WFTW Body: 

එසේවී නුමුත් මට ලාභව තිබුණු යම් යම් දේම ක්‍රිස්තුස්වහන්සේ නිසා අලාභයයි සිතීමට පැමිණියෙමි. එසේය , මාගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඇඳිනගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැතිවී ගියා පමණක් නොව ; ඒවා කුණුයයි සලකමි. එසේ කරන්නේ මම ක්‍රිස්තුස්වහන්සේ ලබාගන්නා පිණිසත් , ව්‍යවස්ථාවෙන් පැමිණෙන මාගේම ධර්මිෂ්ටකම නොව , ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන , ඇදහිල්ල නිසා දෙවියන්වහන්සේගෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ඇතුව ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින පිණිසත් , යම් අන්දමකින් මළවුන්ගෙන් නැගිටීමට පැමිණෙන ලෙස , උන්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත–නැගිටීමේ බලයත් උන්වහන්සේගේ දුක්වල පංගුකාරකමත් දැනගන්නා පිණිසත් ය. මා දැනට ලබාගෙන සිටිනවාවත් දැනටම සම්පූර්ණවී සිටිනවාවත් නොවේ. නමුත් යමක් පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මා අල්ලාගත්සේක්ද , ඒක අල්ලාගන්ට වීර්‍යකරමින් මමත් දුවගනයමි. සහෝදරයෙනි , මම තවමත් අල්ලාගත්තෙමියි නොසිතමි. නුමුත් එකක් කරමි , එනම් , පස්සෙන් තිබෙන දේ මතකනැතිකොට , ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගන යමින් , ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පළ කරා දුවමි ( පිලිප්පි 3: 7-14 ). .

මෙය පරිණත කිතුණුවෙකුගේ සාරවත් හා පරිපූර්ණ ජීවිතයේ අවසානයට ලඟා වූ කාලයේදී සාක්ෂියකි. පාවුලුතුමාගේ හැරීමෙන් පසු වසර තිහක් ගත වී ඇත. එම වසර තුළ දෙවියන් වහන්සේ සභා බොහොමයක් රෝපණය කරන පිණිස ඔහුව පාවිච්චි කරමින්, ඔහුගේ දේව සේවය බලවත් ළකුණු හා හාස්කම්වලින් සහතික කළසේක. මුල් කාලයේ සිටම පාවුල්තුමා සුභ-ආරංචියේ සේවය උදෙසා තමන්ව නිර්ලෝභීව වැයකර, නිරන්තරයෙන් ගමන් කරමින් මහත් දුෂ්කරථාවයන්ට මුහුණ දුන්නේය. ඔහු තම ස්වාමින් වහන්සේගේ සමානත්වයට වර්ධනය වන විට පාපයට එරෙහි ජයග්‍රහණයේ යථාර්ථය දැන සිටියේය. එලෙසම ඔහු බොහෝ සෙයින් ප්‍රීතියට පත් වූ දේවල් අතරින් ඔහුට එක් අද්විතීය අත්දැකීමක් තිබුණි. ඒ ඔහු පැවසූ පරිදි, ආත්මික සත්‍යය පිළිබඳ අපූර්ව හෙළිදරව් කිරීම් ලබා ගන්නා පිණිස තුන්වන ස්වර්ගයට ඔසවා ගනු ලැබීමය.

