WFTW Body: 

2 කොරින්ති 7:1 හි අපට අණ කර ඇත්තේ දෙවියන් වහන්සේට ගරුබිය ඇතුව ශුද්ධකම සම්පූර්ණ කරගැනිමටය. එබැවින්, අපගේ ශුද්ධකම පසුගිය වසරට වඩා අද පරිපූර්ණ නොවන්නේ නම්, අප දෙවියන් වහන්සේට ප්‍රමාණවත් තරම් බිය වී නැති බව ඔප්පු වනු ඇත. අපි වැඩිමහල්ලන් ලෙස මේ කාරණයේදී එකිනෙකාට උදව් කළ යුතුයි - මක්නිසාද අපි අපේ සහෝදරයාගේ භාරකරුවන් වන්නෙමු. දෙවියන් වහන්සේ සෑම සභාවකටම වැඩිමහල්ලන් එක්කෙනෙකුට වඩා පත් කරන්නේ එබැවිනි. හෙබ්‍රෙව් 3:13 අපට පවසන්නේ පාපයේ රැවටිලිකාරකමෙන් අප දැඩි නොවන පිණිස දිනපතා එකිනෙකාට අනුශාසනා කරන ලෙසයි. මේ අනුව, රැවටීමෙන් බේරීමට අපට එකිනෙකාට උපකාර කළ හැකිය.

දෙවියන් වහන්සේ සැමවිටම අපගේ මාංසයට එරෙහිව සහ යක්‍ෂයාට එරෙහිව අපගේ පැත්තේ සිටිනසේක

යෙසායා 11:3 හි අපි කියවන්නේ දෙවියන්වහන්සේගේ ආත්මය යේසුස්වහන්සේව "දෙවියන්වහන්සේ කෙරෙහි භයවීමට සංවේදී" කළ බවයි. අප ශුද්ධාත්මයාණන්ට ඉඩ දෙන්නේ නම් ,උන්වහන්සේට , අපව දෙවියන්වහන්සේ කෙරෙහි භයවීමටද සංවේදී කළ හැක. අප සැබවින්ම ශුද්ධාත්මයාණන්ගෙන් පිරී ඇත්නම් , අපි දෙවියන් වහන්සේ කෙරෙහි ඇති බියෙන් පිරී සිටින්නෙමු. දෙවියන් වහන්සේ සැමවිටම අපගේ පැත්තේ සිටින අතර , අප ශුද්ධාත්මයාණන්ගෙන් පිරීමට ආශා වනවාට වඩා අපව පුරවාලීමට උන් වහන්සේ මහත් ඕනෑකමින් උනන්දු වෙන සේක. අපේ දුර්වලකම් කොයිතරම් තිබුණත් අපි ඕනෑම කෙනෙක් හරහා උන්වහන්සේට මහත් කාර්‍යයක් කිරීමට පුළුවන. අප කළ යුත්තේ , යටහත්ව උන්වහන්සේගේ මුහුණ නොකඩවා සෙවීමයි. දෙවියන් වහන්සේ සැමවිටම අපගේ මාංසයට එරෙහිව සහ යක්‍ෂයාට එරෙහිව අපගේ පැත්තේ සිටිනසේක .

කිතුනුවන් අතර වෙනත් යේසුස් කෙනෙකු (ගෝලයෙකු වීමේ අවශ්‍යතාවය බලාපොරොත්තු නොවන කෙනෙකු) ප්‍රකාශ කරන , වෙනත් ආත්මයක් (ව්‍යාජ දීමනා දෙන නමුත් මිනිසුන් විශුද්ධ නොකරන ආත්මයක්) සහ වෙනත් ශුභාරංචියක් (සුවය සහ ධනය) දේශනා කරනු ලබන කාලයක අපි ජීවත් වන්නෙමු ( 2 කොරින්ති 11:4). එබැවින් සැබෑ යේසුස් වහන්සේව , සැබෑ ශුද්ධාත්මයාණන් සහ දෙවියන් වහන්සේගේ අනුග්‍රහයේ ශුභාරංචිය නඟා සිටුවීමට අප අපගේ කාලය තුළ විශ්වාසවන්ත විය යුතුය.

තමන්ව සාධාරණීකරණය නොකර සමාව අයැදීම:

අප තැලුනාවු, බිඳුනාවූ සහ ආත්මයෙන් දිළිඳු නොවන්නේ නම්, අප යම් වරදක් කර ඇති බව දැනගත් විගස, යටහත්ව සමාව අයැදීමට අපි මැලි වන්නෙමු (හෝ පසුබට වන්නෙමු).

