමඟ අපට තිබිය යුතු සමීපතාවයේ ආකාරය ගැනය.

සලමොන්ගේ ගීතිකා (සලමොන්ගේ ගීතිකා 7:10) හි මනාලිය මෙසේ පවසයි, "මම මාගේ ප්‍රේමවන්තයාගේය, උන්වහන්සේගේ ආශාව මා කෙරෙහිය." මෙහිදී මනාලිය පවසන්නේ ස්වාමින් වහන්සේ ඇයට අයිති බව පමණක් නොව, ස්වාමින් වහන්සේ ඇය කෙරෙහිද සතුටු වන බවයි. ස්වාමින් වහන්සේ "මම ඔබට ප්‍රේම කරමි" යැයි පැවසීම එක දෙයකි. ස්වාමින් වහන්සේ "මම ඔබ ගැන සතුටු වෙමි" යැයි පැවසීම තවත් දෙයකි. ස්වාමිපුරුෂයෙක් තම බිරිඳට ප්‍රේම කළ හැකි නමුත් ඇය දේවල් කරන ආකාරය ගැන ඔහු සතුටු නොවිය හැකිය. ස්වාමින් වහන්සේ ඔබට ප්‍රේම කළ හැකි නමුත්, උන්වහන්සේ ඔබේ ජීවිතයේ බොහෝ දේ ගැන සතුටු නොවිය හැකිය. පරිණත ප්‍රේමය ස්වාමින් වහන්සේ සතුටු කිරීමට උත්සාහ කරයි. දැන් මනාලිය තම මනාලයා සමඟ සහකාර සේවිකාවක් බවට පත්වී, "එන්න, මාගේ ප්‍රේමවන්තය. අපි කෙත්වලට යමු" (සලමොන්ගේ ගීතිකා 7:11) පවසයි. අස්වැන්න නෙළීමට කෙත් සුදු වී ඇති අසරණ ලෝකයක් සඳහා තම මනාලයාගේ සැලකිල්ල දැන් මනාලිය බෙදා ගනී. නමුත් කිසි විටෙකත් තනිවම එම කෙත්වලට නොයන්න. ඔබේ ආදරණීයයා සමඟ එහි යන්න. උන්වහන්සේ සමඟ සම්බන්ධතාවයක් ගොඩනඟා උන්වහන්සේට සේවය කරන්න. ඔබට උන්වහන්සේ වෙනුවෙන් වැඩ කළ හැකි ක්ෂේත්‍රයේ හොඳම කොටස දන්නේ උන්වහන්සේය.

මේ අවුරුදු හැටකට වැඩි කාලය තුළ උන්වහන්සේගේ පූර්ණ කාලීන සේවකයෙකු ලෙස මම ස්වාමින් වහන්සේට සේවය කිරීමට උත්සාහ කළේ එලෙසයි. මට කවදාවත් තනියම කොහේවත් යන්න අවශ්‍ය වුණේ නැහැ. මම කිව්වා, "ස්වාමීනි, ඔබ මඟ පෙන්වන්න, මම ඔබ සමඟ එන්නම්. අපි එකට කෙත්වලට යමු. ඔබ යන්නේ කොහේද කියලා මට කියන්න. ඔබ කොහේ හරි යන්නේ නැත්නම්, මමත් එහි යන්න කැමති නැහැ." අපි ස්වාමින් වහන්සේ සමඟ සහයෝගීතාවයෙන් සහ උන්වහන්සේට යටත්ව සේවය කරන්නේ නම්, අපගේ ජීවිතවල කිසිදු පුරසාරම් දෙඩීමක් හෝ අපගේ සේවය අන් අයගේ සේවය සමඟ සැසඳීමක් සිදු නොවේ.

සවන් දීමට.