WFTW Body: 

1. ඔහු යේසුස් වහන්සේගේ වහල් දාසයෙකු විය: - එළිදරව් 1:1 හි - යේසුස්වහන්සේගේ එළිදරව්ව, දෙවියන්වහන්සේ ඉක්මණින් සිදුවීමට යන දේවල් උන්වහන්සේගේ වහල් දාසයින්ට පෙන්වන පිණිස තම දූතයා ලවා යොහාන් තුමාට දැනුම් දුන්බව අප කියවන්නෙමු. මෙම එළිදරව්ව ක්‍රිස්තුස් වහන්සේගේ වහල් දාස‍යින් වෙත ලබා දෙන ලදී. එය සෑම කෙනෙකු සඳහාම නොවේ. එය කැමැත්තෙන්ම සිටින ස්වාමින් වහන්සේගේ දාසයින් උදෙසා පමණි. වැටුපක් ලබන සේවකයා සහ වහල් දාසයා අතර වෙනසක් ඇත. සේවකයෙකු වැටුපකට (කුලියකට) වැඩ කරයි. නමුත් වහල් දාසයෙකු යනු තම ස්වාමියාට අයිති දාසයෙක් වන අතර ඔහුට අයිති කිසිදු අයිතිවාසිකමක් නැත. එසේනම් ස්වාමීන් වහන්සේගේ වහල් දාසයන් කවුද? තම සියළු සැළසුම් සහ අභිලාෂයන් ප්‍රීතියෙන් අත්හැර දමා ඇති අය සහ ඔවුන්ගේ සියළු අයිතිවාසිකම් සහ දැන් ඔවුන්ගේ ජීවිතයේ සෑම අංශයකම දෙවියන් වහන්සේගේ කැමැත්ත පමණක් කිරීමට කැමති අයයි. එවැනි ඇදහිළිවන්තයන් පමණක් සැබෑ වහල් දාසයින් වේ. ස්වාමින් වහන්සේට බොහෝ සේවකයින් ඇතත්, කැමැත්තෙන් සිටින වහල් දාසයන් සිටින්නේ ඉතා ස්වල්පයකි. දෙවියන් වහන්සේගේ වචනය නිවැරදිව තේරුම් ගත හැක්කේ උන්වහන්සේගේ වහල් දාස‍යින්ට පමණි. අනෙක් අයට බුද්ධියෙන් අච්චු-පොතක් අධ්‍යයනය කරන්නාක් මෙන් අධ්‍යයනය කළ හැකිය. එහෙත් ඒ තුළ සැඟවී ඇති ආත්මික යථාර්ථයන් ඔවුන්ට කිසිදා ග්‍රහනය කර ගැනීමට නොහැකි වනු ඇත. කෙනෙකුට සත්‍යය දැනගත හැක්කේ දෙවියන් වහන්සේගේ කැමැත්තට කීකරු වීමෙන් පමණක් බව යොහන් 7: 17 හි යේසුස් වහන්සේ පැහැදිලි කළසේක.

2. ඔහු අවසානය දක්වාම සහෝදරයෙකු ලෙස සිටියේය : නුඹලාගේ සහෝදරයාද, යේසුස්වහන්සේ තුළ පීඩා විඳීමෙහිත් රාජ්‍යයෙහිත් ඉවසීමෙහිත් පංගුකාරයාද වූ යොහන් නම් මම, දෙවියන් වහන්සේගේ වචනය සහ යේසුස් වහන්සේගේ සාක්ෂිය නිසා පත්මොස් නම් දූපතේ සිටියෙමි යැයි එළිදරව් 1: 9 හි අපි එය කියවන්නෙමු. මෙහිදී යොහාන් තමන්ව "ඔබේ සහෝදරයා" ලෙස හඳුන්වාගන්නා බව අප කියවන්නෙමු. ඒ වන විට යේසුස් වහන්සේ තෝරාගත් දොළොස් දෙනාගෙන් ජීවමාන එකම ප්‍රේරිතයා වූයේ යොහාන් ය. පත්මොස් දූපතේදී ස්වාමින් වහන්සේ ඔහුට මෙම හෙළිදරව්ව ලබා දෙන විට, ඔහු වයස අවුරුදු 95 ක් පමණ විය. ඔහු ඒ වන විට වසර 65 කට වැඩි කාලයක් දෙවියන් වහන්සේ සමඟ ගමන් කර තිබුණි. නමුත් ඔහු තවමත් සහෝදරයෙක් විය. ඔහු යොහාන් පාප් වහන්සේ හෝ පූජ්‍ය යොහාන් නොවේ. ඔහු පාස්ටර් යොහාන් වත් නොවේ! ඔහු සාමාන්‍ය සහෝදරයෙකු පමණයි. යේසුස් වහන්සේ සිය ගෝලයන්ට උගන්වා තිබුණේ සියලු පදවි නාමවලින් වැළකී තමන්ව සැමවිටම සහෝදරයන් ලෙස පමණක් හඳුන්වාගන්නා ලෙසයි (මතෙව් 23: 8-11). අද බොහෝ දෙනෙකු මෙන් නොව ප්‍රේරිතයන් වචනාර්ථයෙන් උන්වහන්සේට කීකරු විය. අපට සිටින්නේ එකම හිසක් සහ එක් නායකයෙක් වන ක්‍රිස්තුස් වහන්සේ පමණි. අපගේ දේවසේවය හෝ සභාවේ අපගේ අත්දැකීම් කුමක් වුවත්, අප සියළු දෙනාම සහෝදරයන්ය.

