“නුඹලා යාච්ඤාකරන කල්හි වංචාකාරයන් කරන්නාක්මෙන් නොකරන්න..." (මතෙව් 6: 5). යාච්ඤා කරන ආකාරය අපට ඉගැන්වීමට පෙර, යාච්ඤාව ගැන අවවාදයන් ලෙස යේසුස් වහන්සේ අපට පවසන දේවල් ගණනාවක් තිබේ.
පළමුවෙන්ම, වංචාකාරයන් යාච්ඤා කරනවිට, අන්අය විසින් දකිනු ලබනවාට කැමති වෙති. “ඔවුහු පෙනෙන පිණිස සිනගෝගවලද මංසන්ධිවලත් සිටගෙන යාච්ඤාකිරීමට සතුටුවෙති. ඔවුන්ගේ විපාකය ඔවුන්ට සම්පූර්ණයෙන්ම ලැබී තිබේ.” මෙහි ඇති ප්‍රතිපත්තිය නම් ඔබ ප්‍රසිද්ධියේ යාච්ඤා කරන්නේ නම් සහ ඔබේ අරමුණ අන් අය ඔබගේ යාච්ඤාව අගය කිරීම බලාපොරොත්තු වීම, එනම් මිනිසුන්ගෙන් ගෞරවය ලබා ගැනීමයි. අඩු හෝ වැඩි වශයෙන් ප්‍රසිද්ධියේ යාච්ඤා කිරීමට පටන් ගන්නා සෑම කෙනෙකුටම පාහේ තමන් යාච්ඤා කරන විට ගෞරවය අපේක්ෂා කරන බව පිළිගැනීමට සිදුවේ.
ඔබ පෞද්ගලිකව යාච්ඤා කරන ආකාරයටම ඔබ ප්‍රසිද්ධියේ යාච්ඤා කරනවාද කියා ඔබ ඔබෙන්ම අසන්න. ඔබ තනියම ඔබේ ඇඳ ළඟ දණින් වැටී සිටින විට, ඔබ යාච්ඤා කරන්නේ කෙසේද? ඔබ දෙවියන් වහන්සේට පවසන්නේ කුමක්ද? ඔබ ප්‍රසිද්ධියේ යාච්ඤා කරන විට ඔබ පවසන්නේ එයද? එසේත් නැතිනම් ඔබ ඔබේ භාෂාව වඩාත් අළංකාරමත් කර, ඔබේ කටහඬට කුඩා දෙදරීමක් ගෙන දෙමින් නළුවෙකු ලෙස හැසිරෙනවාද, බොහෝ අය කරන්නාක් මෙන් ඔබ ප්‍රසිද්ධියේ යාච්ඤා කරන විට, ඉතා උනන්දුවෙන් හෝ ඉතා හැඟීම්බර බව මිනිසුන්ට හැඟවීමට උත්සාහ දරන්නේ ද?
ඒ සියල්ල මූණිච්ඡාවවේ. දෙවියන් වහන්සේ එය පිළිකුල් කරයි. ඒ ආකාරයෙන් ප්‍රසිද්ධියේ යාච්ඤා කිරීම දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිළිකුල් සහගත බව අපට වැටහෙනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි. දෙවියන් වහන්සේ එය පිළිකුල් කරන අතර එයට සවන් නොදෙනු ඇත. සභාවල බොහෝ ප්‍රසිද්ධියේ යාච්ඤා කිරීම මෙම ගණයට අයත් වන අතර, මිනිසුන් යාච්ඤා කරන්නේ අන් අය ඉදිරියේ තමන්ට කොතරම් හොඳින් යාච්ඤා කළ හැකිදැයි පෙන්වීමටය. මෙය සම්පූර්ණයෙන්ම යේසුස් වහන්සේගේ ඉගැන්වීම්වලට පටහැනියි, මිනිසුන් එය කරන්නේ යේසුස් වහන්සේ අණ කළ සියල්ල ඔවුන්ට උගන්වා නැති නිසාය.
