WFTW Body: 

අපි වසරක අවසානයට පැමිණෙන විට, තම ජීවිතයේ අතීතයේ යම් අවස්ථාවක දී දෙවියන් වහන්සේට විරුද්ධව පව් කර අසමත් වූ බැවින්, ඔවුන්ගේ ජීවිත සඳහා දෙවියන් වහන්සේගේ පරිපූර්ණ සැළැස්ම දැන් ඉටු කළ නොහැකි යැයි හැඟෙන බොහෝ සහෝදර සහෝදරියන් සිටිති.

“ඔබේ වැරදි හෝ අසමර්ථවීම් කුමක් වුවත්, ඔබට දෙවියන් වහන්සේ සමඟ නව ආරම්භයක් කළ හැකිය”.

මේ කාරණය සම්බන්ධයෙන් ශුද්ධ ලියවිල්ලේ පවසන්නේ කුමක්දැයි අපි බලමු, අපගේම අවබෝධය හෝ අපගේ තර්කාණුකූළ හැඟීම් මත රඳා නොසිටිමු. බයිබලය ආරම්භ වන ආකාරය මුලින්ම සැළකිල්ලට ගන්න. "ආරම්භයේදී දෙවියන් වහන්සේ ස්වර්ග හා පොළොව මැව්සේක" (උත්පත්ති 1: 1). දෙවියන් වහන්සේ ස්වර්ග හා පොළොව මැවූ විට ඒවා පරිපූර්ණව තිබිය යුතුය, මන්ද අසම්පූර්ණ හෝ පරිපූර්ණ (අවසන්) නොකළ කිසිවක් උන්වහන්සේගේ අතින් කිසිදා බිහිවිය නොහැක. නමුත් උන්වහන්සේ විසින් මවන ලද සමහර දේවදූතයන් වැටී ගිය අතර, මෙය යෙසායා 14: 11-15 සහ එසකියෙල් 28: 13-18 හි අපහට විස්තර කර ඇත. උත්පත්ති 1: 2 හි විස්තර කර ඇති "පාළුව, හිස් සහ අඳුරු" තත්වයට පෘථිවිය පැමිණියේ එවිටය. උත්පත්ති 1 හි ඉතිරි කොටස විස්තර කරන්නේ දෙවියන් වහන්සේ එම ව්‍යුහයක් නැති, හිස්, අඳුරු ස්කන්ධය මත ක්‍රියා කළ ආකාරය සහ එය "ඉතා යහපත්" බව උන්වහන්සේම ප්‍රකාශ කරන තරමට අළංකාර දෙයක් සෑදූ ආකාරයයි (උත්පත්ති 1: 31). අපි උත්පත්ති 1: 2, 3 හි කියවන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය පොළොව මත ගමන් කළ බවත්, දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනය කථා කළ බවත් ය - ඉතින් මෙම වෙනස ඇති කළේ මෙයයි. එයින් අද අපට දෙන පණිවිඩය කුමක්ද? මෙයයි, එනම් අප කෙතරම් අසමත් වී හෝ අපගේ ජීවිත අවුල් කර ගෙන ඇතත්, දෙවියන් වහන්සේට උන්වහන්සේගේ ආත්මය සහ වචනය කරණකොටගෙන අපගේ ජීවිතයෙන් තේජවත් දෙයක් තවමත් කළ හැකි බවය. දෙවියන් වහන්සේ ස්වර්ග හා පොළොව මැවූ විට උන්වහන්සේට ඒවා සඳහා පරිපූර්ණ සැළැස්මක් තිබුණි. නමුත් ලුසිෆර්ගේ (යක්ෂයාගේ) වැටී යාම නිසා මෙම සැළැස්ම පසෙකට දැමීමට සිදු විය. එසේ වුවද දෙවියන් වහන්සේ ස්වර්ග හා පොළොව ප්‍රතිනිර්මාණය කළ අතර එම අවුල්සහගත තත්ත්වයෙන් "ඉතා හොඳ" දෙයක් නැවත ගොඩ නැඟූ සේක.

ඊළඟට සිදු වූ දේ දැන් සලකා බලන්න. දෙවියන් වහන්සේ ආදම් සහ ඒව මවා නැවතත් මුළ සිටම ආරම්භ කළසේක. පැහැදිලි ලෙසම, යහපත හා අයහපත දැනගැනීමේ ගසෙන් අනුභව කිරීමෙන් ඔවුන්ගේ පව් කිරීම ඇතුළත් නොවන්නාවූ, පරිපූර්ණ සැළැස්මක් දෙවියන් වහන්සේට ඔවුන් සඳහාද තිබෙන්නට ඇත. නමුත් ඔවුන් තහනම් ගසෙන් කෑ අතර ඔවුන් සඳහා වූ දෙවියන් වහන්සේගේ මුල් සැළැස්ම කළකිරීමට පත් කළෝය - එම සැළැස්ම කුමක් වුවද. දෙවියන් වහන්සේගේ පරිපූර්ණ සැළැස්ම තවදුරටත් ඉටු කිරීමට ඔවුන්ට නොහැකි බව අපේ තර්කනය දැන් අපට කියනු ඇත. එහෙත්, දෙවියන් වහන්සේ ඔවුන්ව උයනේදී හමුවීමට පැමිණි විට, ඔවුන්ට දැන් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ඔවුන් උදෙසා උන්වහන්සේගේ දෙවන හොඳම දේ මත පමණක් ජීවත් විය යුතු බව උන්වහන්සේ ඔවුන්ට නොකියන බව අපට පෙණේ. නැත. ස්ත්‍රියගේ වංශය සර්පයාගේ හිස පොඩි කරන බවට උත්පත්ති 3: 15 හි උන්වහන්සේ ඔවුන්ට පොරොන්දු වන සේක. එය ක්‍රිස්තුස් වහන්සේ ලෝකයේ පව් උදෙසා මිය යාම සහ කල්වාරියේදී සාතන්ව ජය ගැනීම පිළිබඳ පොරොන්දුවක් විය.

