"මම ඔබව මනුෂ්‍යයන් අල්ලන්නන් කරන්නෙමි" යන මතෙව් 4:19 හි සඳහන් සරල ප්‍රකාශය සලකා බලමු. ඔබව මනුෂ්‍යයන් අල්ලන්නෙකු කරන්නට යන්නේ කවුද? ක්‍රිස්තුස් වහන්සේය. කිසිම මිනිසෙකුට ඔබව මනුෂ්‍යයන් අල්ලන්නෙකු කළ නොහැකිය. ඔබට බයිබල් විද්‍යාලයකට ගොස් එහි වසර ගණනාවක් ගත කළ හැකිය, නමුත් එය ඔබව මනුෂ්‍යයන් අල්ලන්නෙකු බවට පත්නොකරනු ඇත. බයිබලය අධ්‍යයනය කිරීමෙන්, මිෂනාරි අභියෝගයක් අසා ඔබේ අත ඔසවා ගැනීමෙන් හෝ ඉදිරියට පැමිණ දෙවියන් වහන්සේගේ කාර්‍යය සඳහා ඔබේ ජීවිතය කැප කිරීමට දණ ගැසීමෙන් ඔබ මනුෂ්‍යයන් අල්ලන්නෙකු නොවන්නේය. නැත, ඔබට මනුෂ්‍යයන් අල්ලන්නෙකු වීමට අවශ්‍ය නම්, ස්වාමින් වහන්සේ පවසන්නේ, "මා අනුගමනය කරන්න" කියාය. "බයිබලය අධ්‍යයනය කරන්න" කියාවත් නොව, නමුත් "මා අනුගමනය කරන්න" කියාය.
මුල් කිතුනුවන්ට බයිබලයක් තිබුණේ නැත. එසේ නම් ඔවුන් මනුෂ්‍යයන් අල්ලන්නන් බවට පත් වූයේ කෙසේද? යේසුස් වහන්සේව අනුගමනය කිරීමෙනි. අපි මෙය නිවැරදිව තේරුම් ගත යුතුය. මෙම අධ්‍යයනයේ ආරම්භයේ දී අප ඉගෙන ගත් පරිදි, අපි නිසැකවම ශුද්ධ ලියවිලි අධ්‍යයනය කළ යුතුය: "මිනිසා දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකින්ම ජීවත් වනු ඇත" (මතෙව් 4:4). නමුත් අපි බයිබලය පිළිමයක් ලෙස නමස්කාර කරන්නන් බවට පත් නොවිය යුතුයි. බිබ්ලියෝ-පිළිම වන්දනාකරුවෙකු නොවන්න. බයිබලයේ අදහස අපට යේසුස් වහන්සේව වඩා හොඳින් අනුගමනය කිරීමට උපකාර කිරීමයි. ශුද්ධාත්මයාණන් වහන්සේ අපට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මහිමය පෙන්වීමට වචනය භාවිතා කරන සේක. යේසුස් වහන්සේව අනුගමනය කිරීම මනුෂ්‍යයන් අල්ලන්නෙකු වීමට මාර්ගයයි. ඔබව මනුෂ්‍යයන් අල්ලන්නෙකු බවට පත් කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේම මිස මිෂනාරි බයිබල් පුහුණු ආයතනයක් නොවේ. දෙවියන් වහන්සේට මනුෂ්‍යයන්ව භාවිතා කරන්නට පුළුවන. නමුත් අවසානයේ ඔබ සමඟ පෞද්ගලික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට අවශ්‍ය වන්නේ ක්‍රිස්තුස් වහන්සේට වන අතර, ඔබව මනුෂ්‍යයන් අල්ලන්නෙකු බවට පත් කළ හැක්කේ උන්වහන්සේට පමණි.
මනුෂ්‍යයන් අල්ලන්නන් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මනුෂ්‍යයන් අල්ලන්නන් වීම යනු හරියටම මුහුදට හෝ ගඟට ගොස් දැල් හෙළා මාළු අල්ලා වෙරළට ගෙන එන ධීවරයන් හා සමාන වීමයි. ඔවුන් එම මත්ස්‍යයින්ව එක් වටපිටාවකින් තවත් වටපිටාවකට ගෙන එති. ස්වභාවිකවම මත්ස්‍යයින්ට පොළොවේ සිටීම සුවපහසු නොවේ; ඔවුන්ට මුහුද ඉතා සුවපහසුය! ධීවරයෙක් එම මත්ස්‍යයින් ජලයෙන් ගොඩගෙන පොළොවට ගෙන එයි, එය තිබූ පරිසරයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් පරිසරයකට ගෙන එයි.
මෙය සිංහයෙකු හෝ අලියෙකු අල්ලා කූඩුවක දැමීම වැනි දෙයක් නොවන බව තේරුම් ගැනීම වැදගත් වේ. මන්ද සිංහයා දැනටමත් මුහුදේ නොව පොළොවේ ජීවත් වීමට පුරුදු වී ඇත. නමුත් ඔබ මාළුවෙකු අල්ලා ගන්නා විට, එහිදී ඌව එක් පරිසරයකින් පිටතට ගෙන ගොස් සම්පූර්ණයෙන්ම වෙනස් පරිසරයකට දමනු ලැබේ. ගොඩබිම සහ ජලය ප්‍රතිවිරුද්ධ දේ වැනිය. එබැවින් මනුෂ්‍යයන් අල්ලන්නෙකු වීම - සැබෑ ලෙසම මිනිසුන් අල්ලන්නෙකු වීම යනු මේ ලෝකය නැමැති ජලයේ සිටින මිනිසුන් වෙත ගොස්, ඔවුන් එතැනින් රැගෙන ගොස් සම්පූර්ණයෙන්ම වෙනස් පරිසරයකට: ස්වර්ග රාජ්‍යයට ගෙන ඒමයි.
