WFTW Body: 

ඔබේ ජීවිතය උදෙසා දෙවියන් වහන්සේගේ පරිපූර්ණ සැලැස්ම ඉටු කිරීමට වඩා ඔබට මිහිපිට ඉටු කළ හැකි උතුම් කිසිදු දෙයක් නැත. මාගේ යාච්ඤාව නම් දෙවියන් වහන්සේ යම් දිනක ඔබගේ ජීවිතය හා ශ්‍රමය තුළින් ලෝකයේ යම් ප්‍රදේශයක උන්වහන්සේගේ සභාව ගොඩ නැගීමට උන්වහන්සේගේ හස්තයේ මෙවලමක් ලෙස ඔබ භාවිතා කරනු ඇත යන්නයි. ඔබේ අධ්‍යාපනය සහ වෘත්තිය ජීවනෝපාය උපයා ගැනීමේ මාධ්‍යයක් පමණි - එවිට ඔබට ඔබේ භූමික අවශ්‍යතා සඳහා අන් අය මත යැපීමට අවශ්‍ය නොවේ. නමුත් ඔබගේ ජීවිතයේ කැඳවීම දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වීමයි. ඒ නිසා ඔබේ වෘත්තිය පිළිමයක් කරගන්න එපා.

ඔබගේ භූමික ජීවිතයේ සෑම කාරණයක්ම දෙවියන් වහන්සේ දැනටමත් සැලසුම් කර ඇත. එයට ඔබේ අධ්‍යාපනය ඇතුළත් වේ - ඔබ සම්බන්ධ වීමට තිබූ පාසල සහ විද්‍යාලය, සහ ඔබ විද්‍යාලයේ ඉගෙන ගන්නා පාඨමාලා පවා. උන්වහන්සේ ස්වෛරී ලෙස මේ සියල්ල අභිබවා යන අතර අවසානයේ ඔබව නිවැරදි වෘත්තියට යොමු කරන බව සහතික කරයි. එබැවින් යම් අවස්ථාවකදී, ඔබගේ උපරිමය කර තිබියදීත් ඔබ බලාපොරොත්තු වූ හෝ ඔබට කිරීමට අවශ්‍ය වූ පාඨමාලා හෝ ආරම්භයන් වලට දොරටු විවෘත නොවුනත්, ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න. වසර ගණනාවකට පසු, දෙවියන් වහන්සේ ඔබ දෙස බලා සිටි බවත්, ඔබේ ජීවිතයේ ක්‍රියාවන් පරමාධිපත්‍යයෙන් පාලනය කරන ලද බවත් (ඔබ එය නොදැන සිටියත්) සහ එය ඔබ වෙනුවෙන් ක්‍රියා කළ ආකාරය ඇත්තෙන්ම ඔබට දෙවියන්වහන්සේගේ යහපත්ම දෙය බව ඔබට වැටහෙනු ඇත ( රෝම.8:28 ) . දෙවියන් වහන්සේගේ මෙම වචනය කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වන්න.

ඔබ වෙනුවෙන් දෙවියන්වහන්සේගේ ප්‍රධාන අරමුණ වන්නේ ඔබ යේසුස්වහන්සේගේ ජීවිතය ප්‍රකාශ කිරීමෙන් - මෙලොවදී උන්වහන්සේගේ සාක්‍ෂිකරුවා වීමයි. එබැවින් ඔබේ අභිලාෂයන් කිසිවිටෙක භූමික වීමට ඉඩ නොදෙන්න. ජීවිතය බැරෑරුම් ලෙස සලකන්න. දෙවියන් වහන්සේගේ පරිපූර්ණ කැමැත්ත සොයන්න. ඔබ අවසාන වශයෙන් විනිශ්චය දවසේදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටින විට, ඔබ ජීවත් වූ ආකාරය ගැන පසුතැවීමට අවශ්‍ය නොවනසේ ජීවිතය ගත කරන්න. එම අවසාන දිනයේදී වැදගත් වන GPA ඔබේ 'ශ්‍රේණියේ ලකුණු සාමාන්‍යය' (විද්‍යාලයේදී) නොව, 'දෙවියන් වහන්සේගේ ප්‍රශංසාව සහ අනුමැතිය' ( 1කොරින්ති 4:5 ) වේ. එහිදී ඔබ ලබාගන්නාවු එම ලකුණු පමණක් ම වැදගත් වන එකම දෙය වන්නේය.