එහෙත් මේ සියල්ල අවසානයේ ඔහු ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේ සිය ජීවිතය සඳහා අරමුණු කර ඇති සියල්ලට ඔහු තවමත් ළඟා වී නොමැති බවයි. මෙන්න, මෙතෙක් සිටි ශ්‍රේෂ්ඨතම කිතුණුවෙකු තම ජීවිතයේ අවසාන කාලයේ දී කියා සිටින්නේ, ඔහු තවමත් ඉලක්කය කරා හඹා යා යුතු බවයි. බොහෝ ඇදහිළිවන්තයින්ට, අහෝ, ගැළවීම ආරම්භ වන්නේ හා අවසන් වන්නේ නව උපත සහ එය දිව්‍ය විනිශ්චයෙන් ගැළවීමෙනි. ප්‍රේරිතයාට එසේ නොවීය, ඔහු මෙන් ක්‍රිස්තුස් වහන්සේගේ සබෑ ගෝලයෙකු වීමට සොයන වෙනත් කිසිවෙකුට වත් එසේ නොවේ. මෙම ඡේදයේ දී ඔහු ප්‍රකාශ කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඔහුව අල්ලාගෙන ඇත්තේ අරමුණක් ඇතිව බව ඔහු තරයේම විශ්වාස කරන බවයි. ඔහු, එයට ප්‍රතිචාර දක්වමින් ඕනෑම මිළයක් දරමින් එම අරමුණ ඉෂ්ඨ කිරීමට ඔහු අධිෂ්ඨාන කරගෙන සිටියේය. මෙය ඉමහත් උදාර සත්‍යයකි, ස්වාමින් වහන්සේ අපව හැරවීමේදී අල්ලාගනු ලබන්නේ අපගේ ප්‍රාණය නිරයේ ගින්නෙන් ගළවා නිකම්ම ස්වර්ගයට ඇතුළත් කිරීමට වඩා බොහෝ දුරට විහිදෙන (ගැඹුරු) අරමුණක් ඇතිව ය. එය එසේ නම්, ප්‍රේරිත පාවුලුතුමා තරම් පරිණත මිනිසෙකු, අවුරුදු තිහක අඛණ්ඩ ක්‍රිස්තියානි සේවය අවසානයේදී ඔහු තවමත් අත් කර ගෙන නැති නමුත්, ඔහුගේ ජීවිතයෙහි දෙවියන් වහන්සේගේ සියලු අරමුණු ඉටු කර ගැනීමට ඔහුට තව දුරටත් වීර්‍යයෙන් හඹා යා යුතුව තිබුණ බව කීමට අවශ්‍ය වූවා නම්, එම අරමුණෙහි විශාලත්වය කෙතරම් විශාල විය යුතුද?

මෙම ඡේදයේ පාවුලුතුමා තව දුරටත් ගොස් පවසණුයේ. ඔහුට මෙම දෙවියන් වහන්සේගේ අරමුණ ග්‍රහණය කර ගෙන එය ඉටු කිරීමේ මෙම උත්තරීතර පරමාර්ථය හා සසඳන විට, ලෝකය වටිනා යැයි සළකන සෑම දෙයක්ම නිෂ්ඵළ කුණු කසළ මෙන් වූ බවය. ඔහු මෙය සළකන්නේ ලෝකයේ සෑම දෙයක්ම අත්හැරීමට තරම් වටින ත්‍යාගයක් ලෙසයි ( 14 පදය ). අප අවට බැලූ විට, ඇදහිළිවන්තයින් ලෞකික දේවල්වලට ආශා කරන බවත්, ද්‍රව්‍යමය දේවලට ඇලී සිටින බවත්, දෙවියන් වහන්සේගේ දේ වලට වඩා ඔවුන්ගේ ජීවිතවල මේවාට වඩා විශාල ස්ථානයක් ලබා දෙන බවත් දකින විට, ඔවුන්ගේ කිතුණුභාවය පාවුල්තුමාගෙන් බොහෝ දුරස් වී ඇති බව නිගමනය කිරීමට අපට බල කෙරෙයි.

නිරයේ ගිනිදැල් වලින් බේරීම සඳහා පමණක් රක්ෂණ ඔප්පුවකට අනුව ගැළවීම ගැන සිතීම ආත්මික ළදරු අවධියේ සළකුණකි. අප ආත්මිකව පරිණත වූ විට, දෙවියන් වහන්සේ අපව ගළවා ඇත්තේ අප සෑම කෙනෙකුටම සදාකාලිකව සැළසුම් කර ඇති මාවතේ සෑම දිනකම ගමන් කිරීම සඳහා බව වටහා ගන්නෙමු ( එපීස 2: 10 ) . පාවුලුතුමා ඔහුගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ අරමුණ යැයි පැවසූවේ එම ගමන් මාර්ගයට යි.