ඔබ මේ පොළොවේ රාජ්‍යයෙන් කෙනෙකුව ස්වර්ග රාජ්‍යයට ගෙනාවේ නැත්නම්, ඔබ ඇත්තටම ඒ මාළුවාව පිටතට ගෙනැවිත් නැත. සමහර විට ඔබ ඒ මාළුවා ඔබේ දැලේම තබාගෙන සිටිනවා විය හැකිය, නමුත් ඌ තවමත් වතුරේ සිටී නම්, ඔබ ඇත්තටම ඒ මාළුවාව පිටතට ගෙනැවිත් නැත. ඔබ සැබවින්ම මනුෂ්‍යයන් අල්ලන්නෙකු වී නැත. දැලෙන් මාළුවෙකු අල්ලා තවදුරටත් මාළුවාව ඌට පහසු ලෙස දැලතුළ වතුරේ ඉන්නට හරින්නේ මොන ධීවරයාද? නමුත් ඔබ ඌව ගොඩට ගෙනා පසු, මාළුවා හැසිරෙන ආකාරය ඔබට පෙනේ. ඌ ගොඩබිම සිටින විට, ඌ වටේට දඟලලා, "ඒයි, මට මෙහි එතරම් සුවපහසු නැහැ!" යැයි කියයි.
පුද්ගලයෙකු පොළොවේ රාජ්‍යයෙන් ස්වර්ග රාජ්‍යයට ගෙන යන විට - මාළුවෙකු ජලයෙන් පිටතට ගෙන ගොඩබිමට දමන විට මෙන් - ඔහුව සම්පූර්ණයෙන්ම වෙනස් පරිසරයකට ගෙන එනු ලැබේ. ශුද්ධාත්මයාණන් වහන්සේම අපට ස්වර්ග රාජ්‍යයේ සුවපහසුවක් ලබා දෙන සේක. එම නිසා ඔබ ඔබේ කාර්‍යය සම්පූර්ණ කර ඇති බවත්, එබැවින් ඔබ සිය දෙනෙකුට "ස්වාමීවූ යේසුස් වහන්ස, මගේ හදවතට එන්න" යැයි පැවසීමට සැලැස්වූ පමණින් ඔබ " මනුෂ්‍යයන් අල්ලන්නෙකු" බවත් නොසිතන්න. අවාසනාවකට මෙන්, බොහෝ ඇදහිලිවන්තයන් සම්බන්ධයෙන් එය සිදුවී ඇත. මනුෂ්‍යයන් අල්ලන්නෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඔවුන් මෙනෙහි කර නැත, මන්ද ක්‍රිස්තුස් වහන්සේ නොව අනෙක් මිනිසුන් සහ ගුරුවරුන් ඔවුන්ව මනුෂ්‍යයන් අල්ලන්නන් බවට පත් කර ඇත. ක්‍රිස්තුස් වහන්සේ ඔබව මනුෂ්‍යයන් අල්ලන්නෙකු බවට පත් කරන්නේ නම්, එය උන්වහන්සේ මීට පද දෙකකට පෙරදී දේශනා කළ එම මූලධර්මයම වනු ඇත, "පසුතැවිලි වන්න, මක්නිසාද ස්වර්ග රාජ්‍යය ළඟයි." අපි මෙම 'මාළුන්ට' ආපසු හැරී ස්වර්ග රාජ්‍යය සෙවීමට, ඔවුන් සිටි පරිසරයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් පරිසරයකට පැමිණීමට ඉගැන්විය යුතුය.
ධීවරයෙක් කරන්නේ ඒකයි. ඔහු මුහුදෙන් මාළුවෙක් ගොඩබිමට ගෙනෙන්නේය. අපි සැබෑ මනුෂ්‍යයන් අල්ලන්නන් වීමට නම්, අපි පොළොවේ රාජ්‍යයෙන් මිනිසුන්ව ස්වර්ග රාජ්‍යයට - යක්‍ෂයාගේ රාජ්‍යයෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ගෙන යෑමට අවශ්‍යයය. අපව මනුෂ්‍යයන් අල්ලන්නන් කරන්නට හැකි වන්නේ යේසුස් වහන්සේට පමණය. වෙන කාටවත් එය කිරීමට බැරිය.
මනුෂ්‍යයන් අල්ලන්නෙක් කියන්නේ එවැන්ජලිස්තවරයා පමණක් නෙවෙයි. එවැන්ජලිස්තවරයා කරන්නේ එම සේවයේ කොටසක් පමණි. අනාගතවක්තෘවරයා, ප්‍රේරිතවරයා, ගුරුවරයා, එඬේරා, දේවගැතිවරයා මේ අයද මෙම මනුෂ්‍යයන්ව ඔවුන්ගේ අලුත් පරිසරය තුළ, ස්වර්ග රාජ්‍යයේ සැබෑ සුවපහසුවක් ලබා දීමේ සේවය සම්පූර්ණ කළ යුතු වෙති.
සම්පූර්ණ කාර්‍යය වන්නේ පුද්ගලයෙකු මුහුදෙන් ගොඩබිමට මෙන් - භූමික රාජ්‍යයෙන් පිටතට සහ ස්වර්ග රාජ්‍යයට ගෙන යාමයි. ඒ සඳහා මාර්ගය ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කිරීමයි. මම යේසුස් වහන්සේ අනුගමනය කරන්නේ නම්, උන්වහන්සේ එය කළ ආකාරයටම මම එය කරන්නෙමි.
සවන් දීමට: https://youtu.be/qfWdWIkjDAU