WFTW Body: 

දෙවියන් වහන්සේ අපගේ සතුරන්ට සතුරෙකු වීමට පොරොන්දු වී ඇත (නික්මයාම 23: 22). පැරණි ගිවිසුමේ ඉශ්‍රායෙලයේ සතුරන් සියල්ලෝම මනුෂ්‍යයෝ වූහ. අද අපට සතුරන් ලෙස සිටින්නේ සාතන් (සහ උගේ දුෂ්ඨ ආත්මයන්) සහ අපගේ මාංශය තුළ තිබෙන තෘෂ්ණාවන් පමණි. අපි මාංසය හා රුධිරය සමඟ පොරබදන්නේ නැත (එපීස 6: 12). ඔබ වෙනුවෙන් දෙවියන් වහන්සේ සටන් කරන්නේ, ඔබ කිසි විටකත් මිනිසුන් සමග සටන් නොකරන බවට තීරණය කරන්නේ නම් පමණි. දෙවියන් වහන්සේ සැමවිටම සාතන්ට විරුද්ධව ඔබේ පැත්තේ සිටින බව මතක තබා ගන්න.

“යේසුස් වහන්සේට පේතෘස් තුමා සමඟ බොහෝ දේ කිරීමට හැකි වූයේ , නිවැරදි කිරීමේදී ඔහු අමනාප නොවූ හෙයින් ය”

පේතෘස් තුමාව පොළන්නට සාතන්ට අවසර ලැබුණේ, දෙවියන් වහන්සේ පේතෘස් තුමා කෙරෙහි එතරම් විශ්වාසයක් හා ඔහු උදෙසා අනර්ඝ සේවාවක් තබා තිබූ නිසාත් ය. නමුත් පේතෘස් තුමාව පොළනු ලබන විට ඔහුගේ ඇදහිල්ල අසාර්ථක නොවන ලෙස ඔහු උදෙසා යේසුස් වහන්සේ යාච්ඤා කළසේක. ඔබ සාතන් විසින් පොළනු ලබන සෑම අවස්ථාවකම යේසුස් වහන්සේ ඔබ උදෙසා යාච්ඤා කරන බව දැනගැනීම මහත් සැනසිල්ලක් ය.

නිවසක් ගිනි ගන්නා විට, එම නිවස තුළ ඇති වටිනාතම වස්තුව බේරා ගැනීමට මිනිසුන්ට අවශ්‍ය වනු ඇත. ඇතුළේ ළදරුවෙකු සිටී නම් දෙමාපියන්ට අවශ්‍ය වන්නේ ළදරුවා මිස පරණ පත්තර ටික බේරගන්න නොවේය. එලෙසම, ගින්න මැදින් පේතෘස් තුමා ගිය කළ යේසුස් වහන්සේ යාච්ඤා කළේ ඔහුගේ ඇදහිල්ල නැති නොවන පිණිසය. වටිනාතම එකම දෙය වූයේ එයයි. ඉතිරි සියල්ල කිසිදු වටිනාකමක් නැති පැරණි පුවත්පත් මෙන් විය.

සාතන් විසින් ඔබව පොළනු ලබන විට ඔබේ ඇදහිල්ල කිසිවිටෙකත් අසාර්ථක නොවිය යුතුය. ඔබට ඇදහිල්ල තිබේ නම්, දරුණුතම පරීක්ෂාව මධ්‍යයේ වුවද, ඔබ ප්‍රකාශ කරනුයේ: "මාගේ ස්වර්ගීය පියාණන් මට දැඩි ලෙස ප්‍රේම කරන අතර උන්වහන්සේ පොළොව හා ස්වර්ගය පාලනය කරනසේක. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සාතන්ව කුරුසියේ පරාජය කර ඇත. සාතන් බොරුකාරයෙකු වන අතර ඌට මාගේ ජීවිතය කෙරෙහි කිසිදු හිමිකමක් නැත. දෙවියන් වහන්සේ මගේ යහපත උදෙසා සියල්ල එකට වැඩ කිරීමට සලස්වයි” කියාය එය, ඇදහිල්ල අසාර්ථක නොවූ කෙනෙකුගේ ප්‍රකාශනයයි. යේසුස් වහන්සේ පේතෘස් තුමාට පැවසුවේ ඔහුව පොළනු ලැබීමෙන් පසු, නැවත හැරුණු කළ ඔහුගේ සහෝදරයින් ශක්තිමත් කළ හැකි බවයි (ලූක් 22: 31, 32). අපව පරීක්ෂාවට ලක් කරන විට අපගේ ඇදහිල්ල අසාර්ථක වුවහොත් අපට අන් අයව ශක්තිමත් කළ නොහැක.

යේසුස් වහන්සේට පේතෘස් තුමා සමඟ බොහෝ දේ කිරීමට හැකි වූයේ ඔහුට "සාතන්" යැයි ආමන්ත්‍රණය කළ විටදී පවා ඔහු අමනාප නොවූ හෙයින් ය (මතෙව් 16: 23) නමුත් යේසුස් වහන්සේ කිසිවිටෙක ජුදාස් උදෙසා යාච්ඤා නොකළේ යේසුස් වහන්සේ ඔහුට බෙතානියේදී දුන් කුඩා නිවැරදි කිරීමක් නිසා ඔහු කෝපයට පත් වූ බැවිනි (යොහාන් 12: 4-8, මතෙව් 26: 8-15 සමඟ කියවන්න).

ස්වාමීන් වහන්සේ ඔබව නිවැරදි කරන විට ඔබ අමනාප නොවිය යුතුය. දෙවියන් වහන්සේට ඔබ එක් එක් කෙනා තුළින් ඉටු කිරීමට විශාල අරමුණක් ඇත. අරමුණ වැඩි වන තරමට දෙවියන් වහන්සේ ඔබව සාතන් විසින් පොලනු ලැබීමට වඩාත් ඉඩ දෙනු ඇත. නමුත් ඔබ සෑම පරීක්ෂණයක්ම අභිබවා අතීශයින්ම ජයග්‍රාහකයෙකු ලෙස එයින් පිටතට පැමිණෙන්නේ ය.

©Zac Poonen – [email protected]