WFTW Body: 

එපීස 1: 3,4 හි පවසන්නේ, “අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශීර්වාදවලින් උන්වහන්සේ අපට ආශීර්වාද කළසේක!” කියාය. මේ සියලු ආශීර්වාද ද්‍රව්‍යමය ඒවා නොව ආත්මික ඒවා බව එහි සඳහන්වීම සැලකිල්ලට ගන්න. පැරණි ගිවිසුම යටතේ ඉශ්‍රායෙල්වරුන්ට පොරොන්දු වුනේ භූමික ආශීර්වාදයන් ය. ද්විතීය කථාව 28 හි අපට එය කියවිය හැකිය. මෝසෙස් ගෙනා ව්‍යවස්ථාවෙන් ක්‍රිස්තුස් වහන්සේ ගෙනා අනුග්‍රහය වෙන්කර දක්වන්නෙ මෙයයි. පරණ ගිවිසුමේ මේ වගේ පදයක් තිබුණා නම්, එය මෙසේ කියවීමට ඉඩ තිබුණි: “මෝසෙස් තුළ භූමික ස්ථානවල සෑම ද්‍රව්‍යමය ආශීර්වාදයකින්ම අපට ආශීර්වාද කළ සර්වබලධාරි දෙවියන් වහන්සේට (අපගේ පියාණන් නොව) ප්‍රශංසාවේවා.” එබැවින් මූලික වශයෙන් ශාරීරික සුවය සහ ද්‍රව්‍යමය ආශිර්වාදය අපේක්‍ෂා කරන ඇදහිලිවන්තයන් සැබවින්ම පැරණි ගිවිසුම වෙත ආපසු යති. එවැනි “ඇදහිලිවන්තයන්” ඇත්ත වශයෙන්ම ඊශ්‍රායෙලිතයන් මිස කිතුනුවන් නොවේ. ඔවුන් ක්‍රිස්තුස් වහන්සේගේ නොව මෝසෙස්ගේ අනුගාමිකයන් ය.

අද දින දෙවියන් වහන්සේ ඇදහිලිවන්තයන්ට ද්‍රව්‍යමය වශයෙන් ආශීර්වාද නොකරන බව මින් අදහස් වේද? උන්වහන්සේ කරන සේක - නමුත් වෙනස් ආකාරයකිනි. ඔවුන් පළමුවෙන් උන් වහන්සේගේ රාජ්‍යය හා ධර්මිෂ්ඨකම සොයන විට, ඔවුන්ගේ සියලු භූමික අවශ්‍යතා ඔවුන් වෙනුවෙන් සපයා දෙනු ඇත. පැරණි ගිවිසුම යටතේ මිනිසුන් මෙම භූමික දේ පමණක් සෙවූ අතර ඔවුන්ට ඒදේ බොහෝසේ ලැබුණි - බොහෝ දරුවන්, බොහෝ දේපළ, විශාල මුදල්, සතුරන්ට එරෙහිව ජයග්‍රහණය, ගෞරවය සහ මිහිපිට තානාන්තරය යනාදිය. නමුත් නව ගිවිසුම යටතේ අපි ආත්මීක ආශීර්වාද බලාපොරොත්තු වෙමු - ආත්මීක දරුවන්, ආත්මීක ධනය, ආත්මීක ගෞරවය, ආත්මීක ජයග්‍රහණ (සාතන් හා මාංසය කෙරෙහි මිස පිලිස්තිවරුන් හෝ මනුෂ්‍යයන් කෙරෙහි නොවේ). දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීම නිසා අපට අවශ්‍ය සෞඛ්‍යය හා මුදල් මෙන්ම අපගේ භූමික අවශ්‍යතා ද අපට එකතු වේ. දෙවියන් වහන්සේ, අප අපව විනාශ කර නොගන්නා බවට උන්වහන්සේ දන්නා තරමට මුදල් අපට දෙනු ඇත.

