නික්මයාම 15වැනි පරිච්ඡේදය ආරම්භ වන්නේ ඉශ්රායෙලිතයින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමත් සමඟින් වන අතර අවසන් වන්නේ ඔවුන් උන්වහන්සේට විරුද්ධව මැසිවිළි නැඟීමෙනි. මෙම රටාව කාන්තාරයෙහිදී ඉශ්රායෙල්වරුන් විසින් නැවත නැවතත් පුරුද්දක් ලෙස කරන ලදී. සදහටම ඉහළ පහළ යන ගණිතයේ එන “සයින් තරංගය”, තමන්ට අවශ්‍ය දේ ලැබුණු විට දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන, යමක් වැරදිව ගිය විට මැසිවිළි නඟමින්, එම ගැටළුව ජයගත් විට නැවත දෙවියන් වහන්සේට ස්තූති කරන ඉන්පසු ඊළඟ ගැටළුව මතු වූ විට නැවත සැක කරන බොහෝ ඇදහිළිවන්තයින්ගේ ජීවිත පිළිබඳ පරිපූර්ණ විස්තරයකි. මෙයට හේතුව බොහෝ ඇදහිළිවන්තයින් ජීවත් වන්නේ ඉශ්රායෙල්වරුන් මෙන් පෙනීමෙන් මිස ඇදහිල්ලෙන් නොවේය. ඉරිදා උදෑසන ඔවුන් ඔවුන්ගේ රැස්වීම්වලදී හඬනඟා (සමහර විට අන්‍ය භාෂාවලින්) දෙවියන් වහන්සේට ප්‍රශංසා කරති. නමුත් ඉරිදා හවස සිට ඔවුන්ගේ කථාව වෙනස් ය , මෙවර ඔවුන්ගේ මව් භාෂාවෙන් ය. එය නම් කෝපය, මැසිවිළි නැඟීම සහ චෝදනා නැඟීම - ඔවුන්ගේ නිවෙස්වල සහ ඔවුන්ගේ කාර්යාලවලදී !! ඉන්පසු ඊළඟ ඉරිදා සයින් තරංගය ඉහළ යන අතර ඔවුන් නැවත දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමට පටන් ගනී.
“ඇදහිල්ලෙන් ගමන් කිරීම යනු දෙවියන් වහන්සේව පුදුමයට පත් කරන කිසිම ප්‍රශ්ණයක් අද හදිසියේ ඇති විය නොහැකි බව විශ්වාස කිරීමයි.”
ඉන්පසු නැවතත් තරංගය පහළ බසී!! මෙය නිසැකවම දෙවියන් වහන්සේ, නව ගිවිසුමේ උන්වහන්සේගේ දරුවන් ජීවත් විය යුතුයැයි අදහස් කළ ආකාරය නොවේ. පුද්ගලයෙකුට අන්‍ය භාෂා දීමනාවක් ලබා දෙන ශුද්ධාත්මයාණන්ට ඔහුගේ මව් භාෂාවෙන් ඔහුගේ කථාවද පාලනය කළ නොහැකිද? උන්වහන්සේට අනිවාර්යයෙන්ම පුළුවන. බයිබලයේ පවසන්නේ “ස්වාමීන් වහන්සේ තුළ සැමවිටම ප්‍රීති වන්න. සෑම දෙයකදීම ස්තුති කරන්න” (පිලිප්පි 4: 4; එපීස 5: 20).
නව ගිවිසුමෙහි සෑම විටම අප උදෙසා දෙවියන් වහන්සේගේ කැමැත්ත එයයි. නමුත් එය කිරීමට නම් අප ඇදහිල්ලෙන් ජීවත් විය යුතුය. ඕනෑම විටකදී අප මුහුණ දෙන සෑම ගැටළුවකටම දෙවියන් වහන්සේ දැනටමත් විසඳුමක් සැළසුම් කර ඇති බව අප විශ්වාස කළ යුතුය.
