WFTW Body: 

"දෙදෙනෙකුට, එක් අයෙකු මෙන් දෙගුණයකටත් වඩා වැඩි යමක් ඉටු කළ හැකිය, මන්ද එහි ප්‍රතිඵල වඩා හොඳ විය හැකිය. එක් අයෙකු වැටුණොත් අනෙකා ඔහුව ඉහළට ඇද ගනී; නමුත් මිනිසෙකු තනිව සිටියදී වැටුණහොත්, ඔහු කරදරයක වැටේ…… තවද තනිව සිටින කෙනෙකුට පහර දී පරාජය කළ හැකි නමුත් දෙදෙනෙකුට කරට-කර සිට ජය ගැනීමට පුළුවන; තුන්පොට ලණුවක් පහසුවෙන් නොකැඩෙන හෙයින් තුන් දෙනෙකු ඊටත් වඩා හොඳය" (දේශනාකාරයයා. 4: 9-12 – (ටී. එල්. බී. T.L.B පරිවර්ථනය). නිතරම රණ්ඩු වන තම දරුවන් තිදෙනාට මහළු ගොවියෙකු එකමුතුකම පිළිබඳ ප්‍රායෝගික නිදර්ශනයක් ඉගැන්වූ ආකාරය ආසොප්ගේ උපමාවල ඔබට මතක ඇති. දුර්වල කෝටු ගණනාවක් ගෙන ඔහු ඔවුන්ට පෙන්වූයේ එම කෝටු ඉතා පහසුවෙන් තනි තනිව කැඩිය හැකි ආකාරයත්, කෙසේ වෙතත් එම කෝටු ටිකම එකට එක්කර මිටියක් ලෙස තදින් බැඳ තැබූ විට ඒවා කිසිසේත් බිඳ දැමිය නොහැකි තරම් බව ය. එක්සත්කමේ සහ සහභාගිකමේ ශක්තියක් ඇති බව මේ ලෝකයේ දරුවන් පවා තේරුම් ගනී. බයිබලය පවසන්නේ, “පළඟැටියන්, කුඩා වුවත් අසාමාන්‍ය ලෙස ඥානවන්ත බවත්, ඔවුන්ට නායකයෙකු නොමැති වුවද, ඔවුන් රංචු පිටින් එකට සිටින බවත් ය (හිතෝපදේශ 30: 27- TLB අනුවාදය). එය තුළ ඔවුන්ගේ ආරක්ෂාව සහ බලය රැඳී ඇත. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සභාවෙහි අපි මෙම පාඩම නැවත ඉගෙන ගත යුතුවෙමු.

“සාතන්ට එරෙහිව සටනේදී ජයග්‍රහණය කරන බවට පොරොන්දු වී ඇත්තේ, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වන සභාවටය”.

අළුත් ගිවිසුමේ කථා කරන එකමුතුකම නම් ක්‍රිස්තුස් වහන්සේ හිසව සිටිමින් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ අවයවයන් (සාමාජිකයන්) එකිනෙකා සමඟ එකමුතු වීමයි - ගසක හෝ මනුෂ්‍යයෙකුගේ සැකිල්ලට තුඩු දෙන ආකාරයේ එකමුතුවක් මිස සංවිධාණාත්මක එකමුතුවක් නොවේ. ක්‍රිස්තියානි ලේබලය තිබුණත් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙන් පිටත සිටින අයව එයින් බැහැර කරයි. ජීවතුන් සහ මියගිය අය අතර එකමුතු කමක් තිබිය නොහැක. නව උත්පාදනය තුළින් ක්‍රිස්තුස් වහන්සේ තුළ ජීවතුන් අතර සිටින අයට ඔවුන්ගේ ආත්මික එකමුතුකම ලබා ගත හැක්කේ දෙවියන් වහන්සේ විසින්ම එලෙසම උත්පාදනය කළ අන් අය සමඟ පමණි. ක්‍රිස්තියානි එකමුතුකම ඇති කරන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් පමණක් වන අතර අපව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ අවයවයන් (සාමාජිකයන්) කරන්නේද උන්වහන්සේම පමණි. බයිබලය අපට අවවාද කරන්නේ “ආත්මයාණන් විසින් ගොඩනඟන ලද ආත්මික සමගිය හා ඒකීයභාවය ආරක්ෂා කිරීමට දැඩි ලෙස උත්සුක වන්න” කියාය (එපීස 4: 3 - Amplified බයිබල් අනුවාදය). මිනිසා විසින් ඇති කරන ලද ඕනෑම එකමුතුවක කිසිදු වටිනා කමක් නැත.

