WFTW Body: 

මෙළොව මෙතෙක් සිදු වූ ශ්‍රේෂ්ඨතම සටන ලෝකයේ කිසිදු ඉතිහාස පොතක ලියා නැත. එය සිදුවූයේ යේසුස් වහන්සේගේ මරණය කරණකොටගෙන මෙළොව අධිපතියා වූ සාතන්ව, කල්වාරියේදී පරාජය කළ අවස්ථාවේදීය.

ඔබේ මුළු ජීවිත කාලය පුරාවටම ඔබ කිසිවිටෙකත් අමතක නොකළ යුතු එක් පදයක් නම්හෙබ්‍රෙව් 2: 14 ,15. මෙම පදය ඔබ දැන ගැනීමට සාතන් කැමති නොවන බව මට විශ්වාසයි. තමාගේ පරාජය හෝ අසාර්ථකත්වය ගැන අසන්නට කිසිවෙකු කැමති නැති අතර සාතන්ද ඊට වෙනස් නොවේ. පදය මෙන්න: “ එහෙයින් දරුවන් ලේ හා මාංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සෙත් (යේසුස් වහන්සේ) එම ආකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වූසේක. එසේ කළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්‍ෂයාව මරණය (කල්වාරි කුරුසියෙහි මරණය) කරණකොටගෙන බල නැතිකොට , ජීවිතය මුළුල්ලෙහි මරණයට භයින් වහල්කමට යටත්ව සිටි සියල්ලන් නිදහස්කරන පිණිසය.” . යේසුස් වහන්සේ මැරුණ කළ උන්වහන්සේ යක්ෂයාව බල රහිත කළසේක. මන්ද? අපගේ ජීවිත කාලය පුරාවටම යක්ෂයා අප කෙරෙහි තැබූ භීතියේ බැඳීමෙන්, සහ අපි සාතන්ගෙන් සඳහටම නිදහස් වීම පිණිසය. ලෝකයේ මිනිසුන්ට ඇති භීතීකා වර්ග බොහෝය - අසනීපයට බිය, දරිද්‍රතාවයට බිය, අසාර්ථක වීමට බිය, මිනිසුන්ට බිය, අනාගතයට බිය යනාදිය. කෙසේ වෙතත් සියලු බිය අතරින් දරුණුම බිය නම් මරණයට ඇති බියයි. අනෙක් සෑම බියක්ම මරණ බියට වඩා පහත් ය. මරණයට ඇති බිය කෙනෙකුව මගපෙන්වන්නේ මරණයෙන් පසු කුමක් සිදුවේද යන බියටය. පාපයේ ජීවත්වන අය අවසානයේ නිරයට යන බව බයිබලය ඉතා පැහැදිළිව උගන්වයි - එය පසුතැවිලි නොවන අය සඳහා දෙවියන් වහන්සේ වෙන් කර ඇති ස්ථානයයි. මේ පොළොවේ යක්ෂයා විසින් මුළාකොට පව් කිරීමට යොමු කළාවූ අය සමඟ, යක්ෂයාද ගිනි විලෙහි සදා කාලය ගත කරන්නේ ය. යේසුස් වහන්සේ පොළොවට පැමිණියේ අපගේ පාපයේ දඬුවම උන්වහන්සේ වෙත ගෙන, ඒ සදාකාලික නිරයෙන් අපව ගළවා ගැනීම සඳහා ය. තවද උන්වහන්සේ නැවත කිසි දිනෙක අපට හානියක් කළ නොහැකි ලෙස අප කෙරෙහි වූ සාතන්ගේ බලය විනාශ කළසේක.

