WFTW Body: 

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෙකු මිනිසුන්ට හෝ අවස්ථාවන්ට ඇති බිය මත පදනම්ව තීරණ නොගත යුතුය.

මගේ නිවසේ ඉදිරිපස කාමරයේ "ඔබ දෙවියන් වහන්සේට බිය නම්, ඔබ අන් කිසි දෙයකට බිය නොවිය යුතුය" යනුවෙන් විශාල දේව වචනයක් එල්ලා තිබේ. එය යෙසායා 8: 12 හා 13 හි ජීවමාන බයිබලයේ සරල පරාවර්ථනය යි. එම පදය පසුගිය වසර 25 තුළ මට ඉමහත් උපකාරයක් විය.

“ස්වාමීන් වහන්සේ අපගේ උපකාරකයාණෝය එබැවින් අපි බිය නොවන්නෙමු යැයි අපි නිර්භීතව කියමු. කිසිවෙකුට අප හට කළ හැක්කේ කුමක්ද?”

මෙම බිය පිළිබඳ කාරණය සම්බන්ධයෙන් මම ස්වාමින් වහන්සේගෙන් ඉගෙන ගත් සත්‍යයන් කිහිපයක් ඔබ සමඟ බෙදා ගැනීමට මට ඉඩ දෙන්න.

පළමුවෙන්ම, සාතන්ගේ ආයුධ ගබඩාවේ ඇති ප්‍රධාන ආයුධවලින් එකක් වන්නේ බිය බව මම ඉගෙන ගතිමි.

දෙවනුව, සමහර අවස්ථාවලදී මට බියක් ඇති වුවහොත් මාවම හෙළා දැකීමට අවශ්‍ය නොවන බව මම ඉගෙන ගත්තෙමි - මන්ද මම තවමත් මාංසයේ සිටින බැවිනි. අපි මේ ගැන යථාර්ථවාදී සහ අවංක විය යුතුයි. ප්‍රේරිත පාවුල්තුමා මුළුමණින්ම අවංක වූ අතර ඇතැම් අවස්ථාවලදී “තමා තුළ බිය” ඇති බව පිළිගත්තේය (2 කොරින්ති 7: 5).

තෙවණුව (මෙයයි වැදගත්ම දේ) මට බියක් ඇති වුවද, මම කිසිවිටෙකත් බිය මත පදනම් වූ තීරණයක් නොගත යුතුය. මගේ තීරණ සෑම විටම දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල මත පදනම් විය යුතුය - එය බියෙහි ප්‍රතිවිරුද්ධ දෙයයි. දැන් අවුරුදු ගානක් මා ජීවත් වෙන්න උත්සාහ කළේ එලෙසය. ඒ වගේම දෙවියන් වහන්සේ මට උපකාරකොට මාව අති විශාල ලෙස ධෛර්යමත් කර ඇත.

යේසුස් වහන්සේ නිතර බිය නොවන මෙන් පැවසීම, දැන් මට දැන් තේරෙනවා.

බිය නොවන්න, බිය නොවන්න, බිය නොවන්න.

මෙය නව ගිවිසුමේ අනෙක් අවධාරණය කර ඇති ඒවා මෙන්ම වැදගත් වේ.

පව් නොකරන්න, පව් නොකරන්න, පව් නොකරන්න.

යේසුස් වහන්සේ සැමවිටම පාපයට විරුද්ධ වූ අතර උන්වහන්සේ සැමවිටම බියටද විරුද්ධ වූසේක. දෙවියන් වහන්සේට පමණක් බිය වන ලෙසත් අන් කිසිවෙකුට බිය නොවන ලෙසත් උන්වහන්සේ අපට කීසේක (මතෙව් 10: 28). මෙය අපට ඉගෙන ගත යුතු ඉතා වැදගත් පාඩමකි, මන්ද ආත්මික නායකයෙකු කිසිවිටෙකත් බිය මත පදනම්ව කිසිදු තීරණයක් නොගත යුතුය.

මම වසර ගණනාවක් තිස්සේ මගේ කාමරයේ එල්ලා ඇති තවත් පදයක් ගලාති 1: 10

මා මිනිසුන් සතුටු කිරීමට උත්සාහ කරන්නේ නම්, මට ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයෙකු විය නොහැක.