සාතන් කපටි සතුරෙක් වන අතර ක්‍රිස්තුස් වහන්සේගේ හා උන්වහන්සේගේ වචනයේ අධිකාරය යටතේ ජීවත් වන එක්සත් ක්‍රිස්තියානි සහභාගිත්වයක් පරාජය කළ නොහැකි බව ඌ තේරුම් ගනී. එබැවින්, සටන සඳහා වූ ඌගේ කෲඨ උපාය මාර්ගය නම්, සහභාගිත්වයේ සිටින්නාවූ සාමාජිකයින් අතර අසමගිය, සැකය හා වරදවා වටහාගැනීම් වැපිරීම ආරම්භ කිරීමයි. එමඟින් ඌට ඔවුන්ව තනි තනිවම අංශභාගයට පත් (අකර්මණ්‍ය) කළ හැකිය. යේසුස් වහන්සේ පැවසුවේ පාතාලයේ දොරටු වලට තම සභාව පරාජය කළ නොහැකි බවයි (මතෙව් 16:18). සාතන්ට එරෙහිව සටනේදී ජයග්‍රහණය කරන බවට පොරොන්දු වී ඇත්තේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වන සභාවටය. ඇදහිළිවන්තයෙකු සෙසු ඇදහිළිවන්තයන්ගෙන් හුදෙකලා වී සිටීමෙන් ඔහු පරාජයට පත්වන බව දැනගනී. සාතන්, ක්‍රිස්තුස් වහන්සේගේ පෘථිවියෙහි ජීවිත කාලය පුරාම ක්‍රිස්තුස් වහන්සේට නිතරම පහර දුන් නමුත් ඌට ජය ගැනීමට නොහැකි විය. අවසානයේ කුරුසයේ දී, මිනිසා කෙරෙහි සාතන්ගේ බලය ක්‍රිස්තුස් වහන්සේ විසින් සාතන්ගෙන් පහකරනා ලදි (හෙබ්‍රෙව් 2:14; කොලොස්සි 2:15). උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේට පහර දීමට අද සාතන්ට නොහැකිය. එබැවින් ඔහුගේ ප්‍රහාර එල්ල වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වන සභාව වෙතය. සාතන්ව ජයග්‍රහණය කළ හැක්කේ, අපේ ස්වාමීන් වහන්සේ හිසව සිටින්නා වූ ශරීරයක් වශයෙන්, අපි ඌට එරෙහිව එක්සිත්ව නැඟී සිටීමෙන් පමණි. ක්‍රිස්තියානි සහභාගිත්වයක, එක් සාමාජිකයෙකු තම කාර‍්‍යය ඉටු නොකරන්නේනම්, ශරීරයේ බලය ඒ තරමටම දුර්වල වේ. මෙය දන්නාවු සාතන් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ කණ්ඩායමක තනි සාමාජිකයින් හුදකලා කිරීමට හෝ කණ්ඩායම (හෝ සභාව) කල්ලි වශයෙන් බෙදීමටය. කෙසේ හෝ ඌ තම අරමුණ සාර්ථක කරගන්නේය. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ අප හා අනෙකුත් සාමාජිකයින් අතර සබඳථා දුර්වල නොකිරීමට සාතන්ගේ කෲඨ උපායන්ගෙන් අපි නිතරම ප්‍රවේශම් විය යුත්තේ එබැවිනි.