දැන් මෙම කාරණය සලකා බලා ඔබට එය තර්කාණුකූළව සිතිය හැකිදැයි බලන්න. ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සදාකාලිකවම දෙවියන් වහන්සේගේ පරිපූර්ණ සැළැස්මේ කොටසක් බව අපි දනිමු. "ලෝකය පටන්ගැන්මේ සිට මරණ ලද බැටළුපැටවාණන්" (එළිදරව් 13: 8). එමෙන්ම ක්‍රිස්තුස් වහන්සේ මිය ගියේ ආදම් සහ ඒව පව් කර දෙවියන් වහන්සේ ඉදිරියේ අසමත් වූ නිසා පමණක් බව අපි දනිමු. එබැවින් තර්කාණුකූළව, ලෝකයේ පාප උදෙසා ක්‍රිස්තුස් වහන්සේව මරණයට යැවීමේ දෙවියන් වහන්සේගේ පරිපූර්ණ සැළැස්ම ඉටු වූයේ ආදම්ගේ අසමර්ථවීම නොතකා නොව, නමුත් ආදම්ගේ අසමර්ථවීම නිසාම බව අපට පැවසිය හැකිය! ආදම්ගේ පාපය නොවන්නට කල්වාරි කුරුසිය මත දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපට දැන ගන්නට නොලැබෙන්නමු.

එසේනම් බයිබලයේ ආරම්භක පිටුවලින් දෙවියන් වහන්සේ අපට ලබා දීමට උත්සාහ කරන පණිවිඩය කුමක්ද? මෙන්න මෙයයි, අසමර්ථ වූ මිනිසෙක් රැගෙන ඔහුගෙන් තේජාන්විත දෙයක් කිරීමටත්, තවමත් ඔහුගේ ජීවිතය සඳහා දෙවියන් වහන්සේගේ පරිපූර්ණ සැළැස්ම ඔහු තුළින් ඉටු කිරීමටත් උන්වහන්සේට හැකි බවයි. දෙවියන් වහන්සේ මිනිසාට දෙන පණිවිඩය එයයි - අප එය කිසිදා අමතක නොකළ යුතුය: නැවත නැවතත් අසමර්ථ වූ මිනිසෙකු රැගෙන, තවමත් ඔහුගේ පරිපූර්ණ සැළැස්ම ඉටු කිරීමට දෙවියන් වහන්සේට හැකිය - දෙවියන් වහන්සේගේ දෙවන හොඳම සැළැස්ම නොව දෙවියන් වහන්සේගේ හොඳම සැළැස්ම මය. මක්නිසාද යත්, අසමත්වීම පවා ඔහුට අමතක නොවන පාඩම් කිහිපයක් ඉගැන්වීමට දෙවියන් වහන්සේගේ පරිපූර්ණ සැළැස්මේ කොටසක් විය හැකි බැවිනි.

ඔබේ වැරදි හෝ අසමර්ථවීම් කුමක් වුවත්, ඔබට දෙවියන් වහන්සේ සමඟ නව ආරම්භයක් කළ හැකිය. දෙවියන් වහන්සේට තවමත් ඔබේ ජීවිතයෙන් මහිමාන්විත දෙයක් කළ හැකිය. එසේ නම්, අපි මේ දක්වා අපට කළ නොහැකි යැයි සිතූ දේවල් සඳහා ඉදිරි දිනවලදී උන්වහන්සේව විශ්වාස කරමින් "ඇදහිල්ලෙන් ශක්තිමත් වීමෙන් දෙවියන් වහන්සේට මහිමය දෙමු" (රෝම 4: 20). සියලුම මිනිසුන්ට - බාල මහළු අයට - ඔවුන් අතීතයේ කොතරම් අසමත් වුවද, ඔවුන් තම අසමත්වීම් පිළිගෙන, යටහත්වී සහ දෙවියන් වහන්සේව විශ්වාස කරන්නේ නම් පමණක්, බළාපොරොත්තු තබා ගත හැකිය, මේ අනුව, අප සියල්ලන්ටම අපගේ අසමර්ථවීම් වලින් ඉගෙන ගත හැකි අතර අපගේ ජීවිත සඳහා දෙවියන් වහන්සේගේ පරිපූර්ණ සැළැස්ම ඉටු කිරීමට ඉදිරියට යා හැකිය. ඉදිරි යුගවලදී, සම්පූර්ණ අසාර්ථක ජීවිතයක් ගත කළ අය සමඟ උන්වහන්සේට කළ හැකි දේ පිළිබඳ උදාහරණ ලෙස අපව අන් අයට පෙන්විය හැකිය.ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ අප කෙරෙහි ඇත්තාවූ කරුණාවන්තකම නිසා තමන්වහන්සේගේ අනුග්‍රහයේ ඉතා මහත් සම්පත” (එපීස 2:7) තුළින් උන්වහන්සේට අප තුළ කළ හැකි දේ ඒ දවසේදී පෙන්වා දෙනු ඇත. හලෙලූයා!