WFTW Body: 

අන්‍යෝන්‍ය සමාව දීමේ ක්ෂේත්‍රය සලකා බලන්න. ස්ව කැමැත්ත එපා කරන කිසිවකුට කිසිවිටෙක තවත් කෙනෙකු කෙරෙහි තිත්තකමක් හෝ වෛරයක් ඇතිකර ගැනීමට හෝ තවත් මනුෂ්‍යයෙකුට සමාව දීමට අපොහොසත් විය නොහැක. අමනාපය පවතින්නේ තමකම තවමත් සිංහාසනයේ සිටින හදවත් වල පමණි.

තම ස්වාමියා විසින් බොහෝ දේගැන සමාව දෙනු ලැබ ඇතත්, තම සෙසු සේවකයාට සොච්චම් ණයක් ගැන සමාව දීමට නොහැකි වූ සේවකයෙකු පිළිබඳ උපමාවක් යේසුස්වහන්සේ වරක් පැවසුසේක. මෙය ඇසූ ඔහුගේ ස්වාමියා දයාවන්ත නොවූ සේවකයා දඬුවම් කිරීමට වධකයන්ට භාර දුන්නේය. “එසේ නම්, ඔබ එක් එක් කෙනා තම සහෝදරයාට හදවතින්ම සමාව නොදුන්නොත්, මාගේ ස්වර්ගීය පියාණෝ ඔබටත් එසේ කරනු ඇත” කියා යේසුස්වහන්සේ පැවසූසේක (මතෙව් 18:35). දඬුවම් සඳහා වධකයන්ට භාර දීම ගැන යමෙක් අර්ථකථනය කරන්නේ කුමන ආකාරයකින් වුව ද, සමාව නොදෙන ආකල්පයක් හෝ තම සෙසු ඇදහිලිවන්තයන්ගෙන් කිසිවකුට එරෙහිව සමාව නොදෙන ආත්මයක් ඇති අයට නිසැකවම සිදුවනු ඇතැයි යේසුස් වහන්සේ පැවසු දේ එයයි. සමාව දීම හදවතින්ම විය යුතු බව යේසුස්වහන්සේ අවධාරණය කළ බව සලකන්න. වෙනත් වචන වලින් කිවහොත්, එය මුළු හදවතින්ම විය යුතු අතර බාහිර චාරිත්‍රයක් නොවේ. ඔබේ හදවතේ තවමත් තිත්තකමක් තිබේ නම් ඔබ ඔහුට සමාව දෙන බව යමෙකුට පැවසීම අර්ථ විරහිතය.

" අපි දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ රෙගුලාසිය කඩ කරන විට, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ ක්‍රියාකාරිත්වයට අපි බාධා කරන්නෙමු. නමුත් එය පමණක් නොවේ. අප අපටමද හානි කරගන්නෙමු. වෛද්‍ය එස්.අයි. මැක්මිලන්, “මේ කිසිඳු රෝගාබාධයකින් තොරව” යන කෘතියෙහි පවසන්නේ, "මම මිනිසෙකුට වෛර කිරීමට පටන් ගත් මොහොතේම, මම ඔහුගේ වහලෙක් බවට පත් වෙමි. මට මගේ වැඩවලින් තවදුරටත් සතුටක් ලැබිය නොහැක, මන්ද ඔහු මගේ සිතුවිලි පවා පාලනය කරන බැවිනි. මගේ අමනාපය, අවශ්‍ය ප්‍රමාණයට වඩා මානසික ආතති හෝමෝන නිපදවන අතර පැය කිහිපයක් වැඩ කිරීමෙන් පසු මගේ ශරීරය සහ මම වෙහෙසට පත්වෙන්නෙමි, මම කලින් භුක්ති වින්ද වැඩ පවා කිරීමට දැන් මහත් ආයාසයක් දැරිය යුතුය. නිවාඩු කාලයන් ගත කිරීමෙන් මා ලැබූ තෘප්තිය පවා ඇණහිටලාය, මා වෛර කරන මිනිසා මා යන සෑම තැනකම මා දඩයම් කරයි, මට මාගේ මනසෙහි ඔහුගේ කුරිරු ග්‍රහණයෙන් මිදිය නොහැක."