එපීස 1: 3 හි “ආත්මික ආශීර්වාදය” යන වචන “ශුද්ධාත්මයාණන්ගේ ආශීර්වාදය” ලෙස පරිවර්තනය කළ හැකිය. දෙවියන් වහන්සේ දැනටමත් ක්‍රිස්තුස් වහන්සේ තුළ ශුද්ධාත්මයාණන්ගේ සෑම ආශීර්වාදයක් අපට ලබා දී ඇත. අපට ඇත්තේ යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිට හිමිකරගැනීම පමණි. හිඟමන් ඉල්ලන ගැහැණු ළමයෙක් පාර අයිනේ හිඳගෙන හිඟමන් ඉල්ලා සිටිනවා කියා සිතන්න. ධනවත් කුමාරයෙක් පැමිණ ඇයව විවාහ කර ගැනීමට තීරණය කර රුපියල් මිලියන ගණනක් බැංකු ගිණුමකට දමයි - ඇයට අවශ්‍ය ඕනෑම වේලාවක ඇයට නිදහසේ මුදල් ලබා ගත හැකි ගිණුමකි. ඇය මොන තරම් වාසනාවන්ත ගැහැණු ළමයෙක්ද! වරක් ඇයට කාසි කිහිපයක් සහිත කුඩා බෙලෙක් කෝප්පයක් හැර වෙන කිසිවක් තිබුණේ නැත. නමුත් දැන් ඇය ජීවත් වන්නේ විශිෂ්ටතම ඇඳුම් වලින් සැරසීමෙනි. ඇයට කුමරු විසින් අත්සන් කරන ලද හිස් චෙක්පත් බොහොමයක් ඇති බැවින් ඇයට බැංකුවෙන් ඕනෑම මුදලක් ආපසු ලබා ගත හැකිය. ආත්මිකව කථා කරන්නේනම් අපගේ පින්තූරය මෙයයි.

අපට දැන් ස්වර්ගයේ බැංකුවට ගොස් ශුද්ධාත්මයාණන්ගේ සෑම ආශීර්වාදයක්ම ඉල්ලා සිටිය හැකිය, මන්ද ඒවා සියල්ලම ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපගේය. “ස්වාමීනි, ඔබගේ මනාලිය ලෙස පොළොවෙහි මාගේ මුළු කාලය පුරාම ඔබට සත්‍යවාදී වීමට මට අවශ්‍යය” යනුවෙන් අපට පැවසිය හැකි නම්, උන් වහන්සේ සමග මෙම විවාහ ගිවිසුමේ රැඳී සිටින්නේ නම්, ස්වර්ගයේ සෑම දෙයක්ම ක්‍රිස්තුස් වහන්සේ තුළ අප සතුය. එවිට ශුද්ධාත්මයාණන්ගේ සෑම ආශීර්වාදයක්ම අප සතුය. අපි ඒවායෙන් කිසිවකට සුදුසු යැයි දෙවියන් වහන්සේට ඒත්තු ගැන්වීමට උත්සාහ කළ යුතු නැත. මන්දයත් අප ඒවා කිසිවකට සුදුස්සෝ නොවෙමු. එම හිඟන දැරිය තමාට නොමිළේ ලැබුණු සියලු ධනය ලැබීමට ඇය සුදුසු තැනැත්තිය යැයි සිතමින් සිටින්නීය කියා ඔබට සිතාගත හැකිද? කොහෙත්ම නැත. අපට ලැබෙන සියලු දෙයක් ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ කරුණාව හා අනුග්‍රහයෙනි. අපට ස්වර්ගයේ සෑම දෙයක්ම ලබාගත හැක්කේ ඒවා සියල්ලම අපට ක්‍රිස්තුස් වහන්සේ තුළ නොමිළේ ලබා දී ඇති බැවිනි. අපගේ යාච්ඤා කිරිමෙන් හෝ නිරාහාරව සිටීමෙන් අපට ඒවා උපයා ගත නොහැක. බොහෝදෙනෙකුට ශුද්ධාත්මයාණන්ගේ ආශීර්වාද නොලැබෙන්නේ ඔවුන් මේ ආකාරයෙන් උපයා ගැනීමට උත්සාහ කරන නිසාය! අපට ඒවා එලෙස ලැබිය නොහැක. අප ඒවා සියල්ලම පිළිගත යුත්තේ ක්‍රිස්තුස්වහන්සේගේ කුසලින් පමණි.

