දේවවචනය පවසන්නේ, ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට ප්‍රේම කළ යුතු ආකාරය සඳහා ආදර්ශයක් ලෙස සභාව කෙරෙහි වූ යේසුස් වහන්සේගේ ප්‍රේමය දෙස බැලිය යුතු බවයි (එපීස 5:25). සියයට දහයක හෝ අවංකකමක් ඇති ඕනෑම ස්වාමිපුරුෂයෙක්, එම පදයට කීකරු වීමට මුළු ජීවිත කාලයක්ම ගතවන බව පිළිගනු ඇත. එයට ළඟා වූ එකම මිනිසෙක්වත් නැත. කණගාටුවට කරුණ නම්, ඇදහිලිවන්තයන්ගෙන් බහුතරයක් එයට ළඟා වීමට උත්සාහ කරන්නේවත් නැත. අප උත්සාහ කරන්නේවත් නැත්නම් අප කිසිදා එයට කීකරු වන්නේ නැත. බයිබලයේ “පරිපූර්ණත්‍වයට හඹා යන්න” කියා පවසන විට ඉන් අදහස් කරන්නේ එයයි. ස්වාමිපුරුෂයන්ට ඇත්තේ එකම යුතුකමකි: එනම් ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කළාක් මෙන් තම භාර්යාවන්ට ප්‍රේම කිරීමයි. ඔවුන් මේ ක්ෂේත්‍රයේ පරිපූර්නත්‍වය හඹා යා යුතු අතර, එවිට ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කර, ඇය පවිත්‍ර කරනු පිණිස ඇය උදෙසා තමන් වහන්සේවම පාවා දුන්නාක් මෙන්, සෑම වසරකදීම ඔවුන් තම භාර්යාවන්ට වඩාත් පූර්ණ ලෙස ප්‍රේම කරන බව පෙනෙනු ඇත.
ක්‍රිස්තුස් වහන්සේ සභාව තුළ අසාර්ථකත්වයක් දුටු විට, උන්වහන්සේ එම අසාර්ථකත්වය නිවැරදි කළේ කෙසේද? බොහෝ ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ගේ අසාර්ථකත්වයන් නිවැරදි කිරීමට උත්සාහ කරන්නේ, “ඔයා හරියට හැසිරෙන්නේ නැහැ,” වැනි දැඩි, රළු වචනවලින් හෝ වෙනත් එවැනිම වූ යක්ෂමය වචනවලිනි. යේසුස් වහන්සේ එසේ කළේ නැත. උන්වහන්සේට සභාව කැළලක් හෝ රැළි වැටීමක් හෝ එවැනි වෙන කිසිවක් නැතිව, ශුද්ධවූ, නිදොස්වූ සභාවක් කොට තමන් ඉදිරියෙහි තබාගන්නට අවශ්‍ය වූ විට, උන්වහන්සේ කළේ කුමක්ද? උන්වහන්සේ ඇය පවිත්‍ර කරනු පිණිස තමන්ගේ ජීවිතය පාවා දුන් සේක. ඔබ කවදා හෝ ඔබේ භාර්යාව වෙනුවෙන් එසේ කිරීමට සිතා තිබේද? ඒ දෙවියන් වහන්සේගේ මාර්ගයයි. මුළු මිනිස් සංහතියම උඩුයටිකුරු වී, ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරමින් සිටිති. ඔබ දෙවියන් වහන්සේගේ මාර්ගය අනුගමනය කරන්නේ නම්, ඔබේ විවාහය යහපත් තත්ත්වයේ සිට විශිෂ්ට තත්ත්වයක් දක්වා වර්ධනය වනු ඇත. ස්වාමිපුරුෂයෙකු ලෙස ඔබ ඔබේ භාර්යාව තුළ යම් වරදක් දකින විට, ඔබ යේසුස් වහන්සේව අනුගමනය කළ යුතුය. ඔබ අවට සිටින අනෙක් සියලුම මනුෂ්‍යයන් කරන දේ ඔබ නොකළ යුතුය.
