WFTW Body: 

යාකොබ් දෙවියන් වහන්සේ සමඟ සම්මුඛවීම් දෙකකට මුහුණ දුන්නේය - එකක් බෙතෙල්හි (උත්පත්ති 28) සහ අනෙක පෙනියෙල්හි ය (උත්පත්ති 32).

 

“දෙවියන් වහන්සේ අපව මුණගැසීමට පෙර අපව හුදකළා කළ යුතුය”.

බෙතෙල් යන්නෙහි තේරුම "දෙවියන් වහන්සේගේ ගෘහය" (සභාව යන්නට ආදර්ශයකි) සහ පෙනියෙල් යනු "දෙවියන් වහන්සේගේ මුහුණ" යන්නයි. අපි සියළු දෙනාම දෙවියන් වහන්සේගේ සභාවට ඇතුළු වීමෙන් ඔබ්බට ගොස් දෙවියන් වහන්සේගේ මුහුණ දැකීම දක්වා යා යුතුය. බෙතෙල්හි, "ඉර බැස ගියේය" යැයි පවසන්නේ ය (උත්පත්ති 28: 11) - එය භූගෝලීය කරුණක් පමණක් වුවත්, යාකොබ්ගේ ජීවිතයේ සිදුවෙමින් පවතින දේ ද ඇඟවුම් කරයි, මන්ද ඊළඟ වසර 20 ඔහුට ගැඹුරු අන්ධකාරයේ කාල පරිච්ඡේදයක් විය. ඉන්පසු පෙනියෙල්හි, "හිරු උදාවිය” යැයි පවසන්නේ ය(උත්පත්ති 32: 31) - නැවතත් භූගෝලීය කරුණකි, නමුත් යාකොබ් ද අවසානයේ දෙවියන් වහන්සේගේ ආලෝකයට පැමිණ ඇත.

බෙතෙල්හිදී යාකොබ් පොළොවේ සිට ස්වර්ගය දක්වා ඉහළට නැඟුණු ඉණිමඟක් සිහිනෙන් දුටුවේය. යොහන් 1: 51 හි, යේසුස් වහන්සේ එම ඉණිමඟ තමන්වහන්සේ ගැන පවසන්නේ යැයි එහි අර්ථය පහදා දුන් සේක - පොළොවේ සිට ස්වර්ගයට යන මාර්ගය බව. ඉතින් යාකොබ් දැක්කේ ඇත්තටම යේසුස් වහන්සේ ස්වර්ගයට යන මාර්ගය විවෘත කරන අනාවැකිමය දර්ශනයකි. ස්වාමින් වහන්සේ එම සිහිනයෙන් යාකොබ්ට බොහෝ දේ පොරොන්දු විය. නමුත් යාකොබ් කොතරම් භූමික මණසකින් යුක්තද යත් ඔහුට සිතිය හැකි වූයේ භූමික ආරක්ෂාව, ශාරීරික සෞඛ්‍යය සහ මූල්‍ය සමෘද්ධිය ගැන පමණි. ඒ නිසා ඔහු දෙවියන් වහන්සේට කියා සිටියේ "ස්වාමීනි, මේ ගමනේදී ඔබවහන්සේ මට රැකවරණය දී මට ආහාර සහ ඇඳුම් ලබා දී මාව ආරක්ෂිතව ගෙදර ගෙන එන්නේ නම්, මම මගේ ආදායමෙන් 10% ක් ඔබට දෙන්නෙමි" කියා ය. යාකොබ් දෙවියන් වහන්සේට සැළකුවේ ඔහුව රැකබලා ගැනීමට සිටි මුරකරුවෙකුට මෙනි. දෙවියන් වහන්සේ එසේ කළහොත්, යාකොබ් උන්වහන්සේගේ වැටුප - ඔහුගේ ආදායමෙන් 10% ක් ගෙවනු ඇත!

අද බොහෝ ඇදහිළිවන්තයන් පවා දෙවියන් වහන්සේට සළකන්නේ එළෙසම ය. ඔවුන් උන්වහන්සේගෙන් බලාපොරොත්තු වන්නේ භෞතික සැප සම්පත් පමණි. තවද ස්වාමින් වහන්සේ ඔවුන්ට මේ දේවල් ලබා දෙන්නේ නම්, ඔවුන් සභා-රැස්වීම්වලට විශ්වාසවන්තව සහභාගි වන අතර ඔවුන්ගේ මුදල්වලින් කොටසක් ස්වාමීන් වහන්සේගේ වැඩ උදෙසා ලබා දෙයි. එවැනි ඇදහිළිවන්තයින් ඇත්ත වශයෙන්ම දෙවියන් වහන්සේ සමඟ ගනුදෙනු කරමින්, ඕනෑම ලෞකික ව්‍යාපාරිකයෙකු මෙන් තමන්ගේම පහසුව ළාභය අපේක්ෂා කරති.

