WFTW Body: 

හෙබ්‍රෙව් 4:13 හි මෙසේ ලියා ඇත - “උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ නුවූ කිසි මැවිල්ලක් නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ, අපෙන් ගණන්ගන්නේ උන්වහන්සේය”.

මෙය සුන්දර වාක්‍ය ඛණ්ඩයකි: “අපෙන් ගණන්ගන්නේ උන්වහන්සේය”. එහි අර්ථය වන්නේ මුළු විශ්වයේම, මනුෂ්‍යයන් වශයෙන් අපට ගණන් දීමට ඇත්තේ එකම එක පුද්ගලයකුට බවයි, අප උත්තර දිය යුත්තේ එක් පුද්ගලයෙකුට පමණි - දෙවියන්වහන්සේට පමණි. ඔබ මෙය වටහා ගෙන ඔබේ ජීවිතය ගත කරන්නේ නම් ඔබ වඩ වඩාත් දේවභක්තිකයෙකු බවට පත්වනු ඇත. නමුත් ඔබ සැමවිටම සිතන්නේ අන් අය ඔබ ගැන දරන මතය ගැන නම් ඔබ ඔවුන්ගේ වහලෙකු බවට පත්වනු ඇත.

ඔබට දෙවියන් වහන්සේගේ සේවකයෙකු වීමට අවශ්‍ය නම්, “ඔබ ගණන්දිය යුත්තේ දෙවියන් වහන්සේට පමණක්” බව සැමවිටම හඳුනා ගන්න. දසදහසක් මිනිසුන්, "ඔබ දේවභක්තික පුද්ගලයෙකු" ලෙස හඳුන්වන නිසාම ඔබව දේවභක්තිකයෙකු බවට පත් නොවේ. එලෙසම දසදහසක් මිනිසුන්, "ඔබ දේවභක්තික පුද්ගලයෙකු නොවේය" කියා හඳුන්වන නිසාම ඔබ අභක්තිකයෙකු බවට පත් නොවේ.

මනුෂ්‍යයන්ගෙන් ලැබෙන සහතික නිෂ්ඵලය. එබැවින් ඒවා සියල්ලම කුණු බඳුනට දමන්න. ඔබේ පෞද්ගලික ජීවිතය, ඔබේ සිතුවිලි සහ මුදල් ගනුදෙනු ආදිය ගැන අනෙක් අය දන්නේ අල්ප වශයෙනි. ඔවුන් දන්නේ ඔබේ ජීවිතයෙන් 1% ක් පමණයි - එමනිසා ඔවුන්ගේ මතය පදනම් වන්නේ එම 1% දැනුම මත පමණි. එබැවින් ඔවුන්ගේ අදහස් නිෂ්ඵලය - ඒවා හොඳ හෝ නරක වේවා. හොඳ සහ නරක යන මතයන් දෙකම එක හා සමානව කුණු බඳුනට ගැලපේ. ඒවා එතනට විසි කරන්න. මා අවුරුදු ගණනාවක් තිස්සේ කර ඇත්තේ එයයි. මේ අනුව දෙවියන් වහන්සේට සේවය කිරීමට මාව නිදහස් වී තිබේ.

දෙවියන් වහන්සේට සේවය කිරීම සඳහා ඔබට නිදහස ලැබීමට අවශ්‍ය නම්, “ස්වාමීනි, මා ගණන්දිය යුත්තේ ඔබ වහන්සේට පමණි සෑම දිනකම මට ඔබවහන්සේ ඉදිරියේ පෙනී සිටීමට අවශ්‍යයි. ඔබ වහන්සේගේ ඇස්වලින් කිසිවක් සැඟවී නැත. මගේ ජීවිතයේ සෑම දෙයක්ම විවෘතව ඔබවහන්සේ ඉදිරියේ තබා ඇත. මා ආත්මික යැයි මිනිසුන්ව රැවටිය හැකි නමුත් මට ඔබවහන්සේව රැවටිය නොහැක” කියා පවසන්න. ඔබ එසේ ජීවත් වන්නේ නම්, ඔබේ ජීවිතය වඩා හොඳවීම පිණිස වෙනසක් පැමිණීම ඔබ දකිනු ඇත. මේ අනුව ඔබ නව ගිවිසුම් ජීවිතයට පිවිසීමට පටන් ගනී.