WFTW Body: 

අද සිටින බොහෝ ඇදහිලිවන්තයන්ට මුල් කිතුනුවන්ට තිබූ ගැඹුර හෝ කැපවීම හෝ බලය නොමැති බව පෙනේ.

මෙයට හේතුව කුමක් විය හැකි බව ඔබ සිතන්නේද?

මූලික හේතුව නම් ඔවුන් නිසි ලෙස පසුතැවිලිවී නොතිබීමයි.

“සැබෑ පසුතැවිල්ලට අපගේ සම්පූර්ණ පෞරුෂය - අපගේ මණස, අපගේ හැඟීම් සහ අපගේ කැමැත්ත ඇතුළත් වේ.”

යේසුස් වහන්සේම දේශනා කළ පණිවිඩය වූයේ: "පසුතැවිලි වී ශුභාරංචිය අදහාගන්න” යන්නය (මාර්ක් 1:15). එම පණිවිඩයම දේශනා කරන ලෙස උන්වහන්සේ තම ප්‍රේරිතයන්ට අණ කළසේක (ලූක් 24:47). ඒවගේම ඔවුන් එලෙසම කළෝය (ක්‍රියා 20:21).

මේ සම්බන්ධයෙන් දේව වචනය ඉතා පැහැදිලිය. ඉතා හොඳ සහ සැබෑ හැරීමක් ඔබට අවශ්‍ය නම් පසුතැවිල්ල සහ ඇදහිල්ල වෙන් කළ නොහැකිය. දෙවියන් වහන්සේ මේ දෙක එකතු කර ඇත. තවද දෙවියන් වහන්සේ එක් කළ දේ කිසිවෙක් වෙන් නොකළ යුතුය.

පසුතැවීම සහ ඇදහිල්ල යනු ත්‍යය ලෙසම කිතුණු ජීවිතයේ අත්තිවාරමට මූලිකවම අවශ්‍ය කරුණු දෙකකි (හෙබ්‍රෙව් 6:1). ඔබ නිසි ලෙස පසුතැවිලි වී නොමැති නම්, ඔබේ අත්තිවාරම දෝෂ සහිත වනු ඇත. එවිට, ඇත්ත වශයෙන්ම, ඔබගේ මුළු කිතුනු ජීවිතයම දෙදරා යනු ඇත.

පසුතැවිලි වීම ව්‍යාජවූ අයගේ උදාහරණ කිහිපයක් අපි බයිබලයේ දකින්නෙමු.

සාවුල් රජ දෙවියන් වහන්සේට අකීකරු වූ විට, ඔහු පව් කළ බව සාමුවෙල්ට පැවසුවේය. නමුත් ජනතාව ඒ බව දැනගන්නවාට ඔහු කැමති වූයේ නැත. ඔහු තවදුරටත් මිනිසුන්ගෙන් ගෞරවය සෙවීය. ඔහු ඇත්තටම පසුතැවිලි වී තිබුණේ නැත. ඔහු හසුවීම ගැන ඔහු කණගාටු වුනා පමණකි (1 සාමුවෙල් 15:24-30). ඔහු වැටෙන විට ඔහුගේ පාපය විවෘතව පිළිගත් දාවිත් රජු සහ ඔහු අතර වෙනස එයයි (ගීතාවලිය 51).

ආහබ් රජ සාවුල් හා සමාන තවත් කෙනෙක් විය. දෙවියන් වහන්සේ තමාව විනිශ්චය කිරීමට යන බව එලියා ඔහුට අනතුරු ඇඟවූ විට ඔහු තමා ගැනම කණගාටු විය. තවද ඔහු ගෝණි රෙදි ඇඳගෙන පවා තම පාප ගැන වැලපුනේය (1රාජාවලිය 21:27-29). නමුත් ඔහු සැබෑලෙසම පසුතැවිලි වුණේ නැත. ඔහු දෙවියන් වහන්සේගේ විනිශ්චයට බිය වූවා පමණි.

යුදාස් ඉස්කාරියොත්ගේ සිද්ධිය ව්‍යාජ පසුතැවිල්ලට පැහැදිලි උදාහරණයකි. යේසුස් වහන්සේ මරණයට නියම කර ඇති බව දුටු විට ඔහුට දුකක් දැනුණු අතර, "මම පව් කළෙමි"යි පැවසුවේය (මතෙව් 27: 3-5). නමුත් අද පවා සමහර අය කරන්නාක් මෙන් - ඔහු පූජකයන්ට තම පාපොච්චාරණය කළේය ! ඔහු කළ දේ ගැන ඔහුට දුකක් දැනුනත් - ඔහු පසුතැවිලි වූයේ නැත. ඔහු සැබවින්ම පසුතැවිලි වූයේ නම්, ඔහු බිඳුනු හදවතින් යුතුව ස්වාමින් වහන්සේ වෙත ගොස් සමාව අයැදීය යුතුව තිබුණි. නමුත් ඔහු එසේ කළේ නැත.

පසුතැවීමක් නොවන්නේ කුමක්ද යන්න ගැන මෙම උදාහරණ වලින් අපට ඉගෙන ගත හැකි බොහෝ දේ ඇත !

සැබෑ පසුතැවීම යනු දේවතාරූප කෙරෙන් දෙවියන් වහන්සේ වෙතට හැරීම"යි (1 තෙසලෝනික 1:10)

පිළිම යනු මිථ්‍යාදෘෂ්ටික විහාරස්ථානවල දක්නට ලැබෙන ලීවලින් සහ ගල්වලින් සෑදූ ඒවා පමණක්ම නොවේ. පෙනුමෙන් එතරම් අප්‍රසන්න නොවන නමුත් එවැනිම අනතුරුදායක දේවතාරූප වලට මිනිසුන් නමස්කාර කරති. මේවා නම් තම සතුට, තම පහසුව, මුදල්, තමාගේ කීර්තිය, තමාගේම අභිමතය ආදි දේවතාරූප වේ.

