WFTW Body: 

ඔබේ ජනප්‍රියත්වය අනුව කිසිවිටෙකත් ඔබේ ශ්‍රමයේ සාර්ථකත්වය මනින්න එපා. යේසුස් වහන්සේ ජනතාව අතර "ජනප්‍රිය" වූ සියල්ලන්ට දුක්වේ යැයි ප්‍රකාශ කළසේක, මන්ද එය ව්‍යාජ අනාගතවක්තෘවරයෙකුගේ හඳුනාගැනීමේ ලකුණ වූ බැවිනි (ලූක් 6: 26). එබැවින් ඔබ ඉතා ජනප්‍රිය දේශකයෙකු නම් ඔබ ව්‍යාජ අනාගතවක්තෘවරයෙකු විය හැකිය! අනෙක් අතට, යේසුස් වහන්සේ තම ගෝලයින්ට පැවසුවේ සෑම කෙනෙකුම ඔවුන්ට විරුද්ධව කථා කරන විට ප්‍රීති වන ලෙසයි, මන්ද එය සැබෑ අනාගතවක්තෘවරයෙකුගේ ලකුණකි (ලූක් 6: 22, 23).

“එබැවින් අප සහතික කර ගත යුත්තේ දෙවියන් වහන්සේ අපට ඉටු කිරීමට දී ඇති කාර‍්‍යයට අප විශ්වාසවන්තව සිටිනවාද යන්නයි”.

යේසුස් වහන්සේ මෙහි පැවසූ දේ ඔබ සැබවින්ම විශ්වාස කරනවාද?

ඉශ්‍රායෙල් ඉතිහාසයේ හා සභා ඉතිහාසයේ සෑම සැබෑ අනාගතවක්තෘවරයෙකුම ඔහුගේ කාලයේ සිටි ආගමික නායකයින් විසින් දඩයම් කිරීමට සහ වෛර කිරීමට සහ බොරු චෝදනාවලට ලක් වූ මතභේදාත්මක චරිතයක් බව මතක තබා ගන්න.

මෙම රීතියට වෙනස් වූ එකදු කෙනෙකු වත් නොමැත - එය පැරණි ගිවිසුමේ කාලයේ එලියා සහ යෙරමියා වේවා, හෝ පළමු සියවසේ යොහාන් බෞතිස්ත සහ පාවුළු වේවා, හෝ නූතන කාලයේ ජෝන් වෙස්ලි සහ වොච්මන් නී වේවා.

එබැවින් අප කෙතරම් ජනප්‍රියද යන්නෙන් අපගේ ශ්‍රමයේ සදාකාලික සාර්ථකත්වය කිසිවිටෙකත් මැනිය යුතු නැත! 

සංඛ්‍යාලේඛන මගින්ද අපගේ ශ්‍රමයේ සාර්ථකත්වය මැනිය යුතු නැත - අපගේ රැස්වීම් වලදී කී දෙනෙකු අත් එසවූවාද යන්න හෝ අප කී දෙනෙකුට දේශනා කළාද ආදී වශයෙන්.

 සංඛ්‍යාලේඛනවලට අනුව, යේසුස් වහන්සේගේ දේවසේවය මුළුමනින්ම අසාර්ථක වූ බව අපට පැවසීමට සිදුවනු ඇත, මන්ද උන්වහන්සේගේ දේවසේවය අවසානයේ උන්වහන්සේට තම පියාණන්ට ඉදිරිපත් කිරීමට සිටියේ මිනිසුන් 11 දෙනෙකු පමණි (යොහාන් 17). නමුත් උන්වහන්සේගේ දේවසේවයේ සාර්ථකත්වය දැකගත හැකි වූයේ එම ගෝලයින් එකොළොස් දෙනාගේ වර්ගයේ මිනිසුන් තුළය! ඔවුන් දෙවියන් වහන්සේට බොහෝ සෙයින් වටිනවා, සහ අද සිටින අර්ධ-හෘදයාංගම, මුදලට ප්‍රේම කරන, මධ්‍යම ප්‍රතිපදාවක් දරණ, ලෞකික "ඇදහිළිවන්තයින්" මිලියන එකොළහකට වඩා. දෙවියන් වහන්සේ වෙනුවෙන් බොහෝ දේ ඉටු කළ හැකි අය වූවෝය.

ඒ මුල්ම අපෝස්තුළුවරුන්ගේ මට්ටමේ පුද්ගලයින් එකොළොස් දෙනෙකු මගේ මුළු ජීවිත කාලය තුළම බිහි කළ හැකි නම්, මගේ දේවසේවයේ විශිෂ්ඨ සාර්ථකත්වයක් ලැබෙනු ඇතැයි මට හැඟී ඇත. ඒත් එහෙම දෙතුන් දෙනෙකුවත් බිහි කරන එක පහසු නොවේ. "යේසුස් වහන්සේව විශ්වාස කරන" නමුත් මුළු හදවතින්ම උන්වහන්සේට ප්‍රේම නොකරන ලෞකික මධ්‍යම ප්‍රතිපදාවක් දරණ සමූහයක් එක්රැස් කිරීම වඩා පහසුය.

පසුගිය ශතවර්ෂ 20 තුළ දෙවියන් වහන්සේ ක්‍රිස්තියානි ලෝකයේ ආරම්භ කළ සෑම ව්‍යාපාරයකම, එය දෙවන පරම්පරාවට ඇතුළු වන විට පරිහානියට පත් වූ අතර එය එහි නිර්මාතෘ විසින් ආරම්භ කරන ලද ප්‍රබෝධමත්, ජ්වලිත වූ ව්‍යාපාරයක් ලෙස තවදුරටත් පැවතුනේ නැත. ඇයි?

එක් හේතුවක් වූයේ දෙවන පරම්පරාව සංඛ්‍යාවෙන් වැඩි වීම ගැන සැළකීමයි. ඔවුන්ගේ සංඛ්‍යාව වැඩි වීම දෙවියන් වහන්සේ ඔවුන්ට ආශීර්වාද කරන බවට සාක්ෂියක් බව ඔවුහු සිතූහ.

නමුත් මෑත වසරවල ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන කණ්ඩායම් වන්නේ වෙනත් ආගම්වල ලබ්ධීන් සහ මූලධර්මවාදී-කණ්ඩායම් ය. එයින් ඔප්පු වන්නේ කුමක්ද? මෙය පමණකි - සංඛ්‍යාත්මක වර්ධනය දෙවියන් වහන්සේගේ ආශීර්වාදය පිළිබඳ සාක්ෂියක් නොවේ යන්නයි.දෙවියන් වහන්සේ අපට ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙහි ඇති දේවසේවය කෙරෙහි අවධානය යොමුකරන ලෙසත් ඒ සමඟම විවිධ සේවාවන් ඇති අන් අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත් අපට ආරාධනා කරයි. අපගේ දේවසේවයේ ප්‍රතිඵළ නිවැරදිව තක්සේරු කළ නොහැක, මන්ද අප කණ්ඩායමක කොටසක් වන බැවිනි - එය ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයයි.

එබැවින් අප සහතික කර ගත යුත්තේ දෙවියන් වහන්සේ අපට ඉටු කිරීමට දී ඇති කාර‍්‍යයට අප විශ්වාසවන්තවසිටිනවාද යන්නයි.