යාකොබ් තම ජීවිතයේ අවුරුදු 20ක් ගත කළේ ලෞකික දේවල් අල්ලාගැනීමටය. ඔහු ලාබන්ගේ පවුලෙන් භාර‍්‍යයාවක් ඩැහැ ගැනීමට උත්සාහ කළ අතර ඔහුට දෙදෙනෙකු ලැබුණි! ඔහුට දෙදෙනෙකු අවශ්‍ය වුයේ නැත, නමුත් ඔහුට කෙසේ හෝ දෙදෙනෙකු ලැබුණි !! ඉන්පසු ඔහු ලාබන්ව රවටා ඔහුගේ බැටළුවන් ඩැහැ ගැනීමෙන් ඉතා ධනවත් මිනිසෙකු විය. ඔහු සතයක් නොමැතිව ලාබන්ගේ නිවසට ගිය නමුත් අවසානයේ ඔහු ඉතා ධනවත් මිනිසෙකු විය. අද බොහෝ ඇදහිළිවන්තයන් කරන්නාක් මෙන් - ඔහුගේ සමෘද්ධිය දෙවියන් වහන්සේගේ ආශීර්වාදයට ඔහු අරෝපණය කළ බවට කිසි සැකයක් නැත!! නමුත් "දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ" සැබෑ සලකුණ කුමක්ද? එය සමෘද්ධියද? නැත. එය ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට පරිවර්ථනය වීම යි. ඔබේ ජීවිතය තවමත් දෙවියන් වහන්සේට සහ මිනිසාට නිෂ්ඵල නම්, හොඳ රැකියාවක්, හොඳ නිවසක් සහ බොහෝ සැප පහසුකම් තිබීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? නමුත් දෙවියන් වහන්සේ යාකොබ් සමඟ ගනුදෙනු කර අවසන් කළේ නැත. උන්වහන්සේට ඔහුව දෙවන වරට මුණගැසුණේ පෙනියෙල්හිදීය.

මගේ සහෝදර සහෝදරියනි, මම ඔබට කියන්නට කැමතියි, ඔබගෙන් බොහෝ දෙනෙකුට දෙවියන් වහන්සේ සමඟ දෙවන සම්මුඛවීමක් අත්‍යවශ්‍ය බව - ඔබේ ජීවිතයේ, ඔබ ඉතාමත්ම පහත්ම මට්ටමට වැටුණු විට සිදුවන සම්මුඛවීමක් - එළෙසම දෙවියන් වහන්සේ ඔබව විනිශ්චය කර ඔබව නිරයට යවනවා වෙනුවට, උන්වහන්සේගේ ශුද්ධාත්මයෙන් ඔබව පුරවන සම්මුඛවීමක්!

තමා හමුවීමට ඒසව් (අවුරුදු 20කට පෙර තමා, කුළුඳුල්කම වංචා කළ තැනැත්තා) යාකොබ් බියට පත් වූ බව උත්පත්ති 32 හි අපි කියවන්නෙමු. ඒසව් ඔහුව මරා දමා විය කියා ඔහුට සහතික විය. අපව බිය ගන්වන යම් යම් තත්වයන්ට මුහුණ දීමට දෙවියන් වහන්සේ අපට ඉඩ දෙන විට එය අපට හොඳ ය. මක්නිසාද යත්, මිනිසුන් අපට කුමක් කරයිද කියා අප බිය වන විට, අපි දෙවියන් වහන්සේට ළං වන්නෙමු. පෙනියෙල්හි යාකොබ් තනිව සිටියේය (උත්පත්ති 32: 24). දෙවියන් වහන්සේ අපව මුණගැසීමට පෙර අපව හුදකළා කළ යුතුය. බොහෝ ඇදහිළිවන්තයන්ට පවා දෙවියන් වහන්සේ සමඟ තනිව සිටීමට කාලය නොමැති තරම් (විශේෂයෙන් නගරවල) අද දවසේ ලෝකයේ ජීවිතය ඉතා ඉක්මන් හා කාර‍්‍යයබහුල වීමට සාතන් නියෝග කර ඇත්තේ එබැවිනි. ඔවුන්ගේ ජීවිත කෙතරම් කාර‍්‍යයබහුල වී තිබේද යත්, අඩු ප්‍රමුඛතා (දෙවියන් වහන්සේ වැනි) දේවල් ඔවුන්ගේ සම්පූර්ණයෙන්ම පිරී ගොස් ඇති කාලසටහන්වලින් ඈත් වී ඇත! අද කිතුණු ප්‍රජාවේ ඛේදවාචකය මෙයයි.

