WFTW Body: 

වරක්, මම ශුභාරංචිය දේශනා කිරීම තහනම් යම් රටකට යාමට සැලසුම් කරමින් සිටියදී, ස්වාමින් වහන්සේ මට මතෙව් 28:18-19 මතක් කරදුන් සේක. ස්වාමින් වහන්සේට ස්වර්ගයේ හා පොළොවෙහි සියලු බලය ඇති බැවින්, සෑම ජාතියකටම ගොස් ඔවුන් ගෝලයන් කිරීමට උන්වහන්සේ අපට අණ කළ බව එවිට මම දුටුවෙමි. ඒ පදනමින් අප ඉදිරියට නොයන්නේනම් කොහේ ගියත් අපට ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා ඇත.

අපගේ ස්වාමින් වහන්සේට සෑම මනුෂ්‍යයෙකු කෙරෙහිම අධිකාරි බලය ඇත. නෙබුකද්නෙශර් රජු පවා එය තේරුම් ගත්තේය

"එබැවින්" යන වචනය මතෙව් 28 හි සඳහන් මහා ආඥාවේ වැදගත්ම වචනය වේ. බොහෝ දේශකයන් "යන්න" යන වචනය අවධාරණය කරති. එය යහපත්‍ ය. නමුත් අප යා යුත්තේ කුමන පදනමකින්ද? අපගේ ස්වාමින් වහන්සේට මේ පොළොවේ සිටින සියලුම මිනිසුන් කෙරෙහි මෙන්ම සියලු අශුද්ධ ආත්මයන් කෙරෙහිද පූර්ණ අධිකාරියක් ඇත්තේය යන පදනම මතය. ඔබ එය සැබැවින්ම විශ්වාස නොකරන්නේ නම්, ඔබ කොහේවත් නොයා සිටීම හොඳය!

මතෙව් 28 හි ඇති මෙම පදය එකල නව හෙළිදරව්වක් ලෙස මා වෙත පැමිණියේය. මට කිසිම පැකිලීමකින් තොරව ඒ රටට යන්න පුළුවන් බව එවිට මම තේරුම් ගත්තෙමි. මම ඒ රටට ඇතුළු වන විට මා තුළ බියක් - ස්වභාවිකවම - තිබුණි. එනමුත් මම මගේ ඒ තීරණය ඒ බිය මත නොගත්තෙමි.

යේසුස් ස්වමින් වහන්සේට සම්පූර්ණ අධිකාරියක් නොමැති ජාතියක් මේ ලෝකයේ ඇතැයි ඔබ සිතන්නේ නම්, මම ඔබට උපදෙස් දෙන්නේ එහි නොයන ලෙසයි! මමම වුවද එහි නොයමි. මම එහි යන්නට බය වෙමි. නමුත් දෙවියන් වහන්සේට ස්තූති වේවා එවන් ස්ථානයක් මේ මිහිතලයේ කොතැනකවත් නොමැති නිසා! මේ පොළොවේ සෑම අස්සක් මුල්ලක් නෑරම අපගේ ස්වාමින් වහන්සේගේ අධිකාරිය යටතේ පවතී.

එලෙසම, අපගේ ස්වාමින් වහන්සේට අධිකාරියක් නොමැති යම් මිනිසෙක් (ඔහු කොතරම් බලවත් වුවත්) කොහේ හෝ සිටින බව ඔබ සිතන්නේ නම්, එවිට ඔබට සැමවිටම ඔහුට බියෙන් ජීවත් වීමට සිදුවනු ඇත. නමුත් එහෙම කෙනෙක් කොහේවත් නැති නිසා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපගේ ස්වාමින් වහන්සේට සෑම මනුෂ්‍යයෙකු කෙරෙහිම අධිකාරි බලය ඇත. නෙබුකද්නෙශර් රජු පවා එය තේරුම් ගත්තේය - අපි දානියෙල් 4:35 හි කියවන පරිදි.

අපේ ස්වාමීන් වහන්සේ විසින් කල්වාරි කන්දේ දී ජය නොගත්, කෙසේ හෝ පරාජයෙන් බේරුණු යක්‍ෂයෙක් කොහේ හෝ සිටී නම්, අපි ඒ යක්‍ෂයාට නිතරම බියෙන් ජීවත් විය යුතු වෙමු. නමුත් කුරුසියේ දී පරාජය නොවූ එවැනි යක්‍ෂයෙක් ඉතිරි වී නැත. එහිදී සාතන් පවා ස්ථිරවම පරාජය විය. සාතන්ට සහ ඔහුගේ යක්‍ෂයින්ට ඇති සියලු බියෙන් අපව ගලවා ගන්නේත්, අපගේ දේවසේවයේදී අපට මහත් නිර්භීතකමක් ලබා දෙන්නේත් එයයි.