එක් එක් ඇදහිළිවන්තයන් තනි තනිව දෙවියන් වහන්සේට යාච්ඤා කිරීම සම්බන්ධයෙන් යේසුස් වහන්සේ බොහෝ පොරොන්දු දුන් සේක. නමුත් මතෙව් 18:18,19 වනාහි අපට ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙහි, ආත්මයෙන් එක්සිත්ව යාච්ඤා කරන කොටසකට දුන් පොරොන්දුවක් ඇත: නුඹලා පොළොවේදී යමක් බඳින්නේද, ඒක ස්වර්ගයේදී බඳිණු ලබන්නේය. පොළොවේදී නුඹලා යමක් මුදන්නේද, ඒක ස්වර්ගයේදී මුදණු ලබන්නේ යැයි යේසුස් වහන්සේ පැවසූ සේක. නැවතත් නුඹලාට කියමි: පොළොවේදී නුඹලාගෙන් දෙදෙනෙක් තමුන් ඉල්ලන ඕනෑම දෙයක් ගැන ආත්මයෙන් එක්සිත්වන්නෝ නම්, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේගෙන් ඒ දේ ඔවුන්ට ලැබෙන්නේය. 19 වන පදයෙහි "එකඟයි" යනුවෙන් පරිවර්ථනය කර ඇති වචනය ග්‍රීක වචනය වන "සම්ෆෝනියෝ" වන අතර එයින් අපේ "සිම්ෆනි" යන ඉංග්‍රීසි වචනය සෑදී ඇත. යේසුස් වහන්සේ මෙම පද වලින් තම දරුවන් දෙදෙනකු ගේ වුවද එකඟත්වය, සංගීතයේදී දකින්නාවූ තූර්ය සංවාදයට (මුළු කණ්ඩායම එක් එක් වෙනස් සංගීත භාණ්ඩවලින් එකම වෙලාවට එකම ස්වරය වාදනය කිරීමට - සංධ්වනියට) අදාල කළ සේක. තවත් අයෙකුගේ යාච්ඤාව අවසානයේදී "ආමෙන්" යනුවෙන් පැවසීමට වඩා බොහෝ දේ මෙයින් ගම්‍ය වේ. සංධ්වනියෙන් ඇඟවෙන්නේ එකට එක්ව යාච්ඤා කරන්නා වූ අය අතර ඇති මිහිරි වූ ගැඹුරු ආත්මයේ එකඟථාවය වේ. ඉතා සුළු පිරිසකගෙන් යුත් ක්‍රිස්තියානි සහභාගිත්වයක් පවා, හොඳින් මෙහෙයවන්නා වූ වාදක මණ්ඩලයක් විසින් නිෂ්පාදනය කරන ලද සංධ්වනිය හා සමාන වූ විට, ඔවුන්ගේ යාච්ඤා වලට ඔවුන් ඉල්ලන ඕනෑම දෙයක් ලබා දෙන්නාවූ අධිකාරියක් ඇති බව යේසුස් වහන්සේ පැවසූ සේක. සාතන්ගේ බලය බැඳීමට සහ සාතන්ගේ වහළුන් නිදහස් කිරීමට එවැනි කිතුණු කණ්ඩායමකට බලය ඇත. එවැනි සහභාගිත්වයකට එතරම් අධිකාරියක් ක්‍රියාත්මක කිරීමට හැකිවීමේ හේතුව යේසුස් වහන්සේ විසින් පැහැදිළි කරන ලදී: "මක්නිසාද දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටිත් නම් මම එතැන ඔවුන් මධ්‍යයේ සිටිමියි කීසේක" (මතෙව් 18: 20). හිස වූ ක්‍රිස්තුස් වහන්සේ එවැනි සහභාගිකමක් මධ්‍යයේ උන්වහන්සේගේ සියලු බලතල සමඟ සිටින නිසා නිරයේ බලවතුන්ට එයට එරෙහිව නැඟී සිටිය නොහැක. “අපෝස්තුළුවරුන්ගේ ක්‍රියා” වල විස්තර කර ඇති සභාව මෙම අධිකාරියේ යථාර්ථය දැන ගැනීමට එක් හේතුවක් නම්, ඔවුන්ගේ සහභාගිකම තුළ එකමුතුකම තිබීමයි. "මේ සියලු දෙනාම (අපොස්තුළුවරුන් 11 දෙනා) සිය සිත් වලින් සම්පූර්ණ එකඟථාවයෙන් යුතුව යාච්ඤාව උදෙසා දැඩි කැපවීමකින් කටයුතු කළහ ....."