එදින රාත්‍රියේ දෙවියන් වහන්සේ යාකොබ් සමඟ බොහෝ පැය ගණනක් පොර බැදු නමුත් යාකොබ් යටත් වූයේ නැත. එම පොර බැදීම පෙර වසර 20 තුළ යාකොබ්ගේ ජීවිතයේ සිදුවෙමින් තිබුණ දේ සංකේතවත් කළේය. යාකොබ් මුරණ්ඩු බව දුටු දෙවියන් වහන්සේ අවසානයේ ඔහුගේ උකුල් ඇටය පන්නා දැමූ සේක. ඒ වන විට යාකොබ්ගේ වයස අවුරුදු 40ක් පමණ වූ අතර ඔහු ඉතා ශක්තිමත් මිනිසෙකි. ඔහුගේ සීයා ආබ්‍රහම් අවුරුදු 175 දක්වා ජීවත් වූවෙකි. එබැවින් අපට කිව හැක්කේ යාකොබ් ඔහුගේ ශේෂ්ඨතම තරුණ වියේ පසුවන බවත්, ඔහුගේ ජීවිතයෙන් 75% ක් තවත් ඔහුට ඉදිරියෙන් තිබෙන බවත්ය කියා ය. මෙතරම් තරුණ වයසේදී උකුල් ඇටය පැනීම ඔහු බළාපොරොත්තු වුන අන්තිම දෙය විය හැකිය - එය ඔහුගේ අනාගතය සඳහා ඔහු විසින් සකස් කර ඇති සියලු සැළසුම් බිඳ දැමීමට ඉඩ තිබුණි. අද කාලයේ හැටියට එය තේරුම් ගැනීමට නම්, වයස අවුරුදු 20 ක තරුණයෙකුට ඔහුගේ උකුළ විසන්ධි වී සදාකාලිකවම කිහිළිකරු භාවිතා කිරීමට සිදුවන්නාක් මෙන් ය!! එය දරන්න බැරි අත්දැකීමක් විය හැකිය. යාකොබ්ට ඔහුගේ ජීවිත කාලය පුරාම කිහිළිකරු නොමැතිව ගමන් කිරීමට නොහැකි වනු ඇත. දෙවියන් වහන්සේ යාකොබ්ව කැඩීමට බොහෝ ආකාරවලින් උත්සාහ කළ නමුත් උන්වහන්සේ සාර්ථක නොවූසේක. ඒ නිසා උන්වහන්සේ අවසානයේ ඔහුට ස්ථිර ශාරීරික ආබාධයක් ලබා දීමෙන්, යාකොබ්ව කඩා දැමීමට සමත් විය.

දෙවියන් වහන්සේ යාකොබ්ගේ උකුල් ඇටය විසන්ධි කළ පසු, උන්වහන්සේ ඔහුට පැවසුවේ, "හොඳයි, මම මගේ කාර‍්‍යය ඉටු කළා. දැන් මට යන්න දෙන්න. ඔබට මාව කවදාවත් අවශ්‍ය වුණේ නැත. ඔබට අවශ්‍ය වුණේ කාන්තාවන් සහ මුදල් පමණයි. නමුත් යාකොබ් දැන් දෙවියන් වහන්සේව අත්හරින්නේ නැත. ඔහුව වෙනස් වී ඇත - අවසානයේ! ස්ත්‍රීන් හා දේපළ උදුරා ගනිමින් ජීවිතය ගෙවූ මේ මිනිසා දැන් දෙවියන් වහන්සේ අල්ලාගෙන "ඔබවහන්සේ මට ආශීර්වාද නොකළහොත් මම ඔබට යන්න දෙන්නේ නැතැයි" කියා පවසයි. යාකොබ්ගේ උකුල් ඇටය විසන්ධි වූ විට ඔහුගේ හදවතේ කොතරම් විශාල කාර‍්‍යයක් ඉටු වූවාද, කිවහොත් ඔහු දැන් දෙවියන් වහන්සේව පමණක් ආශා කරන්නේ ය. පැරණි කියමනක් මෙන්, "ඔබට දෙවියන් හැර කිසිවක් ඉතිරි නොවූ විට, දෙවියන් වහන්සේ ඕනෑවටත් වඩා සෑහෙන බව ඔබට පෙනී යනු ඇත" !! ඒක සත්‍යයකි. අවසාන වශයෙන් යාකොබ් දෙවියන් වහන්සේගේ මුහුණ දුටු නිසා එම ස්ථානයට "පෙනියෙල්" යන නම තැබූ බව මෙහි සඳහන් වේ. බෙතෙල්හිදී, දෙවියන් වහන්සේගේ ගෘහය සමඟ ඔහු ඉතා සැළකිල්ලෙන් ඇළී ගැළී ගියේය. ඔබ වසර ගණනාවක් දෙවියන් වහන්සේගේ ගෘහයේ සිටි නමුත් ඔබ දෙවියන් වහන්සේගේ මුහුණ දැක නැතිවා විය හැකිය. එවිට ඔබට දෙවියන් වහන්සේ සමඟ දෙවන සම්මුඛවීමක් අත්‍යවශ්‍ය වේ - ඔබ උන්වහන්සේගේ මුහුණ දකින තැන. "දැන් මම ඔබවහන්සේගේ මුහුණ දකිමි, දෙවියනි, මාගේ ජීවිතය ආරක්ෂා වී ඇතැයි" යාකොබ් උද්වේගයෙන් පවස යි.