WFTW Body: 

පාවුල්තුමා 2 කොරින්ති 2:14 හි පවසන්නේ, "ක්‍රිස්තුස්වහන්සේ තුළ නිතරම අප ජයට පමුණුවන්නාවූ දෙවියන්වහන්සේට ස්තුති වේවා" යනුවෙනි. ජීවමාණ බයිබලය පරිවර්තනය කරන්නේ, "දෙවියන් වහන්සේට ස්තුති වේවා! මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ කළ දේ තුළින්, උන්වහන්සේ අප කෙරෙහි ජයග්‍රහණය කර ඇත". එබැවින් අපට ජයග්‍රාහී ලෙස ජීවත් වීමට දෙවියන්වහන්සේ අපගේ ජීවිතයේ සෑම අංශයකින්ම අපව ජය ගත යුතුය.

යම් දිනක සියළු දෙනා දණ නමා යේසුස්වහන්සේ ස්වාමින්වහන්සේ බව පිළිගනු ඇත(පිලිප්පි 2:10,11). නමුත් මේ දැන් ඔබගේ මාංශයේ සියළු ආශාවන්ගේ දණ හිස් නැමී යේසුස්වහන්සේ ස්වාමීන් බව පිළිගත යුතුය. ඔබව පාලනය කරන සියළු තෘෂ්ණාවන් දණනමා යේසුස්වහන්සේ ඔබගේ ශරීරයේ ස්වාමීන් බව පිළිගත යුතුය.

"ස්වාමින් වහන්සේගේ කඩුව හිස (උතුරින්) සිට පාදය (දකුණට) දක්වා සියලු මාංසයන්ට එරෙහිව නික්මෙනු ඇත, ස්වාමින් වහන්සේ තමන් වහන්සේගේ කඩුව ඊට එරෙහිව ඇද ඇති බව සියලු මාංසය දැනගන්නවා ඇත" (එසේකියෙල් 21:4,5).

දෙවියන් වහන්සේ ක්‍රියා කරන ඉලක්කය නම් "සියල්ලෙහි ප්‍රථම ස්ථානය යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ලැබීමයි" (කොලොස්සි 1:18). ඔබත් එය ඔබේ ඉලක්කය බවට පත් කර ගන්නේ නම්, එවිට ඔබට සෑම විටම දෙවියන් වහන්සේගේ උපකාරය - ඔබේ ජීවිතයේදී මෙන්ම උන්වහන්සේ වෙනුවෙන් සාක්‍ෂි දැරීමේදීද ලැබීම කෙරෙහි විශ්වාසය තබාගත හැක.

ඔබ ඔබේ කාලය හා මුදල් වැය කරන ආකාරය, ඔබ කියවන පොත්පත්, ඔබ සවන් දෙන සංගීතය, ඔබ නරඹන රූපවාහිනී වැඩසටහන්, ඔබ ඇසුරු කරන මිතුරන්, ඔබේ කතාව, ආදි සෑම දෙයකම පළමු ස්ථානය ක්‍රිස්තුස් වහන්සේට හිමි විය යුතුය. යේසුස් වහන්සේ සියල්ලන්ගේම ස්වාමියා කිරීම යන්නෙන් අදහස් කරන්නේ මෙයයි. සෑම අංශයකින්ම දෙවියන් වහන්සේ ඔබව ජයග්‍රහණය කර ඇති බව ඔබට පැවසිය හැක්කේ එවිට පමණි. මෙය එක් රැයකින් වියහැකි දෙයක් නොවෙයි. නමුත් මෙය ඔබේ දිගු කාලීන ඉලක්කයක් කරගෙන ඒ සඳහා දිගටම වැඩ කරන්න. එවිට ඔබ දවසින් දවස, වසරින් වසර එම ඉලක්කයට ළං වනු ඇත.

යේසුස් වහන්සේ ලෝකයේ පව් දරාගත්, දෙවියන් වහන්සේගේ, බැටළු පැටවාය. අපව දැන් කැඳවා ඇත්තේ, අන් අය අපට එරෙහිව කරන පාපයන් දරාගනිමින් "ඝාතනය සඳහාවූ බැටළුවන්” වීමටය (රෝම 8:36). මෝරියා කන්දෙහි මෙන් දර සහ ගින්දර (අපේ ජීවිතයේ මුහුණපාන්නාවූ තත්වයන්) සියල්ල සූදානම්ව ඇත. නමුත් ප්‍රශ්නය (ඊසාක් තම පියාගෙන් ඇසුවාක් මෙන්) "බැටළුවා කොහේද" (උත්පත්ති 22:7)? පිළිතුර වන්නේ "ඔබ බැටළුවා විය යුතුය" යන්නයි.

©Zac Poonen – [email protected] කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදු නොකළයුතුය.