WFTW Body: 

ඇදහිල්ලෙන් තොරව ඔබට වෙනත් කුමක් තිබුණත් දෙවියන් වහන්සේව සතුටු කළ නොහැක ( හෙබ්‍රෙ. 11:6 ). උයනේදී ඒවගේ අසාර්ථකත්වය ඇදහිල්ලේ අසාර්ථකත්වය විය. ඒ ගසේ ආකර්ශණීය බවින් පරීක්‍ෂාවට පත්වන විට, ප්‍රේමණීය දෙවිකෙනෙකු ඇයට එය අනුභව කිරීම තහනම් කරන්නේ මන්දැයි ඇයට තේරුම් ගත නොහැකිවුවද, ඇය දෙවියන් වහන්සේගේ පරිපූර්ණ ආදරය හා ප්‍රඥාව කෙරෙහි පමණක් විශ්වාසය තැබුවා නම්, ඇය පව් නොකරන්නට තිබිණි. නමුත් සාතන් ඇයව දෙවියන්වහන්සේගේ ප්‍රේමය ගැන සැක කිරීමට සැලැස්වූ පසු ඇය ඉතා ඉක්මනින් වැටුණාය.

දෙවියන් වහන්සේ අපට ද තහනම් කර ඇති බොහෝ දේ ඇත, සහ උන්වහන්සේ අපට ලබා දීමට සුදුසු යැයි නොසිතන අපගේ බොහෝ යාච්ඤා ඇත. එවැනි අවස්ථාවලදී අප උන්වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමය හා ප්‍රඥාව කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. යේසුස් වහන්සේ කුරුසියේදී තමන්වහන්සේව අත්හරිනු ලැබූ අවස්ථාවේදී පවා පියාණන්වහන්සේව විශ්වාස කළසේක. “දෙවියන් වහන්ස, ඔබ මා අත්හැරියේ මන්දැ” යි උන්වහන්සේ පැවසුවේ නැත. උන්වහන්සේ පැවසුවේ, "මාගේ දෙවියනී.....", එයින් අදහස් වන්නේ, "ඔබ මාව අත්හැරියේ මන්දැයි මට තේරුම් ගත නොහැකිවුවද, ඔබ තවමත් මාගේ දෙවියන්ය". යේසුස්වහන්සේගේ ප්‍රශ්නයට ස්වර්ගයෙන් පිළිතුරක් නොලැබුණි. නමුත් උන්වහන්සේ විශ්වාසයෙන් මරණයට පත්වුණි “පියාණෙනි, මම මාගේ ආත්මය ඔබගේ හස්තයට භාරදෙමි”යි උන්වහන්සේ පැවසූසේක. අවසානය දක්වාම ඇදහිල්ල දරාගැණීම යනු එයයි.

සාතන් පේත්‍රැස්ව පොලන්නට යේසුස්වහන්සේගෙන් අවසර ඉල්ලූ බව යේසුස්වහන්සේ පේත්‍රැස්ට පැවසූ සේක. මෙය යෝබ්ව (පරණ ගිවිසුමේ) පොලන්නට සාතන් දෙවියන්ගෙන් අවසර ඉල්ලා සිටි ආකාරයට සමාන විය. දෙවියන් වහන්සේගේ අවසරයකින් තොරව අපට කිසිදෙයක් කරන්නට(අපව පරීක්‍ෂා කිරීමට පවා)සාතන්ට නොහැක. නමුත් පේතෘස්ව පොලන්නට යන විට, ඔහුගේ ඇදහිල්ල අසාර්ථක නොවන ලෙසට ඔහු වෙනුවෙන් යාඤා කරන බවට උන්වහන්සේ ඔහුට සහතික විය ( ලූක්.22:31, 32 ). වැදගත් වන්නේ එපමනයි. යේසුස් වහන්සේ අප පරීක්‍ෂාවට ලක් නොවන ලෙස හෝ අපගේ සුවය හෝ ධනය හෝ රැකියාව අසාර්ථක නොවන ලෙස යාඤා නොකරන අතර, අපගේ ඇදහිල්ල අසාර්ථක නොවන ලෙස පමණක් යාඤා කරන සේක.

එබැවින් යේසුස් වහන්සේගේ ඇස් හමුවේ ඇදහිල්ල අපගේ වැදගත්ම වස්තුවයි. අපට ඇදහිල්ල තිබේ නම්, පේත්‍රැස් මෙන්, අප දරුණු ලෙස අසාර්ථක වුවද, අප කිසි විටෙකත් අධෛර්‍යයට පත් නොවනු ඇත. අපි අපේ පාපයෙන් හැරී දෙවියන් වහන්සේට පාපොච්චාරණය කරන විට අපව හොඳින් පවිත්‍ර කරන බැටළු පැටවාගේ රුධිරය පිළිබඳ අපගේ සාක්‍ෂියේ වචනයෙන් අපි උඩ පනින්නෙමු (නැඟිටිනවා පමණක් නොව උඩ පනින්නෙමු) සහ සාතන්ව පරාජය කරන්නෙමු ( එළි. 12:11 ). අප යේසුස් වහන්සේගේ රුධිරයෙන් පවිත්‍ර වී ඇති බවත් දෙවියන් වහන්සේ අපගේ අතීත පාපයන් කිසිවක් තවදුරටත් මතක් නොකරන බවත්‍ අප සාතන්ට පැවසිය යුතුමය ( හෙබ්‍රෙ. 8:12 ). අපේ සිතිවිලි ඔහුට ඇසෙන්නේ නැති නිසා අපි එය සාතන්ට අපේ මුඛයෙන් පැවසිය යුතුයි. මෙසේ අපි ඌව පරාජය කරන්නෙමු, ඌ අපෙන් පලා යනු ඇත.

“මාගේ සතුර, මා ගැන ප්‍රීති නොවන්න, මම වැටුණත් මම නැඟිටිමි, මම අන්ධකාරයේ වාසය කළත්, ස්වාමින් වහන්සේ මට ආලෝකයකි, උන්වහන්සේ මා ආලෝකයට ගෙන එයි, එවිට මගේ සතුරා දකිනු ඇත,. ‘ඔබේ දෙවිවූ ස්වාසින්වහන්සේ කොහේදැ’යි මට කී තැනැත්තා ලැජ්ජාවට පත් වනු ඇත. එකල්හි ඔහු වීදිවල (අපගේ පාද යට) මඩ වගුර මෙන් පාගා දමනු ලබන්නේය.” ( මීකා7:8-10 ).

"ස්වාමීන්වහන්සේ මාගේ උපකාරකයාය. මම කිසිදාක (කිසිම මිනිසෙකුට හෝ යක්‍ෂයෙකුට හෝ තත්වයකට හෝ කිසිම දෙයකට) බිය නොවෙමියි අපි සෑම විටම නිර්භීතව පැවසිය යුතුමය, මක්නිසාදදෙවියන්වහන්සේ කිසිදා මා හැර නොයන බවටත් මා අත් නොහරින බවටත් පොරොන්දු වී ඇත" ( හෙබ්‍රෙ.13:6 ,5 ). එය අපගේ ඇදහිල්ලේ නිර්භීත ප්‍රකාශනයයි.