බොහෝ මිනිසුන්ට පැවසීමට අපහසුම වචන දහය වන්නේ: "මට සමාවෙන්න. ඒක මගේ වැරැද්ද. කරුණාකර මට සමාවෙන්න ."

නොබිඳුණු ආත්මයක් අප සමාව ඉල්ලා සිටින විට අපව සාධාරණීකරණය කිරීමට ද පොළඹවනු ඇත. නමුත් සමාව අයැදීමේදී, එහි කිසියම් ස්වයං සාධාරණීකරණයක් තිබේ නම් එය සමාව ඉල්ලීමක් නොවේ. අපගේ සමාව අයැදීමේ ස්වයං සාධාරණීකරණයේ යම් ඇඟවීමක් හෝ තිබේ නම්, අප බිඳී නැති බව අපට සහතික කරගත හැකිය. තමාව සාධාරණීකරණය කිරීම පරිසිවරයෙකුගේ ලකුණක් බව යේසුස් පැවසුසේක (ලූක් 16:15)

කෙසේවෙතත්, ගීතාවලිය 51 හි දාවිත් තම පාපය පාපොච්චාරණය කළ ආකාරය සැලකිල්ලට ගන්න. අපට එහි ස්වයං සාධාරණීකරණයේ යම් ඇඟවීමක් හෝ දැනෙන්නේ නැත. එය සැබවින්ම බිඳුණු මිනිසෙකුගේ ලකුණයි. ඔබ 51 වන ගීතාවලිය දීර්ඝව මෙනෙහි කරන ලෙසත්, බිඳවැටීම යන්නෙන් සැබවින්ම අදහස් කරන්නේ කුමක්ද සහ ඔබේ පව් පාපොච්චාරණය කළ යුතු ආකාරය ස්වාමින් වහන්සේගෙන් තේරුම් ගැනීමට උත්සාහ කරන ලෙසත් මම නිර්දේශ කරමි. තවද, ඔබව සාධාරණීකරණය කිරීම සඳහා, ඔබට බොරුවක් පවා පැවසිය හැකිය. බොරුව කුඩා එකක් පමණක් විය හැකිය - අතිශයෝක්තියක් හෝ සමහර සිදුවීම් සැඟවීමක ස්වරූපයෙන්, අපව සුදනන් ව ඉදිරිපත් කිරීම සඳහාය. එක බොරුවක් කිම පහසුය, නමුත් එක බොරුවක් විතරක් පැවසීම අපහසුය - මන්ද එක බොරුවක් කී පසු පළමු බොරුව රැකීමට අපට තවත් බොරු කීමට සිදුවේ. අපි බොරු කීම පිළිකුල් කළ යුතු අතර සත්‍යයට මුළු හදවතින්ම ආදරය කළ යුතුය. එසේ නොවුවහොත් අපගේ ජීවිතය කෙරෙහි දෙවියන් වහන්සේගේ ආලේපය සහ ප්‍රසන්න ප්‍රසාදය අපට අහිමි වනු ඇත - එය අපට මෙතෙක් දරාගැණීමට සිදුවන විශාලතම පාඩුව වේ.

දෙවියන් වහන්සේ, අප තුළ හෙළිදරව් කර විනාශ කළ යුතු යම් උඩඟුකමක් ඇති බව දකින විට, අපව යම් ආකාරයකින් පැකිලීමට හා වැටීමට හේතු වන කුඩා සිදුවීමක් අපගේ ජීවිතයේ සිදුවීමට උන්වහන්සේ ඉඩ හරිනු ඇත (එසකියෙල් 3:20 බලන්න: "... මා ඔහු ඉදිරියෙහි බාධකයක් තැබූ විට...."). අප වැටෙන විට, අප (1) අපව වැටෙන්නට සැලැස්සුවාවූ - අපගේ උඩඟුකම පිළිගන්නෙමුද, (2) අපගේ පාපය පාපොච්චාරණය කරන්නෙමුද, (3) උන් වහන්සේ ඉදිරියෙහි යටහත් වන්නෙමු ද සහ (4) මිනිසුන් සමඟ කාරණා නිවැරදි කර ගන්නේද යන්න ගැන ස්වාමීන් වහන්සේ අපව පරීක්‍ෂා කරනු ඇත. අපි අපවම විනිශ්චය කර මේ දේවල් කළොත්, අපව විනිශ්චය කරනු නොලැබේ. නමුත් අපි අපවම සාධාරණීකරණය කරගතහොත්, අපි නොබිඳී සිටින අතර, එක් දිනකදී අපව ලෝකය සමඟ හෙළා දකිනු ඇත (1 කොරින්ති 11:31, 32).

©Zac Poonen – [email protected]