තවද විශ්වාස කළ සියල්ලෝම එකමුතුව හා එක්ව ..... දිනෙන් දින නොවරදවාම එකම අරමුණකින් දේව මාළිගාවේ රැස් වූහ...... "තවද ඔවුන් (ප්‍රේරිතයන් සහ අනෙකුත් ඇදහිළිවන්තයන්) ..... .එක්සත් මණසකින් දෙවියන් වහන්සේ වෙත ඔවුන්ගේ හඬ නැංවූහ (ක්‍රියා 1:14; 2: 44,46; 4: 24 - Amplified බයිබල් අනුකරණය). ක්‍රිස්තුස් වහන්සේගේ අධිකාරිය යටතේ ඔවුන් එක් ශරීරයකට ඒකාබද්ධ වී ඇති හෙයින්, ඔවුන්ට යාච්ඤා වෙන් ස්වාමින් වහන්සේගේ අධිකාරිය ක්‍රියාත්මක කළ හැකිය. ඔවුන් උසස් අධ්‍යාපනයක් ලබා නැත, ඔවුන්ට සමාජයේ බලපෑමක් තිබුණේ නැත, මූල්‍යමය පිටුබලයක් නැත, නමුත් ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා එවකට දැන තිබූ ලෝකය උඩු යටිකුරු කළහ. පේත්‍රැස් සිරගෙදර සිර කළ විට, හෙරොද්ගේ සියලු හමුදාවන්ට, දෙවියන් වහන්සේ ඉදිරියෙහි යාච්ඤා වෙන් දණින් වැටී සිටි මුල් සභාවේ බලයට එරෙහිව නැඟී සිටීමට නොහැකි විය (ක්‍රියා 12: 5-11). රෝමාණු අධිරාජ්‍යය පුරාම ක්‍රිස්තුස් වහන්සේගේ ජයග්‍රහණය සහ බලය මනුෂ්‍ය ජීවිත තුළ ස්ථීර කරමින් සභාව එක ශරීරයක් ලෙස ඉදිරියට යන විට ඒ කරණකොටගෙන සාතන්ගේ රාජධානියේ අත්තිවාරම සොලවා දැමීය (මේ සඳහා එක් උදාහරණයක් සඳහා ක්‍රියා 19: 11-20 බලන්න).

ව්‍යාජ, මෙවලම් (ගැජට්), සම්මන්ත්‍රණ, දේවධර්මාණුකූල දැණුම, කථිකත්වයේ දක්ෂථාවය සහ පුහුණු වූ ගායනා කණ්ඩායම් මඟින් තම බලකොටු වලින් ඌව පළවා හැරීමට උත්සාහ කරන්නාවූ අසමගිය ඇති සභාවක් දරන උත්සාහය අද සාතන් සමච්චලයට ලක් කරයි. මේ කිසිවක් සාතන්ට එරෙහිව ප්‍රයෝජනයක් නැත. ක්‍රිස්තුස් වහන්සේගේ නායකත්වය යටතේ එක ශරීරයක් වශයෙන් එක්සත් වීමේ සත්‍යය, සභාව නැවත දැනගත යුතුය. එකිනෙකා අතර නිසි ලෙස සම්බන්ධථා පවත්වන්නාවූ, එකිනෙකා කෙරෙහි ප්‍රේමයෙන් වර්ධනය වන්නාවූ සහ ක්‍රිස්තුස් වහන්සේට හා උන්වහන්සේගේ වචනයට කීකරු වන්නාවූ කිතුණුවන්ගේ සහභාගිත්වය, පෘථිවියේ යක්ෂයාගේ රාජ්‍යයට ඇති ලොකුම තර්ජනයයි. එවැනි සභාවකට වඩා වෙන කිසි දෙයකට සාතන් බිය වන්නේ නැත. ක්‍රිස්තුස් වහන්සේ තුළ අප එක් ශරීරයක් වීම යන මහිමාන්විත සත්‍යයේ ආලෝකයෙන් සෑම දිනකම ජීවත් වීමට ස්වාමීන් වහන්සේ අපට උපකාර කරන ලෙස අපි යාච්ඤා කරමු. ලොව පුරා වැඩි වැඩියෙන් කිතුණුවන් මෙම සත්‍යය අවබෝධ කර ගැනීමට හා ඒ අනුව ජීවත් වීමට පටන් ගන්නා විට, සභාවේ සෙනඟ ගණනින් කුඩා වූවත්, එහි නියම තේජස නැවත ලබා දෙන බව අපට නිසැකවම දැක ගත හැකි වනු ඇති අතර, එවන් සභාවන් අන්ධකාරයේ බලවේග දුරු කිරීම සඳහා දෙවියන් වහන්සේගේ හස්තයේ ඇති බලවත් අවියක් වනවා මෙන්ම අවශ්‍යථාවයෙන් පෙළෙන අසරණ ලෝකයකට ආශිර්වාදයේ මාර්ගයක් ද වනු ඇත.