උන්වහන්සේගේ අනුග්‍රහය ලැබීම ගැන අප සෑහීමකට පත්වන නමුත්, අපගේ ජීවිත සඳහා උන්වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමට ඇප කැප නොවන්නේ නම්, එවිට අප කෙතරම් ක්‍රිස්තු ධර්මය පතුරවනවා වුවද, දෙවියන් වහන්සේට සදාකාලික වටිනාකමක් ඇති කිසිවක් ඉටු නොකර අපගේ ජීවිත රටාව පොළොවෙහි ගත කරන්නෙමු. යක්ෂයාගේ පළමු පරමාර්ථය එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ අනුග්‍රහයට ජනතාව අන්ධ කර, එමගින් ඔවුන් ව ගැළවීමෙන් වැළැක්වීම යි ( 2 කොරින්ති 4: 4 ). නමුත් ඌ එහි සාර්ථක නොවන්නේ නම්, ඌගේ ඊළඟ අරමුණ වන්නේ දෙවියන් වහන්සේ නව ඇදහිළිවන්තයා වෙනුවෙන් ඉතා නිශ්චිත සැළැස්මක් ඇති බවට ඇති සත්‍යථාවයෙන් අන්ධ කිරීමයි. බොහෝ දුරට ඌ මෙහි සාර්ථක වී ඇත. ඔවුන්ගේ ජීවිතයේ වැදගත් තීරණවල දී පවා, දෙවියන් වහන්සේගේ කැමැත්ත කිසිසේත්ම උනන්දුවෙන් සොයන්නේ නැති, සැබෑ ඇදහිළීවන්තයන් දහස් ගණනක් සිටිති.

කිතුණු ජීවිතය පිලිප්පිවරුන්ගේ මෙම ඡේදයේ නිරූපණය කර ඇත්තේ අප දිගින් දිගටම වීර‍්‍යයෙන් ඉදිරියටම ගමන් කළ යුතු එකක් ලෙසට ය. මිහිපිට ළඟා විය හැකි කිසිම මට්ටමක ආත්මික පරිනතභාවයකට, මෙම නිරන්තර අවශ්‍යථාවයෙන් කිසිවිට අපව නිදොස් කළ නොහැක. බොහෝ ඇදහිළිවන්තයින් මෙම පාඩම නොසළකා හැර ඇති හෙයින් ඔවුන්ට ජීවමාන සාක්ෂියක් නොමැත. ඔවුන්ගේ එකම සාක්ෂිය සම්බන්ධ වන්නේ ආශීර්වාද ලත් දවසක ඔවුන් අත ඔසවා හෝ යම් එවැන්ජලිස්ත රැස්වීමකදී තීරණ කාඩ්පතකට අත්සන් කළ ඈත අතීතයේ අත්දැකීමකටය. එය ආශ්චර්‍යමත්ය, නමුත් එතැන් සිට කිසිවක් සිදුවී නැත! හිතෝපදේශ 24: 30-34 හි උයනක් නාස්ති වී ඇති ආකාරය දැක්වෙන පින්තූරයෙන්, ගැළවීමෙන් පසු විවේකීව සිටින මිනිසාගේ තත්වය විස්තර කරයි. වත්තක වල් පැළෑටි හා නිදිකුම්බා වැනි අහිතකර පැළෑටිවලින් ආරක්ෂා වීමට නම් නිරන්තරයෙන් වල් නෙලීම හා රැකබලා ගැනීම අවශ්‍ය වේ - මිනිස් ප්‍රාණය උදෙසාද එය එසේම වන්නේ ය.