අප සියළු දෙනාම වසර ගණනාවක් මෙවැනි දේ වලට නමස්කාර කර තිබේ. පසුතැවිලි වීම යනු එවැනි රූප නමස්කාර නවතා ඒවායින් ඉවත් වී දෙවියන් වහන්සේ වෙතට යොමුවීමයි.

සැබෑ පසුතැවිල්ලට අපගේ සම්පූර්ණ පෞරුෂය - අපගේ මනස, අපගේ හැඟීම් සහ අපගේ කැමැත්ත ඇතුළත් වේ.

පළමුවෙන්ම, පසුතැවීම යන්නෙන් අදහස් කරන්නේ පාපය සහ ලෝකය පිළිබඳ අප අපගේ මනස වෙනස් කර ගැනීමයි. අපගේ පාපය දෙවියන් වහන්සේගෙන් අපව වෙන් කර ඇති බව අප අවබෝධ කරගන්නෙමු. ඒ වගේම මෙලොව මුළු ජීවන රටාවම දේව විරෝධී බව ද අප දකින්නෙමු. ඒ නිසා දෙවියන්වහන්සේට අගෞරව කරන මේ ජීවන රටාවෙන් හැරීමක් අපට අවශ්‍ය වේ.

දෙවනුව, පසුතැවිල්ලට අපගේ හැඟීම් ඇතුළත් වේ. අප ජීවත් වූ ආකාරය ගැන අපට දුකක් දැනිය යුතුය (2 කොරින්ති 7:10). අපගේ අතීත ක්‍රියාවන් සඳහා අපි අපටම වෛර කරමු; ඊටත් වඩා, අන් කිසිවෙකුට නොපෙනෙන අප තුළ අප දකින මහා නපුර අපි පිළිකුල් කරමු (එසකියෙල් 36:31).

අපි ජීවත් වූ ආකාරයෙන් දෙවියන් වහන්සේට බොහෝ රිදවා ඇති බවට අපි හඬා වැලපෙමු. බයිබලයේ බොහෝ ශ්‍රේෂ්ඨ මිනිසුන් තම පාපයන් ගැන දැනගත් විට දැක්වූ ප්‍රතිචාරය එයයි. දාවිත් (ගීතාවලිය 51), යෝබ් (යෝබ් 42:6) සහ පේතෘස් (මතෙව් 26:75) - ඔවුන් සියල්ලෝම තම පව් ගැන පසුතැවිලි වූ විට දැඩි ලෙස හැඬුවෝය.

යේසුස් වහන්සේ සහ ප්‍රේරිතයන් යන දෙගොල්ලම අපගේ පාපයන් ගැන හඬා වැලපීමට අපව දිරිමත් කර ඇත (මතෙව් 5:4; යාකොබ් 4:9). දෙවියන් වහන්සේ වෙත ආපසු යන මාර්ගය එයවේ.

අවසාන වශයෙන්, පසුතැවිල්ලට අපගේ කැමැත්ත ඇතුළත් වේ. අපි අපේ මුරණ්ඩු ස්වයං කැමැත්ත යටත් කළ යුතුයි - 'අපගේම අභිමතය ලෙස ක්‍රියා කිරීම' යටත් කළ යුතු අතර යේසුස් වහන්සේව අපගේ ජීවිතයේ ස්වාමියා බවට පත් කළ යුතුයි. එයින් අදහස් කරන්නේ මින්පසු දෙවියන් වහන්සේ කැමති ඕනෑම දෙයක් කිරීමට - එයට කෙතරම් මිලක් ගෙවීමට සිදුවූවද, කෙතරම් නින්දා පමුණුවීමකට ලක්වුවද - අපි කැමැත්තෙන් සිටින බවයි.

නාස්තිකාර පුත්‍රයා නැවත තම පියා වෙත පැමිණියේ තම පියා පවසන ඕනෑම දෙයක් කිරීමට කැමැත්තෙන් සිටි බිඳුණු, යටත් වූ තරුණයෙකු ලෙසය. සැබෑ පසුතැවිලිවීම එය වේ (ලූක් 15:11-24).

අප මෙතෙක් කළ සෑම පාපයක්ම එකිනෙක වශයෙන් දෙවියන් වහන්සේට පාපොච්චාරණය කිරීමට අවශ්‍ය නොවේ. එලෙස මතක තබා ගැනීම කෙලෙසවත් කළ නොහැකිය. නාස්තිකාර පුත්‍රයා එසේ කළේ නැත. ඔහු කීවේ "පියාණෙනි, මම පව් කළෙමි." අපද කිවයුතු වන්නේ එලෙසම වේ.

ඒත් මතක තබාගන්න යුදාස් ඉස්කාරියොත් පවා “මම පව් කළා” කියා කීවේය. කෙසේ වෙතත්, ඔහුගේ පාපොච්චාරණය සහ නාස්තිකාර පුත්‍රයාගේ පාපොච්චාරණය අතර විශාල වෙනසක් තිබුණි. දෙවියන් වහන්සේ අසන්නේ අප කියන වචන පමණක් නොවේ. උන්වහන්සේට වචන පිටුපස ඇති ආත්මය දැනෙන අතර, ඒ අනුව අප සමඟ කටයුතු කරනසේක.

©Zac Poonen – [email protected]