ඒ නිසා අපි දෙවියන් වහන්සේ අපට යන්න කියන ඕනෑම තැනකට යන්නෙමු. සමහර ස්ථාන වල අවදානම්කාරී තත්ත්වයන් තිබෙන්නට පුළුවන. නමුත් අපගේ දැනුමේ හැටියට නම්, ස්වාමින් වහන්සේ අපව එහි ගෙන යන බව අපට හැඟේ නම්, අප යාමට බිය විය යුතු නැත. ප්‍රශ්නය වන්නේ යම් ස්ථානයක කිතුනුවන්ට හිංසා පීඩා තිබේද නැද්ද යන්න නොවේ. එකම ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ අපට එහි යන්න කියා තිබේද නැද්ද යන්නයි. උන්වහන්සේ පවසා තිබේ නම්, උන්වහන්සේගේ අධිකාරිය අපට සම්පූර්ණයෙන්ම සහාය වනු ඇත. අපි කිසිම බියක් ඇති කර ගත යුතු නැත. නමුත් දෙවියන් වහන්සේ අපට කොහේ හෝ යාමට කැඳවා නොමැති නම්, මිනිසුන් කොපමණ උත්සාහ කළත්, අපව ඒත්තු ගැන්වුවත්, අප තුළ ඇති වික්‍රමාන්විතයේ ආත්මය අප යාමට පෙළඹවූවත්, අප නොයා යුතුය!

අප යම් ස්ථානයකට යන්නේ ඇයි දැයි අප අපෙන්ම අසාගත යුතුය. අප යන්නේ අපට ගෝලයන් කිරීමට අවශ්‍ය නිසා සහ වෙනත් අභිලාෂයක් නොමැති නිසා නම්, ස්වාමින් වහන්සේ පොරොන්දු වූ පරිදි "යුගයේ අවසානය දක්වාම" සැමවිටම උන්වහන්සේ අප සමඟ සිටින බව අපට සහතික විය හැකිය. නමුත් අපට වෙනත් චේතනා තිබිය හැක. ස්වාමින් වහන්සේ "අපගේ හදවතේ ආකල්ප පරීක්‍ෂා කරන (යෙරෙමියා 12:3) අතර අපගේ චේතනාද පරීක්‍ෂා කරණසේක.

තමන් ඇදහිලිවන්තයෙකු ලෙස හඳුන්වාගන්නා සෑම කෙනෙකුටම ස්වාමින් වහන්සේ තමන්වම ඔවුන්ට භාරනොකරන සේක. අපි එය යොහන් 2:24,25 හි කියවන්නෙමු. නමුත් ඔබට අවංකවම ස්වාමින් වහන්සේට පැවසිය හැකි නම්:

ස්වාමීනි, මම මේ ස්ථානයට යන්නේ ඔබ වහන්සේ මට එහි යාමට කැඳවූ බව මට හැඟෙන නිසා පමණි. තවද මම එහි යන්නේ ගෝලයන් සෑදීමටත්, පියාණන්, පුත්‍රයාණන් සහ ශුද්ධාත්මයාණන්ගේ නාමයෙන් ඔවුන් බව්තීස්ම කිරීමටත්, ඔබ වහන්සේ අණ කළ සියල්ල කිරීමට ඔවුන්ට ඉගැන්වීමටත් පමණි. මම එතනට යන්නේ සල්ලි හොයන්නවත් මට නමක් හදාගන්නවත් වෙන කිසිම පෞද්ගලික හේතුවක් නිසාවත් නොවෙයි.

ඔබට එය අවංකව පැවසිය හැකි නම්, නියත වශයෙන්ම ඔබට සැමවිටම ස්වාමින්ගේ අධිකාරිය සහාය වනු ඇත.

එවිට ඔබේ බිරිඳට සහ දරුවන්ට කුමක් සිදුවේද හෝ ඔබේ මූල්‍ය අවශ්‍යතා සපුරාල ගන්නේ කෙසේදැයි සිතමින් බියෙන් ජීවත් වීමට ඔබට සිදු නොවනු ඇත. වැදගත් එකම ප්‍රශ්නය නම් "දෙවියන් වහන්සේ ඔබව කැඳවා තිබේද නැද්ද?" දෙවියන් වහන්සේ ඔබව එහි යවනවාද නැතිනම් යම් මිනිසෙක් ඔබව එහි යවනවාද? එසේත් නැතිනම් ඒ ඔබව මෙහෙයවන වික්‍රමාන්විත ආත්මයද?

ඔබට දෙවියන් වහන්සේගේ වැඩසටහන හැර වෙනත් වැඩසටහනක් තිබේ නම්, ඔබව සැනසීම සඳහා ශුද්ධ ලියවිල්ලෙන් එක පොරොන්දුවක්වත් මට ඔබහට ඉදිරිපත් කළ නොහැක. නමුත් ඔබගේ වැඩසටහන දෙවියන්වහන්සේගේ වැඩසටහනට සමාන නම් - ගෝලයන් සෑදීම, පියාණන්ගේ, පුත්‍රයාණන්ගේ සහ ශුද්ධාත්මයාණන්ගේ නාමයෙන් ඔවුන් බව්තීස්ම කිරීම සහ යේසුස් වහන්සේ අණ කළ සියල්ල කිරීමට ඔවුන්ට ඉගැන්වීම - එවිට ඔබ මිනිසුන්ට හෝ යක්‍ෂයින්ට බිය වන්නට අවශ්‍ය නැතැයි කියා මට ඔබට සහතික විය හැකිය.

©Zac Poonen – [email protected]