WFTW Body: 

එකල ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තෝ එකිනෙකා සමඟ කථාකරගත්තෝය. ස්වාමීන්වහන්සේද කන්දී ඇසූසේක. එවිට ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ , උන්වහන්සේගේ නාමය සැලකුවාවූ අය ගැන උන්වහන්සේ ඉදිරියෙහි සිහිවීමේ පොතක් ලියනලද්දේය. .......එකල ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේ ඇති වෙනස නුඹලා නැවත දකිනවා ඇත ( මලාකී 3:16-18 ).

ඉහත සඳහන් වාක්‍යයන් අපට මිනිසුන් දෙපිරිසක් ගැන පවසයි - ධර්මිෂ්ඨ සහ දුෂ්ටයන්. එහි සඳහන් වන්නේ දෙවියන් වහන්සේට සැබවින්ම භය වන සහ උන්වහන්සේගේ නාමයට ගරු කරන කිතුනුවන්ගේ නම් පමණක් අඩංගු “සිහිකිරීමේ පොතක්” දෙවියන් වහන්සේ සතුව ඇති බවයි. එමෙන්ම සැබෑ ධර්මිෂ්ඨයන් දුෂ්ටයන්ගෙන් වෙන්කර හඳුනාගනු ලබන්නේ එලෙස බව දෙවිඳුන් පවසනසේක.

මෙම වචන මතෙව් 23:25, 26 හි යේසුස් වහන්සේ පැවසූ දෙය සමඟ සම්බන්ධ කළ හැකිය. එහිදී උන්වහන්සේ පැවසුවේ, දුෂ්ඨ පරිසිවරු කුසලානයේ පිටත පමණක් පිරිසිදුව තබාගත් බවයි. සැබෑ ධර්මිෂ්ඨයෝ කුසලානයේ ඇතුළත මෙන්ම පිටතද පිරිසිදුව තබාගනිති. අප ධර්මිෂ්ඨයා, දුෂ්ටයාගෙන් වෙන්කර හඳුනා ගන්නේ එලෙසය.

දෙවියන් වහන්සේට සැබවින්ම භය වන ඇදහිලිවන්තයන් සැමවිටම දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔවුන්ගේ හදවත් පිරිසිදුව තබා ගන්නා අතර ඔවුන්ගේ ආලෝකය (ඔවුන්ගේ ජීවිතයේ බාහිර සාක්‍ෂිය) මිනිසුන් ඉදිරියේ බබළවයි. පාපයට එරෙහිව සැබෑ ජයග්‍රාහි ජීවිතයක් ගත කළ හැක්කේ තම අභ්‍යන්තර ජීවිතය සියල්ලටම වඩා අතිශයෙන් වැදගත් ලෙස සලකන කෙනෙකුට පමණි.

පවිත්‍ර හෘද සාක්‍ෂියක් තිබීම සහ පවිත්‍ර හදවතක් තිබීම අතරද විශාල වෙනසක් ඇත. පවිත්‍ර හෘද සාක්‍ෂියක් යනු දන්නා සියලු පාපවලින් නිදහස් වූ එකකි. නමුත් පවිත්‍ර හදවතක් යනු සියලු දන්නා පාපයෙන් නිදහස් වූවා පමණක් නොව, දෙවියන් වහන්සේ හැර අන් සියල්ල කෙරෙහි ඇලීමෙන් නිදහස් වූ එකකි. පවිත්‍ර හදවතක් ඇති තැනැත්තා දෙවියන් වහන්සේ පමණක් දකින අතර වෙන කිසිවක් හෝ අන් කිසිවකු නොවේ. “පවිත්‍ර සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝය, මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ දකින්නෝය” කියා යේසුස් වහන්සේ පැවසුසේක. පවිත්‍ර හදවත් ඇත්තෝ සෑම අවස්ථාවකදීම දෙවියන් වහන්සේ පමණක් දකියි ( මතෙව් 5:8 ). ඔවුන්ගේ මනස මිනිසුන් (හොඳ හෝ නරක) හෝ ඔවුන් මුහුණපාන වාතාවරණයන් (පහසු හෝ දුෂ්කර) සමඟ නියැළෙන්නේ නැත. ඔවුන් දෙවියන් වහන්සේ සමග පමණක්ම නියැලෙති.

තවත් කෙනෙකුට විරුද්ධව පැමිණිල්ලක් ඇති තැනැත්තා එයින් ඔප්පු කරන්නේ ඔහුගේ හදවත පවිත්‍ර නොවන බවයි, මන්ද ඔහු දෙවියන් වහන්සේ සමඟ පමණක් නොව ඔහු වෙනත් කෙනෙකු තුළ දකින නපුරේද නියැලී සිටින බැවිනි. ඔහුගේ හදවත පිරිසිදු නම්, ඔහු දෙවියන් වහන්සේ පමණක් දකිනු ඇත - ඇසුරු කිරීමට අපහසු මිනිසුන් විසින් නිර්මාණය කරන ලද දුෂ්කර තත්වයන් තුළදී පවා! එවැනි පුද්ගලයෙකු දෙවියන් වහන්සේ එම දුෂ්කර අවස්ථාවන්හිදී ක්‍රියා කරන්නේ, ඔහුගේ යහපත සඳහා පමණක් නොව ( රෝම 8:28 ) , දෙවියන් වහන්සේගේ මහිමය සඳහාද බව දකියි. එවිට ඔහු සෑම දෙයකටම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරයි.