එයින් අප පවිත්‍ර වන්නේ කෙසේද? අප යාච්ඤා කරන සෑම අවස්ථාවකදීම අප අපවම විනිශ්චය කළ යුතුය. මම කිතුණුවකු ලෙස ප්‍රසිද්ධියේ යාච්ඤා කළ පළමු අවස්ථාව මට මතකයි. මම යාච්ඤා කරන විට මම මිනිසුන්ගෙන් ගෞරවය බලාපොරොත්තු වූ බව පාපොච්චාරණය කළ යුතුයි. මම ගෙදර ගොස් මා විනිශ්චය කළ විට, “ස්වාමීනි, මා යාච්ඤා කළ යුතු ආකාරය එය නොවේ” කියා මම කීවෙමි. ඊළඟ වතාවේ මම නැඟිට ප්‍රසිද්ධියේ යාච්ඤා කළත්, මම තවමත් ගෞරවය සොයමින් සිටි අතර, මම ගෙදර ගොස් නැවත මා විනිශ්චය කළෙමි. ප්‍රසිද්ධියේ යාච්ඤා කිරීමේදී මිනිසුන්ගෙන් ගෞරවය ලබාගැනීමේ මෙම ආශාවෙන් මා පවිත්‍ර වීමට වසර ගණනාවක් ගත විය, නමුත් අවසානයේ, වසර ගණනාවකට පසු, සර්වබලධාරී දෙවියන් වහන්සේට පමණක්, මාගේ ස්වර්ගීය පියාණන්ට යාච්ඤා කිරීමට මම ඉගෙන ගතිමි. ඔබ එතැනට පැමිණ තිබේද? එසේ නොවේ නම්, මිනිසුන්ගේ ගෞරවය සෙවීමෙන් ඔබේ ගැළවීම ලබා ගැණීමට මම ඔබව දිරිමත් කිරීමට කැමැත්තෙමි.
ඉන්පසු ජේසුස් වහන්සේ පැවසූ සේක් "ඔබ යාච්ඤා කරන විට, ඔබේ ඇතුල් කාමරයට ගොස්; ඔබ ඔබේ දොර වසාගෙන, රහසින් ඔබේ පියාණන්ට යාච්ඤා කරන්න." අපි මෙය ප්‍රසිද්ධියේ කරන්නේ කෙසේද? අපිට වහන්න පුළුවන් දොරක් මණසේ තියෙනවා නම් ඒක ප්‍රසිද්ධියේ කරන්න පුළුවන්. මිනිස්සු 100ක් මැද හිටගෙන ඉන්නකොටත් මගේ හිතේ දොරක් තියෙනවා. මම එය වසා දමා, පසුව මම කියමි, "මම දැන් සර්වබලධාරී දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිටගෙන සිටිමි, මාගේ පියාණන් පමණි." මා වටා මිනිසුන් සිටිය හැක, නමුත් ඔවුන් සිටිනවාද නැද්ද යන්න ගැන මට හැඟීමක් අවශ්‍ය නැත. අප යාච්ඤා කරන විට අපගේ ඇස් වසා ගැනීමට එක් හේතුවක් වන්නේ එයයි. ඔබ යාච්ඤා කරන විට ඔබේ ඇස් වසා ගත යුතු යැයි නීතියක් නැත. ඔබට විවෘත ඇස්වලින් යාච්ඤා කළ හැකිය, මන්ද යේසුස් වහන්සේ පවා සමහර අවස්ථාවලදී එය කළ බැවිනි.
අපි අපේ වටපිටාවෙන් අවධානය වෙනතකට යොමු නොකිරීමට, අප අවට සිටින මිනිසුන්ගෙන් ගෞරවය නොසලකන ලෙස අපි අපගේ ඇස් වසා ගනිමු. එක අතකින් අප ඇස් වසා සිටින විට අපවටා මිනිස්සුන්ගෙන් අවධානයද වැසේ. අප අපගේ මණසද වසා ගත යුතු අතර, "පියාණෙනි, මම දැන් දොරවල් වසා, මම ඔබ වහන්සේට යාච්ඤා කරමි." යාච්ඤා කළ යුතු ආකාරය එයයි, අපට එය ප්‍රසිද්ධියේ පවා කළ හැකිය. අප රහසින් අපගේ පියාණන්ට යාච්ඤා කරන්නෙමු, රහසින් දකින අපගේ පියාණන් අපට විපාක දෙන සේක. ඔබ දෙවියන් වහන්සේට යාච්ඤා කරන්නේ නම් සහ මිනිසුන්ගෙන් ගෞරවය නොසොයන්නේ නම්, උන්වහන්සේ නිසැකවම ඔබට ආපසු ගෙවන බවත් එම යාච්ඤාවට පිළිතුරු දෙන බවත් ඔබට සහතික විය හැකිය.
