WFTW Body: 
Document

ස්වාමින් වහන්සේට සේවය කරන ඕනෑම අයෙක් සාතන්ගේ ප්‍රහාරවල ඉලක්කය වනු ඇත. අප දෙවියන් වහන්සේට ප්‍රයෝජනවත් වන තරමට සතුරාගේ ප්‍රහාරයට ලක් වනු ඇත. අපිට එය මඟහැරීමට නොහැක. සාතන් අපවාද, බොරු චෝදනා සහ ගොතන ලද කථා හරහා අපට පහර දෙනු ඇත. තවද ඔහු අපගේ භාර්යාවන්ට සහ අපගේ දරුවන්ටද පහර දෙනු ඇත.

යේසුස්වහන්සේගේ ජීවිත කාලය තුළ මිනිසුන් යේසුස් වහන්සේ ගැන කියපු නරක දේවල් සහ අදටත් ඔවුන් උන්වහන්සේ ගැන කියන දේවල් ගැන නිකමට සිතා බලන්න. ඔවුන් උන්වහන්සේව කෑදරයෙකු සහ බේබද්දෙකු (ලූක් 7:34), පිස්සෙකු (මාර්ක් 3:21), යක්ෂාවේශ වූ (යොහන් 8:48) සහ භූතයන්ගේ පාලකයා (මතෙව් 12:24) ලෙස සහ එවැනි බොහෝ දුෂ්ට නම් වලින් හැඳින්වූහ. ඔවුන් පැවසුවේ උන්වහන්සේ බයිබලය සහ මෝසෙස් ඉගැන්වූ දෙයට පටහැනිව දේශනා කරන මිථ්‍යාදෘෂ්ටිකයෙකු බවයි (යොහන් 9:29). ස්වාමින් වහන්සේට සවන් දීම කෙරෙන් ඔවුන් මිනිසුන්ව එළවා දැමුවේ එලෙසය. නමුත් උන්වහන්සේ කිසිවිටෙකත් එවැනි අයට පිළිතුරු දීමට උත්සුක වූයේ නැත. උන්වහන්සේ කිසිවිටෙක පෞද්ගලික චෝදනාවකට පිළිතුරු දුන්නේ නැත. අපත් නොකළ යුතුය. යේසුස් වහන්සේ පිළිතුරු දුන්නේ මූලධර්ම ප්‍රශ්නවලට පමණි. අද මිනිස්සු අපේ ස්වාමීන් වහන්සේ ගැන අසභ්‍ය දේවල් පවා කියති. නමුත් දෙවියන් වහන්සේ ඔවුන්ව විනිශ්චය කිරීමට බැස එන්නේ නැත.

ඔවුන් පාවුල්ව හැඳින්වූයේ රැවටිලිකාරයෙකු සහ බොරු අනාගතවක්තෘවරයෙකු, සහ සෑම තැනකම නරක ලෙස කථා කරන ලද නිකායකට අයත් වූවෙකු ලෙසය (ක්‍රියා 24:14; 28:22). මෙසේ ඔවුන් පාවුල්ට සවන් දීමෙන් මිනිසුන්ව ඈත් කළහ.

ජෝන් වෙස්ලි, චාල්ස් ෆිනී, විලියම් බූත්, වොච්මන් නී සහ දෙවියන් සෑම සැබෑ අනාගතවක්තෘවරයෙකු සම්බන්‍දව‍ - සභා ඉතිහාසය පුරාවටම දෙවියන් වහන්සේගේ සෑම ශ්‍රේෂ්ඨ මිනිසෙකු සම්බන්‍ධව කතාව එයම විය.

යේසුස්වහන්සේ මෙන් වීම උදෙසා අපි එවැනි මිලක් ගෙවීමට සූදානම්ද? නැත්නම් අපි තවමත් මිනිසුන්ගේ ගෞරවය සොයනවාද?

අපව වරදවා වටහා ගැනීමට, වැරදි ලෙස විනිශ්චය කිරීමට, බොරු චෝදනා කිරීමට සහ ප්‍රසිද්ධියේ නින්දා කිරීමට ඉඩ දීමෙන් දෙවියන් වහන්සේ අපව බිඳ දමයි. එවැනි සෑම අවස්ථාවකදීම, අපට හිරිහැර කරන මිනිසුන් දැකීම අප ප්‍රතික්ෂේප කළ යුතුය. ඔවුන් අපගේ සහෝදරයන් හෝ අපගේ සතුරන් විය හැකිය. කමක් නැහැ. සෑම යුදාස් ඉස්කාරියොත්ගේම අත පිටුපසින්, අපගේ ස්වර්ගික පියාණන් අපට බීමට කෝප්පයක් ලබා දෙන සේක. එවැනි අවස්ථාවන්හිදී පියාණන්ගේ හස්තය අපි දුටුවහොත්, අපි කුසලානය කොතරම් කටුක හා වේදනාකාරී වුවත් සතුටින් පානය කරමු. නමුත් අපි යූදස් පමණක් දුටුවහොත්, අපි අපේ කඩුව (පේතෘස් කළාක් මෙන්) පිටතට ගෙන මිනිසුන්ගේ කන් (හෝ ඔවුන්ගේ කීර්තිය) හෝ වෙනත් ඕනෑම දෙයක් කපා දමන්නෙමු.

