“මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට ඉගැන්වීම....” (මතෙව් 28:20)
මෙය මහා ආඥාවේ ඊළඟ කොටසයි. පළමුව, අපි මුළු ලෝකයටම ගොස් මිනිසුන්ට පවසන්නේ ඔවුන් පව්කාරයන් බවත්, ක්‍රිස්තුස් වහන්සේ ඔවුන්ගේ පව් උදෙසා මිය ගොස් මළවුන්ගෙන් උත්ථාන වූ බවත්, උන්වහන්සේ ස්වර්ගයට නැඟී නැවත පැමිණෙන බවත්, පියාණන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය උන්වහන්සේ බවත් ය. ප්‍රතිචාර දක්වන මිනිසුන් කොතැනක සිටියත්, අපි ඔවුන්ට ආරාධනා කරන්නේ යේසුස් වහන්සේව ඔවුන්ගේ ජීවිතවල ස්වාමියා බවට පත් කරගන්නා ලෙසටත්, ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කිරීමට යන ගෝලයන් වීමටත්, එලෙසම, ඔවුන්ව පියාණන්, පුත්‍රයාණන් සහ ශුද්ධාත්මයාණන්ගේ නාමයට බව්තීස්ම කර, ඔවුන්ව දේවත්වයේ අභිරහසට හඳුන්වා දීමටත් ය. නමුත් එතැනින් අවසන් නොවේ; ඒ සියල්ල ඔලිම්පික් මැරතන් ධාවන තරඟයේ ආරම්භක රේඛාවට පැමිණීම වැනිය.
"මෙය සෑම ගෝලයෙකුගේම දැඩි ආශාවක් විය යුතුය: යේසුස් වහන්සේ අණ කරන සියල්ල කිරීමට"
ඔලිම්පික් මැරතන් ධාවන තරඟයේ ආරම්භක පේළියට පැමිණීමට ඔබව ඔබේ රට නියෝජනය කිරීමට තෝරාගෙන තිබේ නම් එය විශිෂ්ට කාර්යයක් වනු ඇත. එයම දස්කමකි, නමුත් එයින් පමණක්ම කිසිවක් අදහස් නොකරයි, මන්ද ආරම්භක රේඛාවට පැමිණීම තරඟයේ ආරම්භය පමණි. ඔබ ගෝලයෙකු බවට පත් වී ඔලිම්පික් උළෙලේ නිදර්ශනය මෙන් පියාණන්ගේ, පුත්‍රයාණන්ගේ සහ ශුද්ධාත්මයාණන්ගේ නාමයෙන් බව්තීස්ම වී තිබීමද විශිෂ්ටයි, නමුත් ඔබ ධාවන තරඟය ආරම්භ කළ යුතුය. ඒ ධාවන තරඟය දිවීම යනු යේසුස් වහන්සේ අපට අණ කළ සෑම දෙයක්ම කිරීමයි.
මෙය උදෙසා සෑම කිතුනුවකුටම ජීවිත කාලයක් ගතවනු ඇත, සෑම සභාවකම සෙනඟට ඉගැන්විය යුත්තේ මෙයයි.
සභාවක් ගෝලයන් සෑදීමට සහ ඔවුන් බව්තීස්ම කිරීමට ප්‍රමුඛත්වය දෙන්නේ නම්, එය එතැනින් නතර නොවිය යුතුය. සෑම ඉරිදාවකම ඔවුන්ගේ සභා මෙහෙයන්හි ඔවුන් ඉගැන්විය යුත්තේ කුමක්ද? යේසුස් වහන්සේ ඉගැන්වූ සෑම දෙයක්ම, යේසුස් වහන්සේ ඉගැන්වූ සියල්ල, යම් තෝරාගත් දේවල් කිහිපයක් පමණක් නොව, නිසැකවම මනෝවිද්‍යාව හෝ හුදු විනෝදාස්වාදය නොවේ. සභාවක් එහි සාමාජිකයින්ගේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට වඩා එහි සංගීතය වැඩිදියුණු කිරීමට උනන්දු වන විට එය කණගාටුදායකය. ඒක අතිශයින්ම කණගාටුදායකයි. ස්වර්ගයේ සිටින දෙවියන් වහන්සේ වඩාත් උනන්දු වන්නේ කුමකටද කියා ද ඔබ සිතන්නේ?