මතෙව් 6: 7 හි යාච්ඤා නොකළ යුතු ආකාරය ගැන යේසුස් වහන්සේ අපට තවත් උපදෙස් ලබා දෙන සේක, “තවද යාච්ඤාකිරීමේදී අන්‍ය ජාතීන් මෙන් නිරර්ථකවූ වචන කියාගන කියාගන නොයන්න. ඔව්හු තමුන්ගේ වචන රාශිය නිසා අසනු ලබන්නෝයයි සිතති. එබැවින් ඔවුන්ට සමාන නොවෙන්න.” මිථ්‍යාදෘෂ්ටිකයින් කරන එක් වැරැද්දක් නම් අර්ථ විරහිතව එකම දේ නැවත නැවතත් පැවසීමයි. සමහර ආගම්වල යමක් ගායනා කිරීමේ පුරුද්දක් ඇත. ඔවුන් යම් ආගමික වාක්‍ය ඛණ්ඩයක් පුනරුච්චාරණය කරන අතර එය අර්ථ විරහිත දෙයක් බවට පත්වේ.
යම් ආත්මික භාෂාවක් ගෙන එය නැවත නැවතත් කළ හැකිය. අපට “හලෙලූයා, හලෙලූයා, හලෙලූයා” යැයි පැවසිය හැකි අතර ටික වේලාවකට පසු එය සම්පූර්ණයෙන්ම අර්ථ විරහිත වේ. එය චාරිත්‍රයක් බවට පත් වේ. "ස්වාමීන්ට ප්‍රශංසා කරන්න, ස්වාමීන්ට ප්‍රශංසා කරන්න, ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන්න" වැනි වාක්‍ය ඛණ්ඩ සඳහාද එයම වේ. “අර්ථ විරහිත පුනරාවර්තන භාවිතා නොකරන්න” කියා යේසුස් වහන්සේ පැවසූසේක. ඔබ අළුත් ගිවිසුම කියවන්නේ නම්, හලෙලූයා යන වචනය පැමිණෙන්නේ එළිදරව් 19 හි පමණක් වන අතර, එහි “හලෙලූයා මේ නිසා” යැයි කියනු ලබන අතර, එය තවත් අවස්ථාවක, “මේ නිසා හලෙලූයා” යැයි කියනු ලැබේ. අප ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කිරීමට හේතුවක් තිබිය යුතු අතර, එබැවින් අපි "හලෙලුයියා" යන්න අර්ථ විරහිතව පැවසිය යුතු නැත. අප සෑම දෙයකදීම ස්තුති කළ යුතුය, නමුත් එය අර්ථ විරහිත පුනරාවර්තනයක් නම්, එය ඉතා අඥාන ව්‍යවහාරයක් විය හැකි අතර, එය දෙවියන් වහන්සේ ඉදිරියෙහි කිසිවකට සමාන නොවේ. හලෙලූයා හි අවසාන කොටස වන 'යාහ්' යනු යෙහෝවා වහන්සේගේ කෙටි නාමයක් වන නිසා එය ස්වාමීන්ගේ නාමය නිෂ්ඵළ ලෙස ගැනීම පවා විය හැකිය, තවද යුදෙව් ජනතාව එම නම සඳහන් කිරීමට පවා බොහෝ බියෙන් සිටි අතර, ඔවුන් ස්වාමින් වහන්සේගේ නාමය නිෂ්ඵළ ලෙස භාවිතා නොකළෝය. මම විශ්වාස කරන්නේ බොහෝ කිතුණුවන් "හලෙලූයා" යන්න අර්ථ විරහිතව පවසන විට ස්වාමින් වහන්සේගේ නාමය නිෂ්ඵල ලෙස භාවිතා කරන බවයි. මම බොහෝ විට ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන විට එය කියමි, නමුත් සෑම අවස්ථාවකම එය අර්ථවත් ලෙස කීමට මම උත්සාහ කරමි. මම එම වචනය භාවිතා කිරීමට විරුද්ධ නැත, දෙවියන් වහන්සේ ද විරුද්ධ නැත, නමුත් එය අර්ථවත් විය යුතුය, අර්ථ විරහිත පුනරාවර්තනයකට නොවේ.
කිතුණුවන් මෙවැනි සරල ආඥාවක් බැරෑරුම් ලෙස නොසලකන ආකාරය ඔබට පෙනෙනවාද? යේසුස් වහන්සේ පැවසුවේ කිතුණුවන්-නොවන අය ජප කරනවාක්මෙන් අර්ථ විරහිත ලෙස යමක් පුනරුච්චාරණය කරන බවත් එය අපගේ ජීවිතයේ සත්‍ය නොවිය යුතු බවත්ය. අප දෙවියන් වහන්සේට ගරු කළ යුතු අතර අප අදහස් කරන දේ පැවසිය යුතුය. ඔබට ‘ලංකාවේ රජෙකු හෝ ජනාධිපති හෝ අගමැති ඉදිරියට ගොස් ඔබ පවසන්නේ කුමක්දැයි වත් නොදැන යමක් නැවත නැවත පැවසිය නොහැක. අපට දෙවියන් වහන්සේ කෙරෙහි වැඩි ගෞරවයක් තිබිය යුතුය. නිරර්ථකවූ වචන කියාගන කියාගන යෑමෙන් වළකින්න.
