WFTW Body: 

දෙවියන් වහන්සේගෙන් අනුග්‍රහය නොලබා කිසිවකුට අලුත් ගිවිසුමේ ආඥා පිළිපැදිය නොහැක. සමහරුන්ට දස පනතේ ඇති ආඥා දහයෙන් පළමු නවය සමහරවිට අනුග්‍රහයකින් තොරව පිළිපැදිය හැකිය. නමුත් දසවන ආඥාව - "ඔබේ නොවන දේට කිසිවිටෙක ආශා නොකරන්න" - දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නොමැතිව කිසිවෙකුට එය පැවැත්විය නොහැක. එමෙන්ම අනුග්‍රහයෙන් තොරව කිසිවකුට නව ගිවිසුමේ ජීවිතයේ උච්චතම අවස්ථාවට නැඟිය නොහැක (මතෙව් 5 සිට 7 දක්වා විස්තර කර ඇති පරිදි). එලෙසම දෙවියන් වහන්සේ උන්වහන්සේගේ අනුග්‍රහය ලබා දෙන්නේ යටහත් අයට පමණි ( 1 පේතෘස් 5:5 ).

 

  යටහත්කම යනු ඉතා පහසුවෙන් ව්‍යාජ ලෙස නිරූපණය කළ හැකි ගුණාංගයකි. සැබෑ යටහත්කම යන්න අන් අය අප තුළ දකින දෙයක් නොවේ. එය දෙවියන් වහන්සේ අප තුළ දකින දෙයයි  - එය අප අභ්‍යන්තරයෙහි දෙයකි. එය යේසුස් වහන්සේගේ ජීවිතයෙන් ආදර්ශවත් වේ. පිලිප්පි 2:5-8 අපට පවසන්නේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ලෙස තම වරප්‍රසාද සහ අයිතිවාසිකම් අත්හැර සේවකයෙකු වූ බවත්, මිනිසුන්ගේ අතින් කුරුසියේ ඇණ ගැසීම පවා පිළිගැනීමට කැමැත්තෙන් සිටි බවත්‍ ය. ඒ යටහත්කමේ මාවතේ අපි උන්වහන්සේව අනුගමනය කළ යුතු වෙමු.

යේසුස් වහන්සේ පියවර 3කින් යටහත් පහත් විය.

  1. උන්වහන්සේ මිනිසෙකු බවට පත් විය.
  2. උන්වහන්සේ සේවකයෙකු බවට පත් විය.
  3. කුරුසියේදී, උන්වහන්සේ අපරාධකරුවෙකු ලෙස සැලකීමට කැමති විය.

 

එහිදී අපි කිතුනු ජීවිතයේ රහස් තුන දකිමු: යටහත්කම, යටහත්කම සහ යටහත්කම.

 

 

යේසුස් වහන්සේ වසර 33ක් මිහිපිට ජීවත් වූ විටදී, උන්වහන්සේ ඉතා යටහත්ව අන් අයට සේවය කරන ආකාරයත්, දුක් වේදනා, අපහාස සහ තුවාල ඉවසීමෙන් විඳදරාගන්නා ආකාරයත් දුටු දේවදූතයන් පුදුමයෙන් බලා සිටින්නට ඇත. ඔවුන් වසර ගණනාවක් ස්වර්ගයේ උන්වහන්සේට නමස්කාර කිරීමට පුරුදු වී තිබුණි. නමුත් ඔවුන් පොළොවේ උන්වහන්සේගේ හැසිරීම දුටු විට, ඔවුන් දෙවියන් වහන්සේගේ ස්වභාවය ගැන  යේසුස් වහන්සේ ස්වර්ගයේ සිටියදී  ඔවුන් කිසි දිනක දැක නැති හෝ තේරුම් ගෙන නොතිබූ තවත් දෙයක් - උන්වහන්සේගේ යටහත් පහත්කම ගැන - ඉගෙන ගත්හ. දැන් දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ එම ආත්මයම ස්වර්ගයේ සිටින දේවදූතයන්ට සභාවෙහි සිටින අප හරහා පෙන්වීමටයි ( එපීස 3:10 හි පවසන පරිදි). දේවදූතයන් අප තුළ සහ අපගේ හැසිරීම තුළ දැන් දකින්නේ කුමක්ද? අපේ හැසිරීම දෙවියන් වහන්සේට ගෞරවය ගෙන දෙනවාද?

