WFTW Body: 

නික්මයාම 15 වන පරිච්ඡේදය ආරම්භ වන්නේ ඉශ්‍රායෙල්වරුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමත් සමඟින් වන අතර, උන්වහන්සේට විරුද්ධව මැසිවිලි නඟමින් එය අවසන් වේ. මෙම රටාව වනාන්තරයේදී ඉශ්‍රායෙල්වරුන් විසින් පුන පුනා කරන ලදී. සදහටම ඉහළ පහළ යන "සයින් තරංගය" (ගණිතයේ එන) තමන්ට අවශ්‍ය දේ ලැබුණු විට දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන, යමක් වැරදුණු විට මැසිවිලි නඟන, එම ගැටළුවෙන් මිදුණු විට නැවත දෙවියන් වහන්සේට ස්තූති කරන සහ ඉළඟ ගැටළුව මතු වූ විට නැවත සැක කරන බොහෝ ඇදහිළිවන්තයින්ගේ ජීවිත පිළිබඳ පරිපූර්ණ විස්තරයකි. මෙයට හේතුව බොහෝ ඇදහිළිවන්තයින් ඉශ්‍රායෙල්වරුන් මෙන්ම පෙනීමෙන් මිස ඇදහිල්ලෙන් ජීවත් නොවීමයි. ඉරිදා උදෑසන ඔවුන් ඔවුන්ගේ රැස්වීම්වලදී (සමහර විට අන්‍ය භාෂාවලින්ද) දෙවියන් වහන්සේට හඬ නගා ප්‍රශංසා කරති. එහෙත් ඉරිදා හවස සිට ඔවුන්ගේ කථාව (භාෂාව) වෙනස්වේ, මේ අවස්ථාවේදී ඔවුන්ගේ මව් භාෂාවෙනි. එය කෝපය, මැසිවිලි නැඟීම් සහ පැමිණිලි කිරීම් - ඔවුන්ගේ නිවෙස්වල සහ ඔවුන්ගේ කාර්යාලවල !! ඊළඟ ඉරිදා නැවතත් සයින් තරංගය ඉහළ යන අතර ඔවුන් නැවත දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමට පටන් ගනී.

ඉන් පසු නැවතත් තරංගය බැස යයි!! මෙය නිසැකවම දෙවියන් වහන්සේ තම නව ගිවිසුමේ දරුවන් ජීවත් වන පිණිස උන්වහන්සේ අදහස් කළ ආකාරය නම් නොවේ. පුද්ගලයෙකුට, නොදන්නා භාෂාවලින් කථා කිරීමේ දීමනාව ලබා දෙන ශුද්ධාත්මයාණන්ට, ඔහුගේ මව් භාෂාවෙන් කතා කිරීමේ දී ද ඔහුගේ කථාව පාලනය කළ නොහැකිද? නිසැකවම උන්වහන්සේට හැකිය. බයිබලය පවසන්නේ "ස්වාමින් වහන්සේ තුළ සැමදා ප්‍රීති වන්න. සෑම දෙයකදීම ස්තුති කරන්න" (පිලිප්පි 4: 4; එපීස 5: 20).

නව ගිවිසුමේ සෑම විටම අප වෙනුවෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත එයයි. තවද එම ආඥාවට කීකරු වීමට අපට උපකාර කිරීමට ශුද්ධාත්මයාණන් වහන්සේ අපට දී ඇත. අපට මුහුණ දෙන්නට සිදුවන සෑම ගැටළුවකටම දෙවියන් වහන්සේ දැනටමත් විසඳුමක් සැළසුම් කර ඇති බව විශ්වාස කරමින් - අප ඇදහිල්ලෙන් යුක්තවද ජීවත් විය යුතුය.