“තමුන්ගේ වචන රාශිය නිසා අසනු ලබන්නෝයයි සිතති” කියා යේසුස් වහන්සේ තවද පවසනසේක. එය බොහෝ අය යාච්ඤා කිරීමේදී කරන තවත් වරදකි. ඔවුන් සිතන්නේ ඔවුන් දිගු වේලාවක් යාච්ඤා කළහොත් දෙවියන් වහන්සේ නිසැකවම ඔවුන්ට සවන් දෙන බවයි. "මම පැය 3 ක් යාච්ඤා කළා, ඒ නිසා දෙවියන් වහන්සේ මට ඇහුම්කන් දෙයි." එය බොහෝ විකාරයකි, ක්‍රිස්තියානි නොවන අය සිතන්නේ එයයි - ඔවුන් දිගු කළක් යාච්ඤා කරන්නේ නම්, දෙවියන් වහන්සේ අනිවාර‍්‍යයෙන්ම ඔවුන්ට සවන් දෙනු ඇත. එය සත්‍ය නොවේ.
කර්මෙල් කන්දේදී බාල්ගේ අනාගතවක්තෘවරු පැය ගණනාවක් -- සමහරවිට පැය හයක් හෝ ඊට වැඩි කාලයක් -- යාච්ඤා කළ නමුත් කිසිවක් සිදු නොවුණි. එලියා නැඟිට විනාඩි භාගයක් යාච්ඤා කළ අතර ගින්න පතිත විය. ස්වාමීන් වහන්සේට සවන් දීමට සළස්වන්නේ යාච්ඤාවක දිග නොවේ. එය තේරුම් ගැනීම ඉතා වැදගත් වේ.
සර්ව රාත්‍රියම යාච්ඤා කරන නිසා අසනු ලබන්නෝ යැයි බොහෝ අය සිතති. "හොඳයි මම මුළු රාත්‍රිය පුරාම යාච්ඤා කළා, ඒ නිසා දෙවියන් වහන්සේ මගේ යාච්ඤාවට පිළිතුරු දෙනු ඇත." එසේ කීවේ කවුද? යාච්ඤාවට පිළිතුරක් ගෙන එන්නේ ඇදහිල්ල සහ පාපයෙන් නිදහස් වූ හදවතක් ඇතිව සිටීමයි. වැදගත්ම දේවල් ඒවාය. ගීතාවලිය 66: 18 හි පවසන්නේ “අයුතු කම් කිරීමේ අභිලාෂයක් මගේ සිතේ ඇත්නම්, ස්වාමින්වහන්සේ මාගේ බස් නාසනසේක” කියායි.
ඔබ මුළු රාත්‍රිය පුරාම යාච්ඤා කළත් කමක් නැත, ඔබේ යාච්ඤාව කෙතරම් අපූරුද යන්න වැදගත් නොවේ. විසඳා නොගත් පාපය තිබේ නම්, ඔබේ හදවතේ පාපොච්චාරණය නොකළ පාපය තිබේ නම්, ඔබ සහ ඔබේ සහෝදරයා අතර සම්බන්ධතාවය වැරදි නම්, ඔබ යමෙකුට රිදවා ඔබ දෙවියන් වහන්සේට පැමිණ යාච්ඤා කළහොත්, දෙවියන් වහන්සේ ඔබේ යාච්ඤාව අසන්නේ නැත. ගොස් ඔබේ සහෝදරයා සමඟ ඒ ප්‍රශ්ණය විසඳගන්න. ඔබ සහ දෙවියන් වහන්සේ අතර හෝ ඔබ සහ ඔබේ සහෝදරයා අතර පාපොච්චාරණය කර විසඳා නොගත් පාපයක් තිබේ නම්, ඔබ විනාඩි 1 ක් හෝ පැය 10 ක් යාච්ඤා කළත්, ඔබ යාච්ඤා කිරීමට ගතකරන කාලය නාස්ති කරන බව ඔබට සම්පූර්ණයෙන්ම සහතික විය හැකිය.