අත්හැරීමට වඩාත්ම දුෂ්කර දෙය නම් අපගේ අහංකාරයයි - එනම් සිංහාසනය මත හිඳගෙන සිටින වැදගත් පුද්ගලයා වන “මම” යන අනන්‍යතාවයයි. සිංහාසනය මත හිඳගෙන සිටින රජු බලාපොරොත්තු වන ආකාරයට තම භාර්යාව දේවල් නොකරන විට ඔහු බෙහෙවින් අමනාප වී කෝපයට පත්වේ. ඇය පවිත්‍ර කරනු පිණිස අත්හැරිය යුත්තේ මේ ඔබේ ‘තම කම’ යි. අවාසනාවකට මෙන්, මේ මාර්ගයේ යාමට උනන්දුවක් දක්වන්නේ ස්වාමිපුරුෂයන් කිහිප දෙනෙකු පමණි. ඔබ මේ මාර්ගයේ නොයන්නේ නම්, ඇත්ත වශයෙන්ම ඔබේ විවාහය පහළටම ඇද වැටෙනු ඇත. නමුත් ඔබ ඇත්තටම මේ මාර්ගයේ යාමට උනන්දු වන්නේ නම්, ඔබ ඔබේ භාර්යාවට ප්‍රේම කිරීමට උත්සාහ කළ යුතු අතර එය බැරෑරුම් ලෙස ගත යුතුය. ප්‍රේමයේ අර්ථය ශබ්දකෝෂයකින් සොයන්න එපා. ඒ වෙනුවට ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශයෙන් ප්‍රේමයේ අර්ථය සොයන්න - එනම් ඔබේ සබඳතාවය තුළ ක්‍රිස්තුස් වහන්සේ කළාක් මෙන් මිය යාමට(ස්වකැමැත්තට) සූදානම් වීමයි. ස්වාමිපුරුෂයන් ලෙස අපගේ කැඳවීම මෙයයි.
යේසුස් වහන්සේ අපගේ නායකයාණන් වන නමුත්, ලෝකය නායකත්වය තේරුම් ගන්නා ආකාරයෙන් නොවේ. උන්වහන්සේගේ මෙලොව අවසාන දිනවලදී යේසුස් වහන්සේව අපට දැකගත හැක්කේ කොතැනදැයි ඔබ දන්නවාද? උන්වහන්සේගේ මනාලියගේ පාමුල, ඇගේ පාද සෝදමින් සිටියදීයි. වෙනත් වචනවලින් කිවහොත්, ස්වාමිපුරුෂයෙකු පූර්ණත්වයේ උච්චතම ස්ථානයට පැමිණ තිබේ නම්, ඔහු තම භාර්යාවගේ පාමුල, ඇගේ පාද සෝදමින්, ඇයට උපකාර කරමින් සහ ඇයව වෙන්කරගනු පිණිස ඇයව පවිත්‍ර කරමින් සිටිනු දැකිය හැක. ඇගේ පාද සේදීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එය නම් අපිරිසිදු වැඩ කිරීමයි. ඇත්ත වශයෙන්ම, එයින් අයුතු ප්‍රයෝජන ගෙන තම ස්වාමිපුරුෂයන්ට අණ දෙන මෝඩ භාර්යාවන්ද සිටිති. යේසුස් වහන්සේ මිනිසුන්ට පෑගී යාමට පාපිස්සක් නොවූ සේක, එසේ වූයේද? ස්වාමිපුරුෂයා තම භාර්යාවගේ පාද සේදිය යුතු අතර අපිරිසිදු වැඩ කළ යුතු යැයි අප පවසන විට සමහර කාන්තාවන් එය වැරදියට වටහා ගනී. එවිට ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් සියලු වර්ගයේ අමුතු, අපිරිසිදු වැඩ කරන සේවකයන් බවට පත්වේ. මා අදහස් කරන්නේ එය නොවේ. යේසුස් වහන්සේ පාවාඩයක් නොවූ සේක. ඔබ යේසුස් වහන්සේ තම ගෝලයන් සමඟ වාඩි වී සිටිනු දුටුවේ නම්, එහි නායකයා කවුද යන්න පිළිබඳව කිසිදු සැකයක් ඉතිරි නොවනු ඇත. එහි පැහැදිලි නායකත්වයක් තිබුණි. නායකයා පේතෘස් හෝ මතෙව් කියා ඔබ කිසිවිටෙකත් නොසිතනු ඇත. ස්වාමිපුරුෂයන් සතු විය යුතු ස්ථානයද එයයි. යේසුස් වහන්සේගෙන් අප ඉගෙන ගත යුත්තේ නායකයෙකු සහ සේවකයෙකු වීම අතර ඇති මෙම සියුම් සමතුලිතතාවයයි. එවැනි නායකත්වයක් සඳහා ඔබට ප්‍රඥාව අවශ්‍ය වන අතර, ඔබ යාච්ඤාවෙන් ඉල්ලා සිටියහොත් එය සැපයිය හැක්කේ සමිඳාණන් වහන්සේට පමණි.