ඉශ්රායෙල්වරුන් මෝසෙස් වෙත පැමිණිලි කළ විට, ඔහු ස්වාමීන් වහන්සේට මොරගැසූ අතර, ස්වාමීන් වහන්සේ පැවසුවේ, "ප්‍රශ්ණයට විසඳුම ඔබ ළඟමයි - ඔබ ඉදිරියෙහිමය" (නික්මයාම15:25). ස්වාමීන් වහන්සේ ඔහුට ගසක් පෙන්වූ සේක. මෝසෙස් ගස කපා වතුරට දැමූ අතර ජලය මිහිරි විය.
එම ගස කාන්තාරයේ සිටවූවේ කවරෙක්ද? ඒ කිසියම් මිනිසෙකුද නැතහොත් දෙවියන්වහන්සේද? කිසිම සැකයකින් තොරව දෙවියන් වහන්සේය ! මිනිසුන් කාන්තාරයේ ගස් සිටුවන්නේ නැත. වසර 100 කට පසු තම දරුවන් මාරා වෙත පැමිණ එහි ජලය තිත්ත බව දැනගන්නා බැවින්, සමහර විට වසර 100 කට පෙර දෙවියන් වහන්සේ එම ගස මාරා අසල සිටුවා ඇත. ඒ නිසා උන්වහන්සේ සැබවින්ම ඔවුන්ගේ ප්‍රශ්ණයට විසඳුමක් සැළසුම් කරලා තිබුණේ අවුරුදු 100කට පෙරය. ඔබ එම ගැටළුවලට මුහුණ දීමට බොහෝ කලකට පෙර, ඔබේ සියලුම ගැටළු උදෙසා එම දෙවියන් වහන්සේම විසඳුම් සැළසුම් කර ඇති බව ඔබට වැටහෙනවාද?
ඇදහිල්ලෙන් ගමන් කිරීම යනු දෙවියන් වහන්සේව පුදුමයට පත් කරන කිසිම ප්‍රශ්ණයක් අද හදිසියේ ඇති විය නොහැකි බව විශ්වාස කිරීමයි. යක්ෂයා අපට සූදානම් කරන්නේ කුමන ගැටළුද යන්න දෙවියන් වහන්සේ දැනටමත් කල්තියා දැන සිටිනවා පමණක් නොව, උන්වහන්සේ ඒ සියල්ලටම විසඳුමක් ද කල්තියා සැළසුම් කර ඇත! එබැවින් ඔබට සෑම ගැටළුවකටම නිර්භීතව මුහුණ දිය හැකිය.
ඇදහිළිවන්තයෙකු ලෙස මගේ වසර 56 තුළ ගැටළු රාශියකට මුහුණ දීමෙන් පසු මට මෙහි සත්‍යතාවයට සාක්ෂි දිය හැකිය. දෙවියන් වහන්සේ විසඳුමක් සැළසුම් නොකළ ගැටළුවකට මම තවම මුහුණ දී නැත!
මාගේ ජීවිතයේ මාරාවන් වෙත මා පැමිණීමට බොහෝ කලකට පෙර - මා හට ජලය මිහිරි කිරීම පිණිස, උන්වහන්සේ ගස් උදෙසා බීජ රෝපණය කළසේක. සෑම විටම “ නිශ්ශබ්දව ආදරයෙන් අප වෙනුවෙන් සැළසුම් කරන” අපගේ පුදුමාකාර, ආදරණීය පියාණන් කෙරෙහි ඇදහිල්ලෙන් ගමන් කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි (ශෙපනියා 3: 17 - විස්තරාත්මක පරාවර්ථනය) - එවිට ඔබ ඔබේ සියලු ගැටළු නිරන්තරයෙන් ජය ගනු ඇත. නැවත කිසි දිනෙක ඔබේ මුවින් චෝදනා නැඟීම, මැසිවිළි නැඟීම, සහ කෝපය, නොපවතිනු ඇති නමුත් පවතිනුයේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම සහ ස්තුති කිරීම පමණි.