ඔබ මිනිසුන් සතුටු කිරීමට උත්සාහ කරන්නේ නම්, ඔබට කිසිදාක ස්වාමීන් වහන්සේගේ සේවකයෙකු විය නොහැක. මනුෂ්‍යයින් සතුටු කිරීමට උත්සාහ කිරීමෙන් මිදීම පහසු නොවන බව මම ඔබට කියමි.

ඔබ යමෙකු සතුටු නොකිරීමෙන් යම් ආකාරයකින් ඔහු ඔබට අනතුරක් කරාවිය කියා ඔබේ හදවතේ බියක් උපදවුවොත්, එවිට ඔබ සැමවිටම ඔහුව සතුටු කිරීමට උත්සහ කරාවි. එවිට ඔබට කිසිවිටෙක දෙවියන් වහන්සේගේ සේවකයෙකු වෙන්න බැරිය. ඔබ කිසිවිටක බිය පදනම් කරගෙන ක්‍රියා කරන්නේ නම්, ඔබට මඟ පෙන්වන්නේ යක්ෂයා මිස දෙවියන් වහන්සේ නොවන බව ඔබට සහතික විය හැකිය.

අපි අපේ ජීවිතය දෙස ආපසු හැරී බැලුවහොත්, අපි අතීතයේ බොහෝ තීරණ ගෙන ඇත්තේ බිය පදනම් කරගෙන බව අපට පෙනී යනු ඇත. ඒ හැම තීරණයකදීම අපිව මෙහෙය වූයේ දෙවියන් වහන්සේ නොවේය. ඒ සමහර තීරණවල ප්‍රතිවිපාක බරපතළ නොවිය හැකි, නමුත් දෙවියන් වහන්සේගේ යහපත්ම දේ අපට මඟ හැරෙන්නට පුළුවන. අපි අනාගතයේදී වෙනස් ආකාරයකින් කටයුතු කළ යුතුය.

අපි මනුෂ්‍යයින් බැවින් - අපට බිය දැනීම ස්වභාවිකය. නිදසුනක් වශයෙන්, ඔබ දැන් වාඩි වී සිටින ස්ථානයේ හදිසියේම නාගයෙකු ඔබ ඉදිරියෙහි දුටුවහොත්, ඔබ ස්වභාවිකවම කම්පනය වී උඩ පනීවි - එවිට ඇඩ්‍රිනලින් නම් හෝමෝන ඔබේ රුධිර ධාරාවට වේගයෙන් ගලා යයි. ඒක ස්වභාවිකයි. නමුත් ඔබ, යන සෑම තැනකම - සෑම පුටුවක් යට නාගයෙක් සිටින බියෙන් ජීවත් නොවේ!

තවද අප කිවිවෙකුටවත් බියෙන් ජීවත් නොවිය යුතුයි.

මිනිසුන්ට හෝ සාතන්ට ඇති බිය මත අප කිසිවිටෙක තීරණයක් නොගත යුතුය. අප ගන්නා සෑම තීරණයක්ම පදනම් විය යුත්තේ දෙවියන් වහන්සේට බියවීම සහ අපගේ ස්වර්ගික පියා කෙරෙහි පූර්ණ ඇදහිල්ල මතය. අපව මෙහෙයවනු ලබන්නේ ශුද්ධාත්මයාණන් විසින් බව අපට සහතික විය හැක්කේ එවිට පමණි.

හෙබ්‍රෙව් 13: 6 ස්වාමින් වහන්සේට සේවය කරන අප සැමට ඉතා වැදගත් පදයකි. එහි මෙසේ සඳහන් වේ.

ස්වාමීන් වහන්සේ අපගේ උපකාරකයාණෝය එබැවින් අපි බිය නොවන්නෙමු යැයි අපි නිර්භීතව කියමු. කිසිවෙකුට අප හට කළ හැක්කේ කුමක්ද?

අපි මෙය විශ්වාස කරන්නේ නම්, එය අපගේ ජීවිත වලට එවන් අති විශාල ආධිපත්‍යයක් ගෙන එනු ඇත. අපගේ බොහෝ ආත්මික ආධිපත්‍යයන් සාතන් විසින් අපෙන් උදුරා ගනු ලබන්නේ අප මිනිසුන්ට බිය වන නිසා හෝ ඔවුන් සතුටු කිරීමට හෝ ඔවුන්ව අප කෙරෙහි ආකර්ෂණය කිරීමට හෝ ඔවුන් ඉදිරියේ අපව සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන බැවිනි. මෙම ආකල්ප අප තුළින් සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුය.