WFTW Body: 

ලෝකයේ උතුම්ම දෙය නම් දෙවියන් වහන්සේව දැන හැඳින ගැනීමයි. මක්නිසාද අපි දෙවියන් වහන්සේව දැන හඳුනන විට, අප මුහුණ දෙන සෑම  තත්වයකදීම කුමක් කළ යුතු දැයි අපි දනිමු. මුළු ලෝකයම අපට විරුද්ධ වුවද ජීවිතයට මුහුණ දීමට අපි නිර්භීත වනු ඇත, මක්නිසාද අප නොසෙල්වෙන  ස්ථිර ස්ථානයක පය ගසා ඇති බව දන්නා බැවිනි. දෙවියන් වහන්සේව දැන හඳුනා ගැනීමට කාලය ගත වන බැවින්, ඔබ තරුණ වියේදීම ආරම්භ කිරීම හොඳය. දෙවියන් වහන්සේව දැන හැඳින ගැනීම උදෙසා, ඔබ මේ ලෝකයේ සෑම දෙයක්ම සාපේක්ෂ වශයෙන් කුණු ලෙස සැළකීමට කැමති විය යුතුය. එනම් ලෞකික මිනිසුන් උතුම් යැයි සළකන දේවල් ඔබ කෙරෙහි ආකර්ෂණයක් ඔබට නොමැති වීම පමණක් නොව ඒවා  කුණු ලෙස දැකිය යුතු බවයි! පාවුලුතුමාට එය එසේ විය (පිලිප්පි 3: 8 බලන්න).   

 

අපි මේ ලෝකයේ මුදල් හෝ සතුට හෝ ගෞරවය හෝ ශ්‍රේෂ්ඨත්වය පසුපස හඹා ගියහොත්, සදාකාලිකත්වයේ පැහැදිලි ආලෝකයේ, අපගේ දෑත් කුණුවලින් පිරී ඇති බව අපට දිනක සොයා ගත හැකි වනු ඇත. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ධනය අප හිමිකර ගන්නා පිණිස නිතරම අපව කැඳවන විට, අපි අපගේ භූමික ජීවිතය කුණු මත එල්ලෙමින් ගත කළ බව එවිට අපට වැටහෙණු ඇත. එබැවින් ප්‍රඥාවන්ත වන්න - පොළොවේ ඇති දේ පමණක් භාවිතා කරන්න (අපට ඒවා මෙහි ජීවත් වීමට අවශ්‍ය බැවින්) නමුත් කිසිවිටෙකත් ඒ කිසිවක් සමඟ කුළුපඟු නොවන්න, නොඑසේනම්, ඔබ ඔබේ ජන්ම අයිතිය (උපත් උරුමය) කැඳ බඳුනකට විකුණනු නොඅනුමාන ය.

 

ඔබේ කිතුණු ජීවිතය ගැන ඔබ බලවත් ලෙස සලකන බව දෙවියන් වහන්සේ දුටුවහොත්, උන්වහන්සේ සමඟ ඔබේ සම්බන්ධථාවය ගැන ඔබ නොරැවටෙන පරිදි, ඔබේ ජීවිතයේ සෙලවිය හැකි සියල්ල උන්වහන්සේ සොළවනු ඇත. උන්වහන්සේ ඔබේ ආත්මයට ඊර්ෂ්‍යා කරයි. උන්වහන්සේට අවශ්‍ය ඔබ උන්වහන්සේව පුද්ගලිකව දැන හඳුනා ගැනීම මිස පොතකින් (බයිබලය) හෝ වෙනත් පුද්ගලයෙකු හරහා නොවේ.

 

දෙවියන් වහන්සේගේ ප්‍රේමය නිසා උන්වහන්සේට ප්‍රශංසා කරන්න, එය අපගේ සැබෑ තත්වය අපට පෙන්වයි, එවිට අපට අවශ්‍ය ඕනෑම දෙයක් දැන්ම නිවැරදි කර ගත හැක. අප පාපයට ද්වේෂ කර අපව පවිත්‍රව තබා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. නැත. අප යේසුස් වහන්සේ සමඟ ගැඹුරු පෞද්ගලික සබඳථාවයකට පැමිණිය යුතුය. එසේ නොවුවහොත් අප විසින්ම අපව පවිත්‍ර කර ගැනීම හුදෙක් 'සදාචාරාත්මක ස්වයං-වැඩිදියුණු කිරීමේ වැඩ සටහනක්' බවට පත්විය හැකිය. ස්වාමීන් වහන්සේ සමඟ සමීප සබඳථාවක් ගොඩනඟා ගැනීම සඳහා, පළමුවෙන්ම, ඔබ පාපයක් ගැන දැන ගන්නා විගසම එය ගැන වැළපීම සහ පාපොච්චාරණය කිරීමෙන් ඔබේ හෘද-සාක්ෂිය නිරවුල්ව තබා ගැනීමට ඔබ ඉතා සැළකිලිමත් විය යුතුය. ඉන්පසු ඔබ දිවා කාලයේ නිතර ස්වාමින් වහන්සේ සමඟ කථා කිරීමේ පුරුද්ද වර්ධනය කරගත යුතුය. ඔබ අවට ඇති සියල්ල යම් දවසක කඩා වැටී සුණු විසුණු වන විට ඔබට නැඟී සිටීමට හැකි වන්නේ මේ ඉහත සදහන් කරුණු තුළ රැදී සිටීම නිසාම ය.

 

මෙය මගේ ලොකුම ආශාවයි - ස්වාමීන් වහන්සේ දැන හැඳින ගැනීම, මන්ද මෙය පමණක් සදාකාල ජීවනය යි  (යොහාන් 17: 3). ඉන්දියාවේ සහ විදේශයන්හි ක්‍රිස්තියානි කණ්ඩායම් සහ දේවගැතිවරුන් විසින් විරුද්ධ වී අපහාස කරන විට, කුපිත නොවී සන්සුන්ව සමාදානයෙන්  සිටීමටත් සියල්ලටම වඩා ප්‍රේමයෙන් නැඟී සිටීමටත් මට උපකාර වී ඇත්තේ ස්වාමින් වහන්සේ පිළිබඳ මෙම දැනුම පමණි. ඔබ ස්වාමීන් වහන්සේව, ඒ ආකාරයෙන්ම - සහ මා දැන සිටියාට වඩා හොඳ ආකාරයකින්, දැනගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.  

©Zac Poonen – [email protected] කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදු නොකළයුතුය.