ඔබේ හදවත සැබවින්ම පවිත්‍ර නම්, ලෝකයේ සිටින සියලුම මිනිසුන්ට සහ විශ්වයේ සිටින සියලුම යක්‍ෂ ආත්මයන් ට ඔබේ ජීවිතය සඳහා දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉටු වීමට බාධා කිරීමට නොහැකි වනු ඇත - මන්ද දෙවියන් වහන්සේ සෑම අවස්ථාවකදීම ඔබ වෙනුවෙන් ක්‍රියා කරයි. එවිට ඔබ සෑම තත්වයකදීම ජය ගන්නෙකු වනු ඇත - තවද ඔබගේ ජීවිතය සඳහා දෙවියන් වහන්සේගේ පරිපූර්ණ සැලැස්ම ඉටු කිරීමට ඔබට හැකි වනු ඇත.

බයිබලය පවසන්නේ, "වතුරෙහි මුහුණ මුහුණට සමානවාක් මෙන් මනුෂ්‍යයාගේ සිත මනුෂ්‍යයාට සමානය" ( හිතෝපදේශ 27:19 ). මෙම වාක්‍යයෙහි එක් අර්ථයක් වන්නේ, ඔබ අන් අය කරන සමහර දේවල් සඳහා නරක චේතනාවන් ආරෝපණය කරන විට, එය ඇත්ත වශයෙන්ම ඔබේ හදවතේ තත්වයම හෙළි කරන බවයි - මක්නිසාදයත් ඔබ උපකල්පනය කරන්නේ ඔවුන් එම දේවල් කරන්නේ, ඔබ එම දේම කළා නම් ඔබට ඇති නරක චේතනාවෙන් ම විය යුතු බවයි. නමුත් යේසුස් වහන්සේ අපට පැවසුවේ මිනිසුන්ව ඔවුන්ගේ ඵල (බාහිර ක්‍රියාවන්) මගින් පමණක් තක්සේරු කරන ලෙසයි ("ඔවුන්ගේ ඵලයෙන් ඔබ ඔවුන්ව දැනගනු ඇත" - මතෙව් 7:16 ) - නොහොත් ඔවුන්ගේ මූලයන් මගින් නොවේ (ඔවුන්ගේ චේතනාවන්, එය අපට නොපෙනේ!). අප නිරන්තරයෙන් අපවම පිරිසිදු කර ගනිමින් ජීවත් වන්නේ නම්, අප විනිශ්චය කරන්නේ අප ගැනම මිස අන් අයගේ චේතනාවන් නොවේ. එවිට අපට අපගේ හදවත් සැමවිටම පවිත්‍ර තබා ගැනීමට හැකි වනු ඇත. එවිට අපි නොරැවටෙන ලෙස දෙවියන් වහන්සේම අපට අන් අය ගැන ආත්ම විමසීමේ හැකියාව ලබා දෙනු ඇත. යේසුස්වහන්සේගේ හදවත සැමවිටම පවිත්‍රව තිබුණි, මන්ද උන්වහන්සේ කිසිවිටෙක කිසිවෙකු විනිශ්චය නොකළ බැවිනි ( යොහන් 8:15යොහන් 2:24,25 ).

අපගේ හදවත පවිත්‍ර තබා ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ උදාහරණයක් මෙන්න. ජුනිපර් සහෝදරයා 13 වැනි සියවසේ ඉතාලියේ ජීවත් වූ දේව භක්තික සහෝදරයෙකි. ඔහු සෑම විටම ඉතා සරල ඇඳුම් වලින් සැරසී සිටියේය. දිනක් ඔහු තමා සමග එකට ඉන්නාවූ සහෝදරයෙකු ඉතා මිල අධික ඇඳුම් වලින් සැරසී සිටිනු දුටුවේය. නමුත් ජුනිපර් ඒ සඳහා ඔහුව විනිශ්චය කළේ නැත. ඒ වෙනුවට ඔහු තමාටම කියාගත්තේ, “සමහරවිට ඒ මිල අධික ඇඳුම් යට, මගේ සහෝදරයාට, මේ සරල ඇඳුම් යට මට තිබෙන හදවතට වඩා යටහත් වූ හදවතක් තිබෙන්ට පුළුවන” කියාය. එවැනි පවිත්‍ර හා යටහත් වූ ආකල්පයකින් ඔහු තම සහෝදරයා විනිශ්චය කිරීමේ පාපයෙන් ආරක්‍ෂා විය. එය ඔහුගේ දේව භක්තියේ එක් රහසක් විය - එමෙන්ම එය අප සැමට අනුගමනය කිරීමට හොඳ ආදර්ශයකි. අපි සැමවිට එවන් අය වෙමු. ආමෙන්.