3. ඔහු ආත්මයාණන්වහන්සේ තුළ සිටියේය : එළිදරව් 1: 9, 10 හි යොහන් “ආත්මයාණන්වහන්සේ තුළ” සිටි බැවින් ඔහුට ස්වාමින් වහන්සේගේ හඬ ඇසුණු බව අපි දකින්නෙමු. අපත් ආත්මයෙන් පිරී සිටියොත් - ඒ හඬ අපටත් අසන්නට පුළුවන. ඒ සියල්ල රඳා පවතින්නේ අපගේ මණස යොමු වී තිබෙන දේවල් මතය. අපේ මණස රැදී තිබෙන්නේ පොළොවෙහි දේවල් කෙරෙහි නම්, එවිට අපට ඇසෙන හඬවල් භූමික දේවල් පිළිබඳවය.

4. ඔහු යටහත් සහෝදරයෙකු විය : අවසාන රාත්‍රී භෝජන සංග්‍රහයේදී යේසුස් වහන්සේගේ ළපැත්තට හේත්තු වූ යොහන් දැන් මියගිය මිනිසෙකු ලෙස උන්වහන්සේගේ පාමුල වැටෙන බව එළිදරව් 1; 7 හි අපට පෙනී යයි. යොහාන් අවුරුදු 65 ක් දෙවියන් වහන්සේ සමඟ ගමන් කර තිබුණි. ඔහු එකල මිහිපිට සිටි ශුද්ධවන්තම මිනිසා බවට කිසිදු සැකයක් නැත. එහෙත් ස්වාමින් වහන්සේගේ අභිමුඛයෙහි කෙළින් සිටීමට ඔහුට නොහැකි විය. ස්වාමින් වහන්සේ වඩාත් හොඳින් හඳුනන අය, උන්වහන්සේට වඩාත්ම ගරු කරති. උන් වහන්සේව අවම වශයෙන් දන්නා අය, උන් වහන්සේ සමඟ අගයක් නැති හුරුපුරුදුකමක් ඇති බව මවාපාති. ස්වර්ගයේ සෙරාප්වරු ස්වාමින් වහන්සේ ඉදිරියෙහි ඔවුන්ගේ මුහුණු ආවරණය කරති (යෙසායා 6: 2, 3). යෝබ් සහ යෙසායා ඔවුන්ගේ පව්කාරකම දැක දෙවියන් වහන්සේගේ මහිමය දුටු විට වැළපුණහ(යෝබ් 42: 5,6; යෙසායා 6: 5). නමුත් “දේවදූතයන් අඩිය තබා යන්නට බිය වන තැනට මෝඩයෝ වේගයෙන් දුවති”!! ලෞකික ඇදහිළිවන්තයාගේ මෝඩකම එයයි. අප වඩ වඩාත් ස්වාමින් වහන්සේව හඳුනන තරමට, අපගේ මුඛය දූවිල්ලේ තබාගෙන, අප වඩ වඩාත් එතුම් මහිමය නමස්කාර කරමින් උන්වහන්සේගේ පාමුල වැටෙනු ඇත. ස්වාමින් වහන්සේගේ මහිමය අප නිරන්තරයෙන් දකින විට පමණක්, අප තුළ ඇති ක්‍රිස්තුස් වහන්සේ මෙන් නොවන දේ අපට පෙනෙනු ඇත. එවිට පමණක් අපි අන් අයව විනිශ්චය කිරීම නවතා අපවම විනිශ්චය කිරීමට පටන් ගන්නෙමු. යොහාන් පත්මොස්හිදී අත්විඳින්නාක් මෙන් උන්වහන්සේගේ බලයේ ස්පර්ශය අපට අත්විඳිය හැක්කේ එවිට පමණි.

5. ඔහු පීඩාව තුළින් ගියේය : එළිදරව් 1: 17 හි යොහාන් තවද තමන්ව හඳුන්වා ගන්නේ “යේසුස් වහන්සේ තුළ ඇති පීඩාවේ හවුල්කරුවෙකු” ලෙසයි. මුළු හදවතින් යුත්, යේසුස් වහන්සේගේ සෑම ගෝලයෙකුම, ඔහු මේ ලෝකයේ සිටින තාක් කල් "යේසුස් වහන්සේ තුළ ඇති පීඩාවට" හවුල්කරුවෙකු වීමට සූදානම් විය යුතුය. යොහාන්ට මේ එළිදරව්ව ලැබුණේ සැණසිල්ලේ ජීවත් වෙද්දී නොවේ. ඔහුට එය ලැබුණේ පත්මොස් දූපතේදී, ඔහු දෙවියන් වහන්සේගේ වචනයටත් යේසුස් වහන්සේගේ සාක්ෂියටත් විශ්වාසවන්තව සිටිය නිසා පීඩා විඳීමින් සිටියදීය (එළිදරව් 1: 9). අන්තිම දවස්වල අන්ත ක්‍රිස්තුස්ගෙන් මහත් පීඩාව අත්විඳින සාන්තුවරයන් ගැන ලිවීමට හැකිවීම සඳහා ඔහුටම පීඩාව අත්විඳීමට සිදු විය. පීඩාවලට මුහුණ දෙන අන් අය උදෙසා අපට දේවසේවයක් දීමට පෙර දෙවියන් වහන්සේ අපව පරීක්ෂාවන් සහ පීඩාවන් තුළින් ගෙන යන සේක.