අපට පහර දෙන විට හෝ බොරු චෝදනා කරන විට, දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ අප උන්වහන්සේගේ බලවත් හස්තය යටතේ අපව යටහත් කර ගැනීමයි. අප එය මිනිසාගේ නොව දෙවියන්වහන්සේගේ හස්තය බව දුටු පසු අපට එය කිරීම පහසුය.

පසුගිය වසර කිහිපය තුළ, "ඇදහිලිවන්තයන්" මා සහ මගේ ඉගැන්වීම් ගැන නොයෙකුත් ආකාරයේ නපුරු දේ පවසනු මම අසා ඇත්තෙමි. ඒ වගේම මටත් මගේ පවුලේ අයටත් බොරු චෝදනා එල්ල කර මට විරුද්ධව ලිපි සහ පොත් පවා ලියා තිබේ. නමුත් ස්වාමින් වහන්සේ මට නිතරම පවසා ඇත්තේ ඒවාට පිළිතුරු නොදෙන ලෙසයි. ඒ නිසා මම නිහඬව සිටියෙමි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ස්වාමින් වහන්සේ මා තුළත් මගේ පවුලේ සාමාජිකයන් තුළත් පවිත්‍රකිරීමේ විශාල කාර්යයක් කර ඇත! දෙවියන් වහන්සේ නපුර අපගේ යහපත සඳහා ක්‍රියා කරවනසේක.

ලෝකරුවාවූ ඇලෙක්සැන්ඩර් ගැන පාවුල් තුමා පැවසූ පරිදි, අපගේ සතුරන්ට ඔවුන්ගේ ක්‍රියාවලට අනුව ස්වාමින් වහන්සේම යම් දිනක ප්‍රතිවිපාක දෙන සේක (2 තිමෝති 4:14). එබැවින් අපට එවැනි පළිගැනීමේ කාරණා ආරක්ෂාකාරීව උන්වහන්සේගේ හස්තයේ තැබිය හැකිය (රෝම 12:19).

සියලු කාරණා දෙවියන් වහන්සේට භාර දීම වඩාත් සුදුසුම දේය. උන්වහන්සේ කරන්නේ කුමක්දැයි උන්වහන්සේ දන්නා අතර උන්වහන්සේ සෑම දෙයක්ම උන්වහන්සේගේ පාලනයට යටත් කර ඇත. උන්වහන්සේ අප තුළ යේසුස් වහන්සේගේ ස්වරූපය නෙලීම පිණිස පර්වතයේ අනවශ්‍ය කොටස් කපාහරින සේක. පර්වතයේ සමහර කොටස් ඉතා දැඩි වන අතර එම කොටස් කැටයම් කිරීමට උන්වහන්සේට බොරු චෝදනා සහ පීඩා වැනි කටු භාවිතා කිරීමට සිදුවේ. අපි උන්වහන්සේගේ කැටයම් කිරීම් වලට යටත් වුවහොත්, අවසානයේදී අපි අධ්‍යාත්මික අධිකාරියක් සහිත ක්‍රිස්තුස්වහන්සේ මෙන් වෙනස්වූ මිනිසුන් බවට පත් වන්නෙමු.

යුදාස් ජේසුස් වහන්සේව පාවා දුන් විට, යේසුස් වහන්සේට ඔහුව "මිත්‍රයා" ලෙස ආමනත්‍රනය කළහැකි විය, මන්ද උන්වහන්සේ තම පියාගේ හස්තය පැහැදිලිව දුටු බැවිනි. අපගේ සියලු තත්වයන් තුළ දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍යය අප දකින්නේ නම්, අපවම යටපත් කිරීම පහසු වනු ඇත. එබැවින් නියමිත වේලාවේදී අපව උසස් කිරීම දෙවියන් වහන්සේට පහසු වනු ඇත. අපගේ උරහිස්වලින් පීඩනය ඉවත් කිරීමට සහ උන්වහන්සේගේ අධිකාරිය අපට ලබා දීමට සුදුසු කාලය දෙවියන් වහන්සේ දනී. එබැවින් අපි උන්වහන්සේ උදෙසා බලා සිටිමු. උන්වහන්සේ එනතුරු බලා සිටින කිසිවෙක් කිසිදා කලකිරීමට හෝ ලැජ්ජාවට පත් නොවනු ඇත (යෙසායා 49:23).