WFTW Body: 

ආත්මික උඩඟුකම අප සියලු දෙනාම සෑමවිටම මුහුණ දෙන විශාල අනතුරකි - විශේෂයෙන්ම ස්වාමින් වහන්සේ අපගේ ශ්‍රමයට ආශීර්වාද කරන විට. අපි සැමවිටම "කිසිවෙකු" නොවන්නන් වන විට, අපි "යම් කෙනෙකු" වී ඇති බව සිතීම ඉතා පහසු ය. එවිට දෙවියන් වහන්සේම අපට විරුද්ධ වී අපට විරුද්ධව සටන් කරනු ඇත - මක්නිසාද දෙවියන් වහන්සේ සියලු උඬඟු මිනිසුන්ට, ඔවුන් කවුරුන් වුවද විරුද්ධ වේ. අප දීමණාවන්ගෙන් පූර්ණ වූ විට හෝ අපගේ පෞද්ගලික ජීවිතයේ සහ පවුල් ජීවිතයේ දේවල් හොඳින් සිදු වූ විට හෝ අපගේ සභාව වර්ධනය වන විට හෝ ද්‍රව්‍යමය වශයෙන් අප ධනවත් වූ විට, උඬඟුවීම ඉතා පහසුය. වෙනත් ඕනෑම පාපයකට වඩා අපගේ ආත්මික උඩඟුකම සහ ආත්මාර්ථකාමිත්වය ගැන අප ආලෝකය (අවබෝධය) ලබා ගත යුතුය. මේ දේවලදී අපිට අපිවම රවටාගැනීම ඉතා පහසුය. අපි ඇත්තටම ඉතා උඬඟු සහ ආත්මාර්ථකාමී වන විට අප ඉතා නිහතමානී සහ පරාර්ථකාමී බව අප සිතන්නට පුළුවන. සාතන් මහා රැවටිලිකාරයෙකි.

 

අපගේ සැබෑ තත්වය දැකීමට අපට හැකි ආත්මික උඬඟු කමේ සාක්ෂි කිහිපයක් මෙන්න: අමනාප වීම, කෝපයට පත් වීම, ලිංගිකව අපවිත්‍ර චින්තන රටා, වරද පිළිගැනීමට අකමැති වීම, සමාව අයැදීම ප්‍රමාද කිරීම, සභාවේ සිටින අපගේ සෙසු ඇදහිළිවන්තයින් සමඟ මිත්‍රත්වය යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද කිරීම. , ආදිය.

 

උඬඟු නායකයෙකු තම සභාවේ ඒකාධිපතියෙකු ලෙස හැසිරෙනු ඇති අතර ප්‍රධාන විධායක නිලධාරියෙකු තම සමාගම පවත්වාගෙන යන ආකාරයටම එය පවත්වාගෙන යනු ඇත. එවැනි මිනිසෙකුට කිසිදාක සභාව ශරීරයක් ලෙස ගොඩනඟා ගැනීමට නොහැකි වනු ඇත.

 

ආත්මික උඬඟුකම ශරීර ගඳ සහ මුඛයේ ගඳ වැනිය. අපටම එහි ගඳ දැනෙන්නට නොහැකි නමුත් අන් අයට එහි ගඳ දැනේ. නිදසුනක් වශයෙන්, වැඩිමහල්ලෙක් තම දේවසේවය ගැන පුරසාරම් දොඩන විට, ඔහුගෙන් පිටවන දුගඳ හමන ආත්මික උඬඟුකම ඔහුට නොතේරේ. නමුත් දේවභක්තික පුද්ගලයෙකුට ඔහු තුළ ඇති ආත්මික උඬඟුකම ඉක්මණින්ම දැනේ.

 

නායකයෙකු තුළ ඇති උඬඟු ආකල්පයක් ඔහුගේ සභාව බබිලෝනිය සභාවක් බවට පත් කරනු ඇත, අප දුටුලෙස නෙබුකද්නෙශර් තුළ තිබූ ආකල්පය මෙන් (දානියෙල් 4: 30), දෙවියන් වහන්සේ ඔහුව යටහත් කර වහාම ඔහුව ප්‍රතික්ෂේප කළසේක.