නව සභාවක් එකට එකතු වී ඇතැයි සිතමු. ඔවුන් සැබවින්ම නැවත ඉපදුණු මිනිසුන්ගෙන් පිරී ඇති බව උපකල්පනය කරන්න, ඔවුන්ට සැබවින්ම අවශ්‍ය වන්නේ යේසුස් වහන්සේව ඔවුන්ගේ ජීවිතයේ ස්වාමියා බවට පත්කර ගැනීමටයි. එවැනි සභාවක් සංගීතය කෙරෙහි අවධානය යොමු කරන බව ඔබ දුටුවහොත්, දෙවියන් වහන්සේ සතුටු වන බව ඔබ සිතනවාද? හොඳ සංගීතයක් තිබීම හොඳයි. මම ඒකට විරුද්ධ නැහැ. නමුත් එය ප්‍රමුඛතාවය පිළිබඳ ප්රශ්නයකි. දෙවියන් වහන්සේ වඩාත් උනන්දු වන්නේ කුමක් උදෙසාද? එම සභාවේ මිනිසුන් ක්‍රිස්තුස් වහන්සේ හා සමාන වීම උදේසා ද? එසේ නොවේනම් සංගීතය වඩාත් විනෝදජනක වීම උදෙසාද? කිතුනු නායකයින් දෙවියන් වහන්සේ සතුටු කරන දේ තේරුම් ගෙන නැති නිසා කිතුනුවන් වෙනතකට ගසාගෙන ගොස් ඇති ආකාරය අපට එහිදී දැකගත හැකිය.
අපේ සභාවල අපි කළ යුතු වන්නේ කුමක්ද? යේසුස් වහන්සේ අණ කළ සෑම දෙයකටම කීකරු වීමට අපි මිනිසුන්ට ඉගැන්විය යුතුයි. අප විසින්ම දෙවියන්වහන්සේගේ ආඥාවලට කීකරු නොවන්නේ නම්, ඒවාට කීකරු වන ආකාරය අන් අයට ඉගැන්විය නොහැක. මෙම ප්‍රකාශ දෙක අතර වෙනස සැලකිල්ලට ගන්න: "මා ඔබට අණ කළ සියල්ල ඔවුන්ට උගන්වන්න" සහ "මා ඔබට කිරීමට අණ කළ සියල්ල ඔවුන්ට කිරීමට උගන්වන්න."
මට යේසුස් වහන්සේ අණ කළ සියල්ල අන් අයට ඉගැන්වීමට සිදු වූයේ නම්, මට යේසුස් වහන්සේගේ සියලුම ඉගැන්වීම් ගෙන මිනිසෙකු රසායන විද්‍යාව හෝ භෞතික විද්‍යාව හෝ ඉතිහාසය උගන්වනවාක් මෙන් ඒවා ඉගැන්විය හැකිය. මම සංකල්ප අධ්‍යයනය කර ඒවා උගන්වමි. නමුත් "ඔවුන්ට කිරීමට ඉගැන්වීම..." සඳහා මා විසින්ම එය මුලින්ම කර තිබීම අවශ්‍ය වනු ඇත, එවිට ඔවුන්ටද එය කළ හැකි ආකාරය ඔවුන්ට ඉගැන්විය හැකිය. ඒක මමම කරලා නැත්නම් මම පීනන්න දන්නේ නැති කාලෙක අන් අයහට පිහිනන හැටි උගන්වන කෙනෙක් වගේ. ඔබ පිහිනීමේ මූලධර්ම සහ ශිල්පීය ක්‍රම තේරුම් ගත්තා නම්, ඔබට එය කළු ලෑල්ලක් මත පැහැදිලිව පැහැදිලි කළ හැකිය, නමුත් ඔබම පිහිනන්නෙකු නොවන්නේය. එය හුදෙක් "ඔවුන්ට ඉගැන්වීම" පමණි. නමුත් "ඔවුන්ට කිරීමට ඉගැන්වීම" යනු පිහිනුම් තටාකයේ හෝ ගංගාවක ඔබට සැබවින්ම ජල මතුපිට පිහිනන ආකාරය සහ තැනින් තැනට ගමන් කරන්නේ කෙසේද යන්න පෙන්වීමයි.
බයිබලානුකූල ක්‍රිස්තියානි නායකයෙකුට යේසුස් වහන්සේ අණ කළ සෑම දෙයක්ම සැබවින්ම කිරීමට මිනිසුන්හට ඉගැන්වීමේ වගකීම ඇත, එය විශාල ඉගැන්වීම් සම්භාරයකි. ඒ නිසයි මම “යේසුස් වහන්සේ ඉගැන්වූ සියල්ල” කියන්නාවූ පොත ලිව්වේ ඒ ආඥාව ඉටු කිරීමටය. මා කිරීමට උත්සාහ කරන්නේ යේසුස් වහන්සේගේ අණ ඉටු කිරීම, යේසුස් වහන්සේ ඉගැන්වූ සියල්ල ඉගැන්වීම සහ මගේ ජීවිතයේ පසුගිය වසර 52 තුළ මා විසින්ම එය කිරීමට උත්සාහ කළ ආකාරයටම එය කිරීමට ඔබට ඉගැන්වීමයි. මගේ ප්‍රියතම ආඥාවන් හෝ පහසු ඒවා අවධාරණය කිරීම සහ අනෙක් ඒවා නොසලකා හැරීමක් නොවේ.
මෙය සෑම ගෝලයෙකුගේම දැඩි ආශාවක් විය යුතුය: යේසුස් වහන්සේ අණ කරන සියල්ල කිරීමට.
©Zac Poonen – [email protected]