යේසුස් වහන්සේ තම රැළට පෙරටුව යන එඬේරෙක්ය. උන්වහන්සේ පිටුපසින් සිට ඔවුන්ට පයින් ගසන්නේ නැත. යේසුස් වහන්සේ බොහෝ අවවාද අනුශාසනා දුන්නේ නැත. උන්වහන්සේ තම මනාලියට අනුගමනය කිරීම සඳහා ආදර්ශයක් වූ සේක. ස්වාමිපුරුෂයෙකු එලෙසයි විය යුත්තේ - යේසුස් වහන්සේ මෙන් ආදර්ශයක් - තම භාර්යාව මෙහෙයවන එඬේරෙක්. මගේ ආදරණීය සහෝදරයා, ඔබේ භාර්යාව පැකිළෙන විට, ‘දෙවියන් වහන්සේ මට භාර දී ඇති මගේ බැටළුවා වන මගේ භාර්යාව මම නිවැරදි මාර්ගයේ මෙහෙයවනවාද?’ කියා ඔබෙන්ම අසන්න. ඔබේ භාර්යාව පිටුපසින් තවත් කුඩා බැටළු පැටවුන් පැමිණෙනු ඇත - එනම් දරුවන්ය. ඒ සියල්ලන්ම එකම මිනිසෙකු, එනම් එඬේරා මත රඳා පවතී. ස්වාමිපුරුෂයාට ආත්ම දමනයක් නොමැති නම්, බැටළුවන් සහ බැටළු පැටවුන් නිසි ලෙස හැසිරේවි කියා ඔබ බලාපොරොත්තු වන්නේ කෙසේද? ඔහු බියෙන් සහ වෙව්ලීමෙන් යුතුව තමාගේම ගැළවීම සලසා නොගන්නේ නම්, සහ ඔහු යේසුස් වහන්සේව අනුගමනය නොකරන්නේ නම්, නිවස ගමන් කරන්නේ කුමන දිශාවටද? දෙවියන් වහන්සේ අදහස් කළ දේට ප්‍රතිවිරුද්ධ දිශාවටයි, මුළු මිනිස් සංහතියම මෙනි.
එබැවින්, විවාහයක් යහපත් තත්ත්වයේ සිට විශිෂ්ට තත්ත්වයක් දක්වා යාමට නම්, යේසුස් වහන්සේව අනුගමනය කිරීමේ මෙම කාරණය බැරෑරුම් ලෙස සලකන ස්වාමිපුරුෂයන් අපට අවශ්‍ය වේ. මෙය ඔහුගේ විනෝදාංශය, ඔහුගේ ජීවිත කාලීන ආශාව, ඔහුගේ පූර්ණ කාලීන කාර්යය පවා විය යුතුය - සභා රැස්වීමකදී පමණක් ඉඳහිට කරන දෙයක් නොවේ. මේ ආකාරයේ විවාහයක් අයිති වන්නේ ගෝලයන්ට මිස, මිය ගිය පසු ස්වර්ගයට යාමට පමණක් කැමති අයට නොවේ.