අද ලොව පුරා සිටින බොහෝ කිතුනුවන්ගේ සහ ක්‍රිස්තියානි සේවකයන්ගේ සඵලතාවය සහ ශාරීරික සෞඛ්‍යය පවා සැඟවුණු අමනාපකම් සහ තිත්තකම් විසින් විනාශ කරනු ලබයි.

සහෝදරයෙකුට (හරි හෝ වැරදි ලෙස) අප ඔහුට රිදවා ඇති බව හැඟෙන විට පවා, සහෝදරත්වය නැවත ඇති කිරීමට අප මූලිකත්වය ගත යුතු බව යේසුස්වහන්සේ ඉගැන්නූ සේක.

ඔබ සිටගෙන.... දෙවියන් වහන්සේට පූජාවක් ඔප්පු කරමින් සිටින්නේ නම්", මිතුරෙකුට ඔබට විරුද්ධව යමක් ඇති බව හදිසියේම සිහිපත් වන්නේ නම්, ඔබේ පූජාව පූජාසනය අසල තබා ගොස් සමාව ඉල්ලා ඔහු සමඟ සමාදාන වන්න, ඉන්පසු ඇවිත් ඔබේ පූජාව දෙවියන් වහන්සේට ඔප්පු කරන මෙන් යේසුස්වහන්සේ පැවසූසේක් (මතෙව් 5:23, 24- TLB).

එලෙසම උන්වහන්සේ පැවසුවේ, ඔබ යාච්ඤා කරන විට, ඔබ ඕනෑම කෙනෙකුට විරුද්ධව අමනාපයක් දරන්නේනම් පලමුව සමාව දෙන්න, එවිට ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් ඔබේ පව්වලටද සමාව දෙනු ඇත (මාර්ක් 11:25 – TLB පරිවර්තනය).

යේසුස්වහන්සේ, සෑම අවස්ථාවකම අපවම එපා කරමින්, අපගේ උඩඟුකම ගිල දැමීමටත්, සහ සම්බන්ධතාවය බිඳී ගිය ස්ථානයට ගොස් එය නැවත ඇති කිරීමට උත්සාහ කිරීමේදී "දෙවන සැතපුමක් යෑමටත්" අපව කැඳවා ඇත. සමහර අවස්ථාවලදී, සමාදාන වීම සඳහා අප උපරිම උත්සාහයක් දැරුවත්, සහෝදරයෙකු දැඩි, සමාව නොදෙන ආකල්පයක් අනුගමනය කළ හැකිය. නමුත් අපි උත්සාහ කළා නම් අපි දෙවියන් වහන්සේ ඉදිරියෙහි අපගේ වගකීම ඉටු කර ඇත.

අප සහ උන්වහන්සේගේ ශරීරයේ වෙනත් ඕනෑම අවයවයක් අතර ගැටලු නොවිසඳී ඇත්නම් සහ අපි සංහිඳියාව සඳහා කිසිදු උත්සාහයක් නොගත්තේ නම්, අපගේ නමස්කාරය හෝ අපගේ සේවය හෝ අප උන්වහන්සේට පිරිනමන වෙනත් කිසිවක් දෙවියන් වහන්සේට පිළිගත නොහැකි බව යේසුස්වහන්සේගේ වචනවලින් පැහැදිලි වේ. කිතුනුවන් කීදෙනෙක් යේසුස් වහන්සේගේ වචන බැරෑරුම් ලෙස සලකනවාදැයි මට විටෙක පුදුම සිතේ. බොහෝ අය දෙවියන් වහන්සේගේ ආඥා සැහැල්ලුවෙන් සලකන අතර එමගින් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට ආත්මික මරණය ගෙන එයි.

සමාව දීමට තවත් හේතුවක් ලෙස පාවුළු තුමා අපට පවසන්නේ සාතන් අප කෙරෙහි වාසි නොලබන පිණිසය (2 කොරින්ති 2:10).

©Zac Poonen – [email protected]