වරක් මම භූමික අවශ්‍යතා සඳහා යාච්ඤා කරන විට ස්වාමීන් වහන්සේ මෙම පාඩම ඉගැන්වූ ආකාරය මට මතකය. මම මෙසේ කීවෙමි, “ස්වාමීනි, මම ඔබ වහන්සේට වසර ගණනාවක් සේවය කර ඇත්තෙමි. එබැවින් කරුණාකර මා වෙනුවෙන් මෙය කරන්න. ” ස්වාමීන් වහන්සේ මෙසේ වදාළ සේක: '' නෑ, ඔබ ඔබේ නාමයෙන් ආවොත් මම එය නොකරමි. " යේසුස් වහන්සේගේ නාමයෙන් යාච්ඤා කිරීම යන්නෙහි තේරුම කුමක්දැයි එදින මට වැටහුණි. නැවත උත්පාදනය ලැබූ නව ඇදහිලිවන්තයකු සහ 1959 දී නැවත උත්පාදනය ලැබූ මට, අප දෙදෙනාටම දෙවියන් වහන්සේ වෙතට පැමිණිය යුත්තේ එකම පදනමක් මත බව එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුසලින් පමණක් බව එදින මට වැටහුණි. ඔහු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් අත්සන් කරන ලද චෙක්පතක් සමඟ ස්වර්ගයේ බැංකුවට පැමිණිය යුතුය. මටද එහි පැමිණිය හැක්කේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් අත්සන් කරන ලද චෙක්පතක් සමඟ පමණි. මම දෙවියන් වහන්සේට වසර ගණනාවක් තිස්සේ විශ්වාසවන්තව සිටිමි යැයි කියමින් දෙවියන් වහන්සේ වෙතට පැමිණෙනවා, ඉන්පසු මම මවිසින් අත්සන් කළ චෙක්පතක් සමඟ ස්වර්ගයේ බැංකුවට පැමිණෙන්නෙමි. එවිට ස්වර්ගයේ බැංකුව එය ප්‍රතික්‍ෂේප කරනු ඇත. අපගේ බොහෝ යාච්ඤා වලට පිළිතුරු නොලැබීමට හේතුව එයයි. අපි යන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන් නොවේය. අපි යන්නේ අපේ නමිනි. අපි හිතන්නේ අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් බොහෝ දේ පරිත්‍යාග කර ඇති නිසා උන් වහන්සේ අපට පිළිතුරු දිය යුතුයි කියාය. අප අවුරුදු 70 ක් විශ්වාසවන්තව ජීවත් වුවද, අප ස්වාමින් වහන්සේ ඉදිරියට පැමිණෙන විට, අපට පැමිණිය හැක්කේ අලුතෙන් නැවත උත්පාදනය ලැබුවා වූ කෙනකු ලෙස එමම පදනම මතම පමණි - යේසුස් වහන්සේගේ නාමයෙන් පමණි. එම හෙළිදරව්ව ගැන මම දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙමි, මක්නිසාදයත් ඉන් පසු මම කිසි විටෙකත් මාගේ නාමයෙන් අත්සන් කළ චෙක්පත් රැගෙන දෙවියන් වහන්සේ වෙතට නොගියෙමි!! එසේ කිරීමට මා පෙළඹෙන විට, “එම චෙක්පතට කිසි විටෙකත් මුදල් නොගෙවනු ඇත" කියා මම පවසමි. මට, යේසුස් වහන්සේගේ නාමයෙන්, මන්දයත් උන්වහන්සේගේ කුසලින්ම පමණක්ම, යන්නට ඉඩ දෙන්නැයි මා පවසමි. එබැවින් ස්වර්ගීය ස්ථානවල ශුද්ධාත්මයාණන්ගේ සෑම ආශීර්වාදයක්ම ක්‍රිස්තුස් වහන්සේ තුළ අප සතුය.