 

යටහත්කම සියල්ලටම වඩා උතුම්ම ගුණය බව මතක තබා ගන්න. අප කුමණ ආකාරයේ සිටින අයවලුන්ද සහ අපට ඇති සියල්ල දෙවියන් වහන්සේගේ දීමනා බව යටහත්කම පිළිගන්නේය. යටහත්කම අපව සියලුම මිනිසුන්ව, විශේෂයෙන් දුර්වල, අසංස්කෘතික, පසුගාමී සහ දුප්පතුන් යන සියල්ලන්ම අගය කිරීමට හා උතුම් ලෙස සැලකීමට සලස්වයි. එම යටහත් වූ පසෙහි පමණක් ආත්මයේ ඵල සහ ක්‍රිස්තුස් වහන්සේගේ ගුණ වර්ධනය විය හැක. එබැවින් උසස් සිතිවිලිවල හෝ ගෞරවය සෙවීමේ හෝ දෙවියන් වහන්සේට දිය යුතු මහිමය ලබා ගැනීමේ කිසිදු විෂක් කිසිවිටෙක ඔබේ හදවතට ඇතුළු නොවන බව සහතික කර ගැනීම සඳහා ඔබ ඔබ ගැනම නිරන්තර විනිශ්චයක ජීවත් විය යුතුය. යේසුස් වහන්සේගේ යටහත්කම ගැන ගොඩක් මෙනෙහි කරන්න. එය මා ඔබට කරන වැදගත්ම අනුශාසනාවයි.

 

යේසුස් වහන්සේ තම ගෝලයන් හැත්තෑදෙනාට පැවසුවේ, "ආත්මයන් ඔබට යටත් වීම ගැන ප්‍රීති නොවන්න, නමුත් ඔබගේ නම් ස්වර්ගයේ ලියා තිබීම ගැන ප්‍රීති වන්න" (ලූක්10:20). (අ) අප සිටින තත්ත්වය කුමක්ද; (ආ) අප විසින් කර ඇති දේ; හෝ (ඇ) අපට කළ හැකි දේ යන්න ගැන අප ප්‍රීති නොවිය යුතුය: නමුත් අපි ප්‍රීති විය යුත්තේ: (අ) ස්වාමින් වහන්සේ කවුද; (ආ) ස්වාමින් වහන්සේ කර ඇති දේ; සහ (ඇ) ස්වාමින් වහන්සේ කුමක් කරනු ඇත්ද? යන්න ගැනය. අපට කළ හැකි දේ ගැන අප ප්‍රීති වන විට, අප විසින්ම මහිමය ලබන අතර, එය අපව අනෙකුත් ඇදහිලිවන්තයන්ට වඩා උසස් බව පෙනේනුම් කරයි. මෙය පරිසිවාදයයි. එවිට අපි "අපගේ අත්වල ක්‍රියා ගැන ප්‍රීති වන්නෙමු" (ක්‍රියා 7:41) - එම කාර්‍යය යක්‍ෂයින් දුරු කිරීම, රෝගීන් සුව කිරීම, වචනය දේශනා කිරීම, ලිපියක් ලිවීම, ආගන්තුක සත්කාරය, හොඳින් ආහාර පිසීම, මෝටර් රථයක් හොඳින් පැදවීම වේවා, හෝ යම් භූමික කාර්‍යයක් විශිෂ්ට ආකාරයෙන් කිරීම යනාදිය., අපටම ගෞරවය ලබා ගැනීමට බොහෝ ක්‍රම තිබේ. නමුත් ඒ සියල්ල රූප වන්දනාවකි. කෙසේ වෙතත්, දෙවියන් වහන්සේ කර ඇති දේ ගැන පමණක් අපි ප්‍රීති වන විට, එය අපව යටහත්ව තබා ගන්නා අතර, අපි අනෙක් සියලුම ඇදහිලිවන්තයන් සමඟ සමාන මට්ටමක සිටින අතර, ඒ අනුව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගොඩනගා ගත හැකිය.

 

© -Zac Poonen – [email protected] කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදු නොකළ යුතුය.