දෙවියන් වහන්සේ අපේ ජීවිත සැලසුම් කරන්නේ එවැනි පුදුමාකාර ආකාරයටයි. මගේම ජීවිතය තුළ නැවත නැවතත් මා අත්දුටු දෙය මෙය වන අතර, ඉදිරි දිනවලදී උන්වහන්සේගේ සේවයට වඩාත් මුළු හදවතින්ම මගේ ජීවිතය ලබා දීමට මෙය මාව උනන්දු කරවන්නේ "උන් වහන්සේගේ දුක් විඳීමේ විපාකය, මරා දමනු ලැබූ බැටළු පැටවා වෙනුවෙන් දිනා ගැනීමටය". එය 18 වැනි සියවසේ මොරවියන් ක්‍රිස්තියානීන්ගේ (දැන් චෙකොස්ලොවැකියාවේ) ආදර්ශ පාඨය වූ අතර, ඔවුන්ගේ නායකයා වූයේ කවුන්ට් සින්සෙන්ඩෝෆ්‍ ය.

ඔබේ ජීවිතය සඳහා දෙවියන් වහන්සේ සතුව ඇති පරිපූර්ණ සැලැස්මට කිසිදු භූමික සුදුසුකම් නොමැතිකමට බාධා කළ නොහැක. එහි ඉටුවීම රඳා පවතින්නේ ඔබ තුළ යටහත් ආකල්පයකින් යුත් මනසක් සහ ඇදහිල්ලක් තිබීම මත පමණි. ඒ නිසා ඒ ගුණධර්ම ඔබට සැමදාමත් ලැබේවා.

අපි කවුරුත් අපේ ජීවිත අඥාන අත්වැරදීම් වලින් තොරව ගතකර නොමැත. නමුත් අප යටහත්ව අපගේ පාපය පිළිගෙන, අනුන්ට දොස් නොකියා, ඇදහිල්ලෙන් පවසන්නට තරම් නිහතමානී වූ විට, දෙවියන් වහන්සේ අප කළ බොහෝ මෝඩ දේවල් නොසලකා හරින බව මට මගේ ජීවිතයෙන් සාක්‍ෂි දිය හැකිය. අප පවසන්නේ නම් "ස්වාමීනි, මා කළ අඥාන දේවල් තිබියදී පවා, මම, ඔබ මගේ ජීවිතය සඳහා ඔබේ සැලැස්ම ඉටු කරන බවට ඔබේ දයාව විශ්වාස කරන්නෙමි." බොහෝ ඇදහිලිවන්තයන් කිසි විටෙකත් එම වචන ස්වාමින් වහන්සේට නොකියන්නේ ඔවුන්ගේ අසාර්ථකත්වයන් නිසා ඔවුන් ඉතා අධෛර්‍යයට පත්ව සිටින නිසාත්, දෙවියන් වහන්සේගේ දයාව කෙරෙහි විශ්වාසය නොතබන නිසාත් ය. මෙසේ ඔවුහු දෙවියන්වහන්සේගේ පරමාධිපත්‍ය බලය සහ දයාවට වඩා ඔවුන්ගේ අසාර්ථකත්වයන් ඔසවා තබමින් දෙවියන්වහන්සේට අගෞරව කරති. ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා උන්වහන්සේගේ මහත් දයාව මහිමයට පත් කළ යුතුය. එවිට එය ඔබ සමඟ - සෑම වසරකම පෙර වසරට වඩා හොඳින් ගමන් කරනු ඇත.