 

ආත්මික උඬඟුකම, වැඩිමහල් සහෝදරයින්ට සහ දෙවියන් වහන්සේම සාක්ෂි දැරූ අයට පවා ගෞරවයක් නොමැතිකම ඇති කරයි. එවැනි නායකයෙකු තම සභාවේ අන් අය තමාට යටත් වනු ඇතැයි අපේක්ෂා කරනු ඇත, නමුත් දෙවියන් වහන්සේ ඔහුට ඉහළින් තබා ඇති කිසිදු ආත්මික අධිකාරියකට යටත් වීමට ඔහු අකමැති වනු ඇත. මෙම ගෞරව කිරීම නැතිකම අන්තිම දවස්වල කිතුණුවන් අතර වැඩි වැඩියෙන් පැතිර යනු ඇත. වර්තමානයේ අප අවට සිටින බොහෝ දරුවන් සහ යෞවනයන් තුළ - ඔවුන් තමාට වඩා වැඩිමහල්, දේව භක්තික සහෝදරයින්ට කථා කරන ආකාරයෙන් අපි එය දකින්නෙමු.

 

දියොත්‍රෙපස් (3 යොහාන් 1: 9) සහ යොහාන් විසින් ලියන ලද සභාවල පසුබටවූ වැඩිමහල්ලන් පස්දෙනාගේ උදාහරණ (එළිදරව් 2 සහ 3) අප සැමට අනතුරු ඇඟවීමකි. අප කළින් සලකා බැලූ පරිදි, එම නායකයින් තමන්වම විනිශ්චය කර තිබුණානම්, දෙවියන් වහන්සේ ඔවුන්ගේ අසාර්ථකත්වය ඍජුවම තමන්වහන්සේ විසින්ම ඔවුනට පෙන්වන්නට තිබුණි. එවිට ප්‍රේරිත යොහාන් හරහා ඔවුන්ගේ අසාර්ථකත්වය පෙන්වා දීමට උන්වහන්සේට සිදු නොවනු ඇත.

 

අප අපවම විනිශ්චය කිරීම නැවැත්වූ විට, අපි ප්‍රවීණයන් මෙන් දේශනා කිරීමට පටන් ගන්නෙමු. තවද ස්වාමින් වහන්සේ අප සමඟ නොසිටිනු ඇත. එමනිසා, අපි සෑම දිනකම අපවම විනිශ්චය කළ යුතු අතර සෑමවිටම අප ගැන සහ අපගේ දේවසේවය ගැන කුඩා (සරළ) සිතුවිලි තුළ ජීවත් විය යුතුය. දෙවියන් වහන්සේ අපගේ ජීවිතයට සහ අපගේ ශ්‍රමයට සාක්ෂි දරන්නේ දැයි බැලීමට අප නිරන්තරයෙන් අපවම පරීක්ෂා කර බැලිය යුතුය (ගලාති 6: 4). එසේ නොවේ නම්, යම් දෙයක් බරපතල ලෙස වැරදී ඇත. මම සියලුම නායකයින්ට දෙන තුන් ගුණ අනුශාසනාවක් මෙන්න: 1. සෑමවිටම ඔබේ මුහුණ දූවිල්ලේ තබාගෙන (යටහත්වී) දෙවියන් වහන්සේට නමස්කාර කරන්නෙකු වන්න.2. ඔබ සාමාන්‍ය සහෝදරයෙක් පමණක් බව නිතරම මතක තබාගන්න.3. ඔබ උන්වහන්සේට බොහෝ සේ ප්‍රේම කරන බව සිතනවා වෙනුවට ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි දක්වන ප්‍රේමය ගැන නිතරම මෙණෙහි කරන්න. "ආත්මයෙන් දිළිදු" වීම යනු "ඔබවම නොවැදගත් අයෙකු ලෙස තක්සේරු කිරීම" (මතෙව් 5: 3 - විස්තාරණය කරන ලද බයිබලය) සහ පුද්ගලික, ආත්මික අවශ්‍යතා පිළිබඳ නිරන්තර හැඟීමකින් ජීවත් වීමයි.  

©Zac Poonen – [email protected] කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදු නොකළයුතුය.