ඔබේ ජීවිත කාලය පුරාවටම ඔබ සැවොම මෙම එක සත්‍යය මතක තබා ගැනීම මට අවශ්‍යයි: දෙවියන් වහන්සේ සාතන්ට එරෙහිව සෑමවිටම ඔබේ පැත්තේ සිටියි. එය මට මහත් දිරිගැන්වීමක් සහ සැණසීමක් සහ ජයග්‍රහණයක් ගෙන දුන් එතරම් තේජාන්විත සත්‍යයක් වන අතර, සෑම තැනකටම ගොස් ලෝකයේ සෑම ඇදහිළිවන්තයෙකුටම ඒ ගැන පැවසීමට මම ප්‍රාර්ථනා කරමි. “දෙවියන් වහන්සේට යටත් වී, යක්ෂයාට විරුද්ධ වන්න, එවිට ඌ ඔබ වෙතින් පලා යනු ඇත” කියා බයිබලය පවසයි (යාකොබ් 4: 7). සාතන් සැමවිටම පලා යන නාමය යේසුස් වහන්සේගේ නාමයයි. බොහෝ කිතුණුවන්ගේ මණසෙහි ඇති පින්තූරය නම්, සාතන් ඔවුන් පසුපස පන්නන අතර ඔවුන් තම ජීවිත බේරා ගැනීමට ඌගෙන් දිවීමයි. නමුත් එය හරියටම බයිබලය උගන්වන දෙයට ප්‍රතිවිරුද්ධ දෙය යි. ඔබ සිතන්නේ කුමක් ද? සාතන් යේසුස් වහන්සේට බිය වූවාද නැද්ද? අපගේ ගැළවුම්කරුවාණන් ඉදිරියේ පෙනී සිටීමට සාතන් බිය වූ බව අපි කවුරුත් දනිමු. යේසුස් වහන්සේ ලෝකයේ ආලෝකය යි, එහෙයින් අන්ධකාරයේ අධිපතියාට උන්වහන්සේ ඉදිරියෙන් අතුරුදහන් වීමට සිදුවිය.

ඔබේ ජීවිතයේ ඕනෑම වේලාවක ඔබ දුෂ්කරථාවයකට මුහුණ දෙන්නේ නම් හෝ විසඳිය (දරාගත) නොහැකි යම් ගැටළුවකට මුහුණ දෙන විට, මිනිස් පිළිතුරක් පෙණෙන්නට නැති දෙයකට ඔබ මුහුණ දෙන විට, ස්වාමීන් වන යේසුස් වහන්සේගේ නාමය අමතන්න යැයි මට යෞවනයන්ට පැවසීමට අවශ්‍යය. “යේසුස් ස්වාමීන් වහන්ස, ඔබ යක්ෂයාට විරුද්ධව මාගේ පැත්තේය. දැන් මට උදව් කරන්න” යනුවෙන් උන්වහන්සේට කියන්න. ඉන්පසු සාතන් වෙත හැරී “සාතන්, යේසුස් වහන්සේගේ නාමයෙන් මම උඹට විරුද්ධ වෙමි"යි ඌට කියන්න. යේසුස් වහන්සේ, ඌව කුරුසියෙහි දී පරාජය කළ නිසා සාතන් වහාම ඔබ වෙතින් පලා යන බව මට කියන්නට අවශ්‍යයි. ඔබ දෙවියන් වහන්සේගේ ආලෝකයේ ගමන් කරමින් යේසුස් වහන්සේගේ නාමයෙන් ඌට විරුද්ධ වන විට සාතන් ට ඔබට විරුද්ධව බලයක් නොමැත.

ඌගේ පරාජය ගැන ඔබ දැනගන්නවාට සාතන් නිසැක ලෙසම අකමැති හෙයින් මෙතරම් කාලයක් ඔබ ඒ ගැන ඇසීමෙන් ඌ ඔබව වළක්වා ඇත. බොහෝ දේශකයන් විසින් ඌගේ පරාජය ගැන දේශනා කිරීමද ඌ නතර කර ඇත්තේ එබැවිනි.

ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් සාතන්ව, කුරුසියේ දී සදහටම පරාජය කරන ලද බව ඔබ සැවොම පැහැදිලිව දැන ගැනීම මට අවශ්‍යය. ඔබ නැවත කිසිවිටෙක සාතන්ට බිය විය යුතු නැත. ඌට ඔබට කරදර කළ නොහැක, ඔබට හානියක් කළ නොහැක. ඌ ඔබව පරීක්‍ෂා කරයි. ඌ ඔබට පහර දෙන්න බලයි. නමුත් ඔබ යටහත්වී, දෙවියන් වහන්සේට කීකරු වී සෑම විටම උන්වහන්සේගේ ආලෝකයේ ගමන් කරන්නේ නම්, ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය සැමවිටම ඔබව ඌ කෙරෙහි ජයග්‍රහණයට පත් කරනු ලබයි. අන්ධකාරයේ අධිපතියා වන සාතන්ට කිසි විටෙකත් ආලෝකයේ රාජ්‍යයට ඇතුළු විය නොහැක. බොහෝ ඇදහිළිවන්තයින් කෙරෙහි සාතන්ට බලය තිබේ නම්, එයට හේතුව ඔවුන් අන්ධකාරයේ ගමන් කිරීම, යම් රහසිගත පාපයක ජීවත් වීම, අන් අයට සමාව නොදීම, යමෙකුට ඊර්ෂ්‍යා කිරීම හෝ ඔවුන්ගේ ජීවිතයෙහි යම් ආත්මාර්ථකාමී අභිලාෂයක් අනුගමනය කිරීම යනාදිය නිසාය. එවිට සාතන්ට ඔවුන් කෙරෙහි බලය ලැබේ. එසේ නොමැතිනම් ඌට ඔවුන්ව ස්පර්ශ කළ නොහැක.

යම් දවසක යේසුස් වහන්සේ නැවත පැමිණ සාතන්ව පතුළක් නොමැති වළේ බැඳ තබන බවත්, යේසුස් වහන්සේ අවුරුදු දහසක් මේ පොළොවේ රජකම් කරන බවත් එළිදරව් පොතේ අපට පවසා ඇත ( එළිදරව් 20: 2,3 ). එම කාල පරිච්ඡේදයෙන් පසුව, සාතන් කෙටි කළක් නිදහස් කරනු ලබන්නේ, ඌ දිගු කාලයක් සිරගත කිරීමෙන් පසුවත් තවමත් වෙනස් වී නැති බව සැමට පෙන්වීමටය. ඉන්පසු ඌ පිටතට ගොස් පොළොවේ සිටින මිනිසුන්ව තව එක් අවසන් වතාවකට මුළා කරන්නේය. ස්වාමීන් වන යේසුස් වහන්සේගේ සාමයේ අවුරුදු දහස කාලය යටතේ පාලනය නිරික්ෂණය කිරීමෙන් පසුවද, ආදම්ගේ වංශය පවා, වෙනස් වී නැති බව පෙණෙනු ඇත. ඉන්පසු දෙවියන් වහන්සේ, සාතන්ව සදාකාලයටම ගිනි විලට හෙළීමේ විනිශ්චයට පමුණුවන සේක. සාතන්ට දණ නමා, පාපයේ ජීවත් වූ, දේවවචනයට කීකරු වෙනවාට වඩා ඌට කීකරු වූ සියල්ලෝ ද එම ගිනි විලට සාතන් සමඟ එකතු වෙති.

සාතන්ගේ පරාජය පිළිබ මෙම සුභ-ආරංචිය අප දේශනා කරන්නේ එබැවිනි. මේ අවස්ථාවේ ඇදහිළිවන්තයින්ට ඇසිය යුතු වැදගත්ම සත්‍යය එය විය හැකිය. නමුත් ඔබ පවිත්‍රව ගමන් නොකරන්නේ නම්, සාතන් කෙරෙහි ඔබට බලයක් නොමැති බව මතක තබා ගන්න.