WFTW Body: 

2 කොරින්ති 10: 5 හි ප්‍රේරිත පාවුල් “අපගේ චින්තනයේ ඇති බලකොටු” ගැන කථා කරයි. අපේ මාංසයේ ඇති තෘෂ්ණාවන්, අපිරිසිදු සිතුවිලි රටා සහ ආත්මාර්ථකාමී චින්තන රටාව, ශක්තිමත් බලකොටු මෙන් ගොඩනඟා ඇත. අපේ ආශාවන් තෘප්තිමත් කරමින් දවස පුරා ඔවුන් අපව ආත්මාර්ථකාමී ලෙස ජීවත් කරවයි. රාත්‍රියේදී, අප නිදා සිටින විට, මෙම බලකොටුවලින් අපිරිසිදු සිතුවිලි සිහින මෙන් එළියට එයි. අපි සදහටම මේ ආකාරයට ජීවත් විය යුතුය යන්න දෙවියන්ගේ කැමැත්තද? නැත, දෙවියන් වහන්සේගේ කැමැත්ත නම්, අපි සෑම සිතුවිල්ලක්ම ක්‍රිස්තුස් වහන්සේගේ කීකරුකම වෙත ගෙන ඒමය. දෙවියන් වහන්සේ අපට දී ඇති ආත්මික ආයුධවලින් අපට මෙම බලකොටු විනාශ කළ හැකිය. එම බලකොටුවල විනාශය සඳහා බලවත් වන, දේව වචනය එම මහා ආයුධවලින් එකකි ( 2 කොරි. 10: 4 ). මෙලෙස " සියලු සිතිවිලි ක්‍රිස්තුස් වහන්සේට කීකරු වීමට වහල් කරදීමට" අපට හැකි වන්නේ ය.


දෙවියන් වහන්සේගේ වචනයෙන් අපගේ මනස වඩ වඩාත් පුරවන විට, මෙම බලකොටු එකින් එක කඩා බිඳ දමනු ලබන බව අපට පෙනී යනු ඇත - තවද මෙම බලකොටු තුළ සිටින සොල්දාදුවන් (සිතුවිලි) ද විනාශ වේ. යෞවනයෙකු ලෙස මමත් ඔබ සියලු දෙනා මෙන්ම අපිරිසිදු සිතුවිලි සමඟ පොරබැදුවෙමි. මගේ තරුණ කාලයේ දී මට හමු වූ විසඳුම මෙයයි. මම දෙවියන් වහන්සේගේ වචනය කියවා, භාවනා කර, එයින් මගේ මනස පුරවා ගතිමි. අපේ මනස අපිරිසිදු වතුරෙන් පිරුණු බඳුනකට සමානය, මන්ද අප විසින් නැවත හැරීමට පෙර දිනවල අපිරිසිදු හා කුණු ගොඩක් එයට දමා ඇත්තෙමු. නමුත් අපි එම භාජනයට පිරිසිදු වතුර ජෝගුවක් වත් කළහොත් ක්‍රමයෙන් එම ජලය පිරී ඉතිරී යාමෙන් වතුරෙහි අපිරිසිදුභාවය අඩුවී යයි. මේ අනුව භාජනයේ ජලය වඩවඩාත් පැහැදිලි වේ. මෙයට බොහෝ කාලයක් ගතවනු ඇත. නමුත් දෙවියන් වහන්සේගේ වචනය වසර ගණනාවක් පුරා අපගේ මනසට වත් කිරීමෙන් අපගේ මනස සෙමෙන් පිරිසිදු කළ හැකිය. නමුත් ඉඳහිට නැවතත් අපි එම බඳුනට මඩ ටිකක් හැලුවොත් එවිට මේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වේ. අපගේ සෑම සිතුවිල්ලක්ම ක්‍රිස්තුස් වහන්සේගේ කීකරුකමට ගෙන ඒමට අපට අනුග්‍රහය ලබා දෙන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිය හැකිය.


2 කොරි. 11: 2, 3, “බැටළු පැටවාගේ විවාහය” දවසේදී එම කොරින්ති ක්‍රිස්තියානීන් පිරිසිදු කන්‍යාවක ලෙස ස්වාමින් වහන්සේට ඉදිරිපත් කිරීමට තමා කැමති ආකාරය ගැන පාවුල් තුමා කතා කරයි. ඒ නිසා, ඔවුන් මඟදී වෙන කිසිවෙකු සමඟ ආදරයෙන් බැඳී නොසිටින ලෙසට, ඔහු ඉතා ඊර්ෂ්‍යා කළේය. ඊසාක් වෙත ඉදිරිපත් කිරීම සඳහා රෙබෙකාව, දිගු ගමනක් (ඌර් ර් සිට කානාන් දක්වා කිලෝමීටර් 1500 ක් පමණ) රැගෙන ආවාවූ, ආබ්‍රහම්ගේ සේවක එලියේසර්ගේ කතාව සලකා බලන්න. එම ගමනේදී, කඩවසම් තරුණයන් පැමිණ රෙබෙකාගේ සෙනෙහස දිනා ගැනීමට උත්සාහ කර ඇත්නම්, එලියේසර් රෙබෙකාට අනතුරු අඟවනු ඇත, “මේ මිනිසුන්ට ආකර්ෂණය නොවන්න. මම ඔබව ඊසාක්ට පිරිසිදු කන්‍යාවක් ලෙස ඉදිරිපත් කළ යුතුයි. ” පාවුල්ට අවශ්‍ය වූයේ කොරින්තියේ සභාව යේසුස් වහන්සේ වෙනුවෙන් එම ආකාරයටම ආරක්‍ෂා කිරීමටයි. දෙවියන් වහන්සේගේ සෑම සේවකයෙකුටම තම රැළ වෙනුවෙන් තිබිය යුතු ශුද්ධවූ ඊර්ෂ්‍යාව මෙයයි. “ඔබව යේසුස් වහන්සේ වෙනුවෙන් වෙන් කර ඇත" යන්න ඔහු ඔවුන්ට පැවසිය යුතුයි. මුදල්, අනියම් ලිංගික සම්බන්ධතා හෝ ලෞකික ගෞරවය වෙත ආකර්ෂණය නොවන්න. “මේවා ඔබව ආකර්‍ෂණය කර ගැනීමට උත්සාහ කරනු ඇත. නමුත් ඔබ ඒවායේ නැගී ඒමට එරෙහිව සිට ඔබව පවිත්‍රව තබා ගත යුතුය”. එවිට පාවුල් තවදුරටත් මෙසේ පවසයි, “සාතන් ඒදන් උයනේදී ඒවට කළාක් මෙන්, ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති සරල හා නිර්මල භක්තියෙන් ඔබේ හදවත් ඉවතට ගන්නා පිණිස” ඔබලා වෙතට ද පැමිණෙනු ඇතැයි මම බිය වෙමි.


ඕනෑම කෙනෙකු පසුබටවන්නෙක් හෝ නොමඟ යන්නෙක් බවට පත් වන්නේ කවදාද? ඔවුන් යම් ව්‍යාජ ඉගැන්වීම් විශ්වාස කිරීමට පටන් ගත් විටද නැතහොත් ඔවුන් යම් ව්‍යාජ ලබ්ධියකට සම්බන්ධ වූ විටද? 2 කොරි. 11: 3 ට අනුව, ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අපගේ භක්තිය නැති වූ මොහොතේම අපි නොමඟ යන්නෙමු. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති භක්තිය නැති කරගත් සෑම ඇදහිලිවන්තයෙකුම දැනටමත් නොමඟ ගොස් ඇත. දෙවියන් වහන්සේගේ රැළේ එඬේරුන් ලෙස අපගේ කාර්‍යය වන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි භක්තියෙන් බැටළුවන් ආරක්‍ෂා කිරීමයි. කිතුනු ජීවිතයේ වඩාත් වැදගත්ම දේ එයයි. යක්‍ෂයා නිරන්තරයෙන් උත්සාහ කරන්නේ ඇදහිලිවන්තයන්ව යේසුස් වහන්සේට දැඩි ලෙස ප්‍රේම කිරීමෙන් නොමඟ යැවීමටයි. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති අපගේ දැඩි ප්‍රේමය අපට අහිමි වී ඇත්නම්, එවැන්ජලිස්ත සේවයේ හෝ ඉගැන්වීමේ හෝ ස්වාමින් වහන්සේ වෙනුවෙන් කරන වෙනත් ඕනෑම සේවාවක යෙදීමෙන් පලක් නැත. එපීසයේ දූතයාට හා සභාවට එරෙහිව ස්වාමීන් වහන්සේ කළ එකම පැමිණිල්ල මෙයයි ( එළිදරව් 2: 4 ).