ඉශ්‍රායෙල්වරුන් මෝසෙස්ට පැමිණිලි කළ විට, ඔහු ස්වාමීන් වහන්සේට මොරගැසූ අතර, ස්වාමීන් වහන්සේ පැවසුවේ, "ප්‍රශ්ණයට විසඳුම ඇත්තේ ඔබ ඉදිරියෙහිය" (නික්මයාම 15: 25). ස්වාමීන් වහන්සේ ඔහුට ගසක් පෙන්වූ සේක. මෝසෙස් ගස කපා වතුරට දැමූ අතර ජලය මිහිරි බවට පත්විය.

එම ගස වනාන්තරයේ සිටෙව්වේ කවුරුන්ද? ඒ කිසියම් මිනිසෙකුද නැත්නම් දෙවියන් වහන්සේද? කිසිම සැකයකින් තොරව දෙවියන් වහන්සේමය! මනුෂ්‍යයින් වනාන්තරයේ ගස් හිටුවන්නේ නැත. වසර ගණනාවකට පසු තම දරුවන් මාරා වෙත පැමිණ එහි ජලය තිත්ත බව දැන ගන්නා බව දෙවියන් වහන්සේ දැන සිටි නිසා වසර ගණනාවකට පෙර මාරා අසල උන්වහන්සේ එම ගස සිටුවා ඇත. එබැවින් උන්වහන්සේ ඔවුන්ගේ ගැටළුවට විසඳුමක් සැළසුම් කර තිබුණේ වසර ගණනාවකට පෙරය. ඔබ එම ගැටළුවලට මුහුණ දීමට බොහෝ කලකට පෙර, ඔබේ සියලු ගැටළු උදෙසා එම එකම දෙවියන් වහන්සේ විසඳුම් සැළසුම් කර ඇති බව ඔබට වැටහෙනවාද?

ඇදහිල්ලෙන් ගමන් කිරීම යනු දෙවියන් වහන්සේව මවිතයට පත් කරන කිසිම ගැටළුවක් අද හදිසියේ මතු විය නොහැකි යැයි විශ්වාස කිරීමයි. යක්ෂයා අපට සූදානම් කරන ප්‍රශ්ණ මොනවා දැයි දෙවියන් වහන්සේ කල්තියාම දැන සිටියා පමණක් නොව, උන්වහන්සේ ඒ සියල්ලටම විසඳුම්ද කල්තියා සැළසුම් කර ඇත! එබැවින් ඔබට සෑම ගැටළුවකටම නිර්භීතව මුහුණ දිය හැකිය.

ඇදහිළිවන්තයෙකු ලෙස මගේ වසර 66 තුළ ගැටළු රාශියකට මුහුණ දීමෙන් පසු මට මෙහි සත්‍යතාවයට සාක්ෂි දිය හැකිය. දෙවියන් වහන්සේ විසඳුමක් සැළසුම් නොකළ ගැටළුවකට මම මෙතෙක් මුහුණ දී නැත! මම මාගේ ජීවිතයේ මාරාවන් වෙත පැමිණීමට බොහෝ කලකට පෙර, මා හට ජලය මිහිරි කරණ පිණිස - උන්වහන්සේ ගස් වැවෙන්නට බීජ රෝපණය කළසේක. ශෙපනියා 3: 17 - paraphrase පරිවර්ථනයට අනුව සෑම විටම “නිෂ්ශබ්දව ආදරයෙන් අප වෙනුවෙන් සැළසුම් කරන” අපගේ ආශ්චර‍්‍යයවත්, ප්‍රේමණීය පියාණන් කෙරෙහි ඇදහිල්ලෙන් ගමන් කරන මෙන් මම ඔබෙන් උදෙක්ම ඉල්ලා සිටිමි - එවිට ඔබ ඔබේ සියලු ගැටළු නිරන්තරයෙන් ජය ගනු ඇත. නැවත කිසිදා චෝදනා කිරීම්, මැසිවිලි නැඟීම් සහ කෝපය වෙනුවට, දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම් සහ ස්තුති කිරීම් පමණක් ඔබේ මුඛයෙහි දක